කොළඹ විශ්වවිද්‍යාලයේ වසර 6ක්

Alumni, Pubudu 0 Comments

දැන් වේලාව අළුයම 1.13 ය. මේ ලිපිය ලියන්නට වසරක පමණ කාලයක සිට උත්සාහ කළත් අධික වැඩ රාජකාරීන් මධ්‍යයේ මීට වසර කිහිපයකට ඉහත දී මා ඉතා ආශාවෙන් කළ මේ බ්ලොග් ලිවීම මා හට මඟ හැරී තිබුණි. නමුත් මා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තුරු නොකඩවා පවත්වාගෙන ගිය විද්‍යා පීඨයේ නිළ බ්ලොග් අඩවියේ වැඩිම ලිපි ගණනක හිමිකරු වීමේ ගෞරවය දමිත්‍රි විසින් කළකට ඉහතදී ද චාරුනී විසින් මෑතකදී ද බිඳ හෙලීම නිසා නැවතත් ලිපියක් දෙකක් ලිවීමේ ආශාව මගේ හිත තුළ තදින්ම පැළපදියම්ව තිබුනත් ඒ සඳහා කාලයක් සොයා ගැනීමට නොහැකි විය. මේ ලිපිය ලියන්නට හේතු පාදක වූ කරුණු රැසක් තිබේ. නමුත් ඒවා එකිනෙක විස්තර කිරීමට කාළයක් මා මිඩංගු කරන්නේ නැත. විශ්වවිද්‍යාලයේ සිටින ලද වසර 6ක කාලය තුල ආපසු හැරී බලන විට ඉතා සතුටුදායක විය හැකි අතීතයක් තිබුණු නිසා එම සමහර මතකයන් ඔබත් සමඟ බෙදා හදා ගැනීම මෙහි මූලික අරමුණ ලෙස හැඳින්විය හැකිය. නමුත් එකළ තිබූ හා මෙකළ නැති දෑ ගැන සන්සන්දනයක් කිරීමට මා මෙහිදී බලාපොරොත්තු නොවන අතර ඉගෙනුම ලබන කාලය තුල ඔබ සිදු කරන නමුත් සිදු නොකල යුතු හා සිදු නොකරන නමුත් සිදු කල යුතු යැයි මා සිතන කරුණු කිහිපයක් හුවා දැක්වීමට ගන්නා ලද උත්සාහයක් ලෙස හැඳින්විය හැකිය.

මුලින්ම කිව යුතු වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය යනු ඉංග්‍රීසි මාධ්‍ය ආයතනයක් නිසා ඔබගේ මව් බස කුමක් උවත් ඉගෙනුම ලබන කාලය තුල සියලු අධ්‍යන කටයුතු සිදු කළ යුතු වන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන් බවය. ඔබගේ පසුබිම කුමක් උවත් පළමු වසර අවසාන වන විට ඔබට ඉංග්‍රිසි බස යම්තාක් දුරට හැසිරවිය හැකි විය යුතුය. විශ්වවිද්‍යාලය ඒ සඳහා සමහර වැඩපිළිවෙළවල් යොදා ඇති අතර ඔබගේ තරම ගැන හොඳින්ම දන්නා පුද්ගලයා ඔබ නිසා ඒවාට සම්බන්ධ වී හෝ වෙනත් ක්‍රම යොදා ගෙන භාෂාව ගොඩ දා ගැනීම ඔබේ වගකීමකි. පළමු වසර සිසුන් හට යම් ලිහිල් කිරීමක් සිදු විය හැකි අතර දෙවන වසරේ සිට ඔබ විශ්ව විද්‍යාල ක්‍රමයට හුරු වීම හෙවත් වැල යන අතට මැස්ස ගැසීම කළ යුතුය. බොහෝ සිසුන් මැසිවිලි නඟන්නේ භාෂාව නිසා විභාගය අවුල් වූ බවය. එසේ නම් ඔබ එය ගොඩ දාගැනීමට කිසිදු කටයුත්තක් කල නොමැති අයෙකු වේ. එසේ නමුත් සමහර සිසුන් මේ සඳහා උත්සාහයක් ගත්තත් මූලික දැනුම ඉතා මද වීම හේතු කොට ගෙන යම් අපහසුතා වලට මුහුණ දෙන අවස්ථා ද නැතුවා නොවේ ය. එවැනි අවස්ථා වලදී විශ්වවිද්‍යාලය පැත්තෙන් යම් වැඩපිළිවෙළක් යෙදිය හැකි අතර ඔබගේ අවශ්‍යතාවය අදාල පාර්ශවයන් හට දැනුම් දීම යෙහෙකි. විභාගය ඉතාම හොඳින් සමත් වීම සඳහා ඔබට සුද්දෙකු මෙන් කඩ්ඩෙන් කෙටීමට අවශ්‍ය නොවන අතර ප්‍රශ්ණය තේරුම් ගෙන නිවැරදි ලෙස අදාල පිළිතුර ලිවීම ප්‍රමාණවත් වේ. presentation එකකදී වුවත් කළබලයකින් තොරව අදාල කරුණු ඉදිරිපත් කිරීමෙන් වැඩේ ගොඩ දාගත හැකි ය. කෙසේ නමුත් ඔබ උසස් පෙළ හෝ පාසල් අවදියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබුයේ නම් එහි වාසිය ඔබට නිතැතින්ම ලැබෙනු ඇති. එහෙත් ඔබ තරයේ මතක තබා ගත යුතු වන්නේ ඉංග්‍රිසි යනු සන්නිවේදන මාධ්‍යක් මිස බුද්ධිය මනින ඒකකයක් නොවන බවය. වසර හතර හෝ තුන අවසාන වන විට භාෂාව නිසා මඳක් පසු බා සිටින පුද්ගලයන් වඩාත් ඉස්මතු වී පෙනෙන බව මම අත්දැකීමෙන් දන්නා කරුණකි.

දෙවන කරුණ වන්නේ ඔබගේ උසස් පෙළ ලකුණු මට්ටම විශ්වවිද්‍යාලයේ විභාග සඳහා බල නොපාන බවය. මම පළමු වසරට 2010 දී ජීව විද්‍යාව හැදෑරීම සඳහා තේරී පත් වන විට උසස් පෙළ ලකුණු අනුව 155 වන ස්ථානයට සිටි අතර මුලු batch එකේම සිටියේ මගේ මතකය නිවැරදි නම් 162කි. (ජීව විද්‍යාව සඳහා). නමුත් වසර 4 අවසානයේදී මුල් 10 දෙනා අතරට පිවිසීමට මට හැකියාව ලැබුණි. ඒ සඳහා යම් කැපකිරීම් හා දරා ගැනීමේ ශක්තිය ඉවහල් වු අතර උත්සාහය ඉතා වැදගත් අංගයක් විය. එහිදී පළමු පංතියේ සාමාර්ථයක් ලද කිහිප දෙනා අතුරින් කෙනෙක් වීමත් ශාක විද්‍යා අංශයේ එකම ප්‍රථම පංති සාමාර්ථයක් සහිතව සමත් වූ ශිෂ්‍යයා වීමේත් භාග්‍ය ලැබුණි. එම නිසා සියලු දෙනාටම එක ලෙස තම හැකියාවන් පෙන්වීමට අවස්ථාව හිමි වන බව මතක තබා ගත යුතුය. උසස් පෙළ විභාගයන් නිශ්චිත රාමුවකට කොටු වී ප්‍රශ්ණ යොමු කරන අතර විශ්ව විද්‍යාලය ඔබව එවැනි රාමුවකට කොටු කිරීමට උත්සාහ නොකරයි. බොහෝ විට ඔබගේ note එක ගිරවා දා ගැනීමට වඩා එය තේරුම් ගෙන එහි යෙදීම් (applications)  ගැන සිත යොමු කිරීම මෙහිදී වඩා වාසි දායක විය හැකිය. තර්කානුකූලව යමක් සිතීමේ හැකියාව ඇත්නම් ඔබට ගිරවාගෙන් තොරව බොහෝ ප්‍රශ්ණ වලට පිළිතුර සැපයිය හැකි අතර ප්‍රශ්ණ කිහිපයක් ඔබගේ note එකෙන්ම අසනු ලබයි. මෙසේ තේරුමක් නැතිව ගිරවා දැමූ අය පළමු හා දෙවන වසර වල ලකුණු ගත්තත් පසු කාලවලදී අනාගත් බව මට හොඳින් මතකය.  ඔබට විද්‍යා පීඨය විසින් හොඳ පුස්තකාල පහසුකම් ලබා දී තිබෙන අතර ඒවා යොදා ගැනීම ඔබගේ වගකීමක් වුවද මා භාවිතා කරන ලද්දේ අන්තර්ජාලයයි. එහිදී අවශ්‍ය සියළු දේ ඉතා ඉක්මනින් සොයා ගැනීමට හැකියාව ලැබේ. යම් විෂයක් ගොඩ දා ගැනීමට නම් එම විෂය පිළිබඳ යම් අමතර දැනුමක් අවශ්‍ය වන අතර යම් සිද්ධාන්ත පිළිබඳ පැහැදිලි අවබෝධයක් අවශ්‍ය කෙරේ. මෙය ලබා දැනීමට හැකි එකම විසඳුම කියවීමයි. ඒ සඳහා යම් විශ්වාසදායී ප්‍රභවයක් (Reliable Source) යොදා ගත යුතු ය. උදාහරණ ලෙස යම් දෙයක් පිළිබඳ මූලික අවබෝධයක් Wikipedia තුළින් ලබා ගත හැකි වුවත් එය එතරම් විශ්වාසදායි නොවන නිසා තවත් විශ්වාසදායී වෙබ් අඩවි, ලිපි හෝ පොත් කියවීම කළ යුතුය. කෙසේ නමුත් මූලික අදහසක් Wikipedia තුළින් ලබා ගැනීම වැඩිදුර කියවීම් පහසු කිරීමට හේතු විය හැක. එසේ නම් විශ්වවිද්‍යාල දිවියේ හොඳින් පුරුදු කළ යුතු ගුණාංගයකි කියවීම. සියළු දෙනාටම උත්සාහයක් දැරුවහොත් හොඳ ලකුණක් කරා මෙතුලින් ළඟා විය හැක.

එදිනෙදා වැඩ එදිනෙදා කිරීම ඉතා යහපත් උවත් එවැනි ශිෂ්‍යන් මීට කළකට ඉහත දී වඳ වී ගොස් ඇති බව මම අසා ඇත්තෙමි. එහෙයින් ඔබත් විභාගය ලං වූ විට පස්ස ගිනි ගත් කඩියන් මෙන් වැඩ කරන බව මම හොඳින් දන්න කරුණකි. මන්ද යත් මාද එසේ කළ බැවිනි. විභාගයට පෙර දින රාත්‍රියේ යම් අකරතැබ්බක් සිදු වූවා නම් හෝ එක විෂයක් අතර මැද නිවාඩු දින ගණන අඩු වූවා නම් මට මෙලෙස පම්පෝරි ගැසීමටද නොහැකි වීමට ඉඩ තිබුණි. එම නිසා සියළු දේම නිසි කාළයට කිරීම සියළු දෙනාටම හිතකරය. අඩු තරමේ යම් සැළැස්මක් ඇතිව වැඩ කිරීම ඉතා වටින්නේ ය. ඔබට යම් විෂයක් අමාරු නම් ඔබ සක්කරයා උවත් එය එක රැයින් ගොඩ දැමීම අපහසුය. නමුත් ඔබට හොඳ note 1 තිබෙන්නේ නම් ද යම් අවබෝධයක් විෂය කෙරේ පවතින්නේ නම් ද දින කිහිපයකින් ඉතා හොඳ ලකුනු මට්ටමක් කරා ළඟා විය හැකිය. මෙහිදී හොඳ note එකක් සහ past papers (if available) කලින්ම සොයා ගෙන තිබීම හෝ ඔබ විසින්ම සකස් කර ගැනීම ඔබගේ කාරය භාරයක් බව මතක තබා ගත යුතු අතර එවැනි දේ සති කිහිපයකට පෙරම සූදානම් කර තබා ගැනීම ඇඟට ගුණය. විභාගය ලං වන විට සියළු photocopy ආයතන සිසුන්ගෙන් පිරී යන බව මතක තබා ගත යුතු ය. කොහොම නමුත් දැන් දැන් photocopy කිරීම සිදු නොවන අතර ඡායාරුප ගත කිරීම සිදු වේ. එසේ අමාරු විෂයකට මිතුරෙකුගෙන් හෝ එම දේශකවරයාගෙන් හෝ අපහසු කොටස් විභාගයට පෙර ගොඩ දාගෙන තිබීම ඉතා වැදගත්ය. ඔබට ඉතිරිව තිබිය යුත්තේ පාඩම් කිරීමත් ප්‍රශ්ණ පත්‍ර කිරීමත් පමණකි. කුමන ක්‍රමයෙන් හෝ ඔබ විභායට පෙර සියළු කරුණු අවබෝධයෙන් පාඩම් කළ යුතුය. බොහෝ විට කුප්පියක් දැමීමෙන් හෝ කුප්පියකට සහභාගි වීමෙන් සමහර කරුණු ගැන හොඳ අවබෝධයක් ලැබිය හැකි අතර කුප්පිය දමන පුද්ගලයා මත ඔබගේ ජීවිතය තීරණය වන බවද මතක තබා ගත යුතුය. ඊලඟ වැදගත් කරුණ වන්නේ පසු ගිය ප්‍රශ්ණ පත්‍ර වලට පිළිතුරු ලිවීමයි. කවුරුන් කෙසේ කීවත් පසුගිය ප්‍රශ්ණ පත්‍ර වලට උත්තර ලීවිමෙන් ඔබගේ ලකුණ සීඝ්‍ර ලෙස ඉහල දා ගත හැක. ඒ සඳහා ප්‍රශ්ණ පත්‍රය හිතින් කියවා ප්‍රශ්ණ වලට හිතින්ම පිළිතුරු සැපයීමට වඩා කොළයක පිළිතුර සටහන් කිරීම ඉතාම ප්‍රතිඵල ගෙන දෙන ක්‍රියාවකි. කෙසේ නමුත් ඔබට ඇත්තේ සීම්ත කාලයක් නම් ඔබ විභාගයට යාමට පෙර ප්‍රශ්ණ පත්‍රයක් දෙස වරක් හෝ බලා තිබීම අත්‍යවශ්‍ය වේ. ඔබ පාඩම් කිරීමට පෙර ප්‍රශ්ණ පත්‍රයක ප්‍රශ්න දෙස බලා ප්‍රශ්ණ අසන ආකාරය සහ ප්‍රශ්ණ පත්‍රයේ සැකැස්ම ගැන අවබෝධයක් ලබා ගැනීම සුදුසුය. කිසිම අවබෝධයක් නැතිව ඔබගේ note එක කියවනවාට වඩා අසන ප්‍රශ්ණ ගැන අවබෝධයක් ගෙන එය කියවීම ඵලදායි ය. සමහර අවුරුදු වලදී ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම සම්පූර්ණයෙන් වෙනස් වන නිසා ඒ පිළිබඳවද යම් අවබෝධයක් තිබිය යුතුමය. මේ අනුව යම් සැළස්මකට අනුව ඔබගේ විභාගයට සූදානම් වීමෙන් ඔබට වැඩි ලකුණක් කරා ළඟා විය හැකි ය.

අනෙක් කිව යුතු කරුන නම් lectures යාමයි. ඔබට උගන්වන දේ වැටහෙන්නේ නොමැති උවත් දේශණයකට යාමෙන් සමහරවිට එයින් පමණක් ලබා ගත හැකි කරුණු ලබා ගත හැකි වෙයි. ඔබ පාඩම් කරන විට සමහර කරුණු සිහියට නැඟීම ද සිදු වෙයි. එම නිසා හැකි සෑම විටම දේශණ සඳහා සහභාගී වීම ඇඟට ගුණය. විභාගයට ආසන්න වන විට දේශණ සඳහා යෑමෙන් ආසන්න ප්‍රශ්ණ හා ප්‍රශ්ණ පත්‍රයේ සැකැස්ම ගැන යම් යම් කරුණු දැන ගත හැකි වේ. (විශේෂයෙන් අවසාන දේශණය). සමහර විට දේශණ සඳහා ඉතා විශාල පිරිසක් නොපැමිණෙන විට තරමක අමාරු ප්‍රශ්ණ පත්‍රයක් ඔබට ලබා දීමට දේශකවරයාට සිතීමට ද නොහැකියාවක් නොමැත. එම නිසා වෙනත් විශේෂ කටයුත්තක් නොමැති නම් ගෙදරට වී හෝ බොඩිමට වී බුදිය නොගෙන දේශණය සඳහා සහභාගි වීම නුවණට හුරුය. එහෙත් දේශණ සඳහා සහභාගී නොවී වැඩි ලකුණු කරා ගිය අය සිටින බව ද කිව යුතුමය. නමුත් ඔවුන් පසුව ඉතා උනන්දුවෙන් මහන්සි වී සියළු දේ අවබෝධ කරගන්නට සමත් වුවෝ විය.

ඉතා අභාග්‍යසම්පන්න කරුණක් වන්නේ විශ්වවිද්‍යාලයට පැමිණෙන බොහෝ සිසුන් හට තම අනාගතය පිළිබඳ කිසිදු නිශ්චිත ඉලක්කයක් නොතිබීමයි. මා විශ්වවිද්‍යාලයට පැමිණෙන විට මා හට මූලික වශයෙන් ඉගෙනුම ලබන කාලය තුල ඉලක්ක තුනක් තිබුණි. එනම් විශේෂ උපාධියට තේරී පත් වීමත්, ප්‍රථම පංති සාමාර්ථයක් ලැබීමත් ක්‍රීඩාවකින් විශ්වවිද්‍යාල වර්ණ ලබා ගැනීමත් ය. ඒ තුනම සාර්ථක ලෙස ලඟා කර ගැනීමට හැකි වීම ඉතා සතුටට කරුණක් වේ. ඒ අතර විශ්වවිද්‍යාලය අවසන් වූ පසුව සිදු කරන දේ ගැන පවා යම් අදහසක් මා මෙහි පැමිණෙන විටම හිත තුල තිබුණි. නමුත් 99%කම සිසුන් ගේ දුර්වලතාවය වන්නේ තමන් යා යුත්තේ කොහේ ද තමන්ගේ අභිමතාර්ථයන් මොනවාද කියා නිශ්චිත අවබෝධයක් නොමැති වීමයි. මෙය මා සිතන ආකරයට ඉතා භයානක තත්ත්වයක් වේ. උදාහරණයක් ලෙස ඔබට උසස් අධ්‍යාපනයට යාමට අවශ්‍ය ද ඉක්මනින් රැකියාවක් කිරීමට අවශ්‍ය ද යන්නවත් අඩුම තරමේ විශ්වවිද්‍යාලයට එන විට තීරණය කර තිබිය යුතුය. ඔබ සියළු කටයුතු සිදු කල යුතු වන්නේ එම අනාගත ඉලක්ක සාර්ථක කර ගැනීම උදෙසාය. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍ය වන්නේ ඉකමනින් රැකියාවක් කිරීමට නම් ඔබ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගත යුතුය. සමහර විට අමතර සුදුසුකම් ඒ සඳහා වැදග ත් වේ. උදා . CIMA, CIM, BIT etc… එහෙත් එසේ රැකියාවක් බලාපොරොත්තු වන කෙනෙක් විශේෂ උපාධියක් කරා යෑම එතරම් සුදුසු ක්‍රියාවක් ලෙස මා දකින්නේ නැත. නමුත් වසර 4ක උපාධියේ විශේෂ වාසි නැතුවාම නොවේ. මා මෙහිදී කියන්නට උත්සාහ ගන්නේ ජීවිතයට යම් සැළැස්මක් සාදා ගෙන එය සපුරා ගැනීමට කටයුතු කරන ලෙසටය. මා පළමු වසරේ දීම බලපොරොත්තු වූයේ උසස් අධ්‍යාපනය හැදෑරීම නිසා ඒ සඳහා අවශ්‍ය දැනුම පසු ගිය සිව් වසර තුල ලබා ගත්තෙමි. විශ්වවිද්‍යාලයට අමතරව පරිභාහිර උපධියක් ද අවසන් කර අතර තවත් විශේෂ විභාගයන් කිහිපයක්ම සාර්ථක ලෙස අවසන් කරන ලදි. ඒ අතර පරිගණක භාෂා කිහිපයක්ම (8ක් පමණ) හොඳින් හැසිරවීමට තනිවම උගත්තෙමි.  ඔබ සැළස්මක් සාදන විට එම සැළස්ම වැරදී ගිය හොත් සිදු කරන දේ පිළිබඳවද අනු-සැළැස්මක් (contingency plan) තිබිය යුතුය.  උදාහරණයක් ලෙස ඔබ විශේෂ උපාධියකට ඉලක්ක කරන්නේ නම් ඒ සඳහා මහන්සි විය යුතු අතර ඒ අදාල විෂයක් කෙරේ වැඩි අවධානයක් යොමු කල යුතුය. නමුත් යම් ලෙසකින් එය සාර්ථක කර ගැනීමට නොහැකි වුහහොත් කරන දේ ගැන ඔබට යම් සැළැස්මක් තිබිය යුතු අතර එම දෙවන සැළැස්මට අවශ්‍ය දේ ද ඔබ හැකි පමණ සපුරා ගෙන තිබිය යුතුය.

කිව යුතු අනෙක් කරුණ වන්නේ විෂය භාහිර ක්‍රියාකාරකම් ය. ඔබ විශ්වවිද්‍යාලයට පැමිණ කිසිම ක්‍රිඩාවක් නොකරන්නේ හෝ කළ නැති නම් ඔබ ඉතා අභාග්‍යවන්තයෙක් බව කිව යුතුමය, විශ්ව විද්‍යාල ජීවිතයේ බොහෝ පාඩම් ඉගෙන ගත හැකි තැනකි ක්‍රීඩාව. කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විශාල සංඛ්‍යාවක් ඇති බැවින් ඔබ කැමති ක්‍රීඩාවක නොමිලයේ යෙදීමේ වරප්‍රසාද ඔබට හිමි වේ. ක්‍රීඩාවකින් ලැබෙන සියළුම ප්‍රතිලාභ මම මෙහි සඳහන් කිරිමට උත්සාහන් ගන්නේ නැත. කෙටියෙන් කිවහොත් එය ඔබගේ දෛනික ජීවිතයට මෙන්ම අධ්‍යාපනයට ඉතා වැදගත් වේ. නායකත්ව හැකියාවන්, කාල කළමණාකරණ හැකියාවන් වැනි විවිධ හැකියාවෙන් මෙහිදී ඔප් නැංවේ. එසේම විවිධ සංගම් වල ක්‍රියාකාරී සාමජිකයෙක් වීමද ඉතා වැදගත් වේ. ඔබ මේ කියවන බ්ලොග් එකෙහි නිර්මාපකයෙකුද ප්‍රථම FOS Media ශිෂ්‍ය සාමාජිකයා වීමේද දැනට එහි ඉහලම තනතුරු දෙකම දරා ඇති එකම පුද්ගලයා වීමේද  භාග්‍ය මට හිමි විය. අද වන විට FOS Media සිටින තැන ගැන එහි සමාරම්භකයෙකු ලෙස මට මහත් සතුටට පත් විය හැකි අතර අද එහි බර කරට ගෙන ක්‍රියා කරන සියලුම නංගිලා හා මල්ලිලාට, චින්තන, උදාන හා හිරාන් සර්ට මගේ විශේෂ ප්‍රණාමය පුද කර සිටිමි. මීට අමතරව ශාක විද්‍යා සංගමයේ උප සභාපති තනතුර ද විකසෙහි සමාරම්භකයෙකු ද වීමට මට හැකියාව ලැබුණි. ඔබත් තවමත් කිසිදු සංගමයක සාමාජිකයෙක් නොවේ නම් විකස සහ FOS Media ඔබට නිතැතින්ම විවෘතව පවතිනු ඇත. එය ජීවිතයේ එක් වරක් පමණක් ලබා ගත හැකි භාග්‍යක් හා අවස්ථාවක් ද වනු ඇත.

අමතක වී තිබුනත් කිව යුතු තවත් දෙයක් වන්නේ ඔබ විෂයන් සඳහා ලියාපදිංචි වන විට අනෙකුත් බාහිර පුද්ගලයන්ගේ අදහස් හා යෝජනා වලට ඇහුම් කම් නොදෙන ලෙසය. විශේෂයෙන් ඔබගේ ජේෂ්ඨයින් දන්න මඟුලක් නැත. කිසි විටෙක විෂයක් ලේසි දැයි හෝ අමාරු දැයි එක පුද්ගලයෙක් ගෙන් නොවිමසන්න. සියලු අදහස් සාපෙක්ෂ වන අතර ඔබට කිසිදු අදාලත්වයක් නොමැති විය හැකිය. ඔබගේ තිරණ වල වගකීම ඔබ දැරිය යුතු අතර එය වෙන කිසිවෙකු අතට කිසිම විටෙක පත් නොකල යුතුය. ඔබට යම් විෂයක් පිළිබඳ ගැටළුවක් වේ නම් ඒ ගැන විමසීම කල යුතු හොඳම පුද්ගලයා එම විෂය උගන්වන දේශකවරයා ය. ඉන් පිට ඒ පිළිබඳ කිසිවෙකු කියන දේ විශ්වාස නොකළ යුතුය. නමුත් සමහර විට යම් විෂයක් ඉතා අසීරු බව පොදු මතය නම් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වරදක් නොමැත. නමුත් සමහර විට බහුතර මතය ඔබට අදාල නොවිය හැකිය. විශේෂයෙන් විෂයන් තෝරන විට ඔබගේ ඉලක්ක කෙරෙ හිත යොමු කර ගෙන ඒවා තේරිය යුතු අතර ඔබගේ අභිමතය පරිදිම විය යුතු වේ. යහළුවා හෝ යෙහෙලිය එය තේරූ පමණින් ඔබත් තේරීමෙන් ඔබ අගාධයේ වැටෙනු ඇත. ඒ සඳහා ඔබගේ හැකියාවන් සහ නොහැකියාවන් හොඳින් අවබෝධ කරගෙන ඔබ වඩාත් දක්ෂ හා ඔබ ඉතා කැමති විෂයන් තෝරා බේරා ගෙන කිරීම හොඳ ලකුණක් කරා යාමට හේතු වේ. නමුත් සමහර විටෙක ඔබගේ combination අනුව සමහර විෂයන් කල නොහැකි වනු ඇති.

තවත් ලියන්නට කරුණු බොහොමයක් ඇති නමුත් ලිපිය දිගු වන නිසා මම දැනට මෙයින් නතර කරන්නට සිතමි. මෙහි සඳහන් සියළුම කරුණු මාගේ පෞද්ගලික මතයන් වන අතර ඒවාට එකඟ වීම හෝ නොවීම ඔබගේ අයිතියකි. පසුව ඉඩ තිබෙන වේලාවක මෙහි දෙවන ලිපිය ඔබ හමුවේ තබන්නම්.

(featured image credits: FOS Media)