දුවට මවක මිස…

Share

අද තමයි සුදු දෝණි ඉස් ඉස්සෙල්ලම කැම්පස් යන දවස. අම්මටයි අප්පච්චිටයියි හරිම සතුටුයි දෝණිගේ හපන්කම් ගැන. කොච්චර ප්‍රශ්න තිබුනත්, දුක් කරදර තිබුනත් හැම දුකක්ම ඒ දෙන්නා විතරක් දරාගත්තට දෝණිටවත් එයගෙ මල්ලිටවත් පුංචිම හරි දුකක් දැනෙන්න දුන්නේ නෑ කවදවත් අම්මයි අප්පච්චියි . ඒ දෙන්නගේ ලොකුම හීනේ උනේ දෝණියි එයගෙ මල්ලියි පුලුවන් ඉහලටම ඉගෙන ගන්න එක.ඉතින්  අවුරුදු විසි එකක්ම ඒ දෙන්නා දෝණිව මලක් වගේ බලාගත්තනේ. මෙච්චර දවසක් අම්මගෙයි අප්පච්චිගෙයි තුරුලෙම හැදුන එයා හෙට ඉඳන් තනියම හැමදේම කරගන්න ඕන. අවුරුදු දහතුනක් ඉස්කොලේ යනකම්ම අප්පච්චි තමයි දෝණිව ඉස්කොලේ එක්කරගෙන ගියේ. ඉස්කොලේ ගිහින් ඇවිත් කෑම ටික ලඟට ගෙනත් කැව්වෙත් අම්ම. දෝණිගේ මල්ලිත් හිනාවෙනව මෙච්චර ලොකු වෙලත් අක්කගේ හුරතලේ ගැන.

අම්මටයි අප්පච්චිටයි දෝනි කැම්පස් යන එක ගැන සතුටු උනාට මොකද, දෙන්නම ඉන්නෙ හරිම බයෙන්. හෙට ඉඳන් දෝණිට තනියම බෝඩිමක ඉන්න වෙනවා. තනියම බස් වල ගමන් බිමන් යන්න වෙනවා. දෝණි කොහොම තමන්ගේ වැඩ තනියම කරගන්න පුරුදු වෙයිද කියලයි බය. පොත පතින් දැනුම ගත්තට මොකද දෝණිට සමාජය ගැන හරි හැටි අවබෝධයක් නෑ. සුදු දෝණිගෙ අම්ම තමයි එයාට මෙච්චර කාලෙකට හිටපු හොඳම යාලුව. එයාල අතර කවදාවත් කිසිම රහසක් තිබුනේ නෑ. සමජායත් එක්ක එච්චර ගැටිල නැති උනාට අම්මා දීපු උපදෙසුත් එක්ක අලුත් ජීවිතේට හුරුවෙන එක දෝණිට එච්චර අමාරුවක් වෙන එකක් නෑ.

අම්මා දෝණිට කියල දුන්න දෙවල් ගොඩයි. ඒ දේවල්මේ සුදු දෝනිට විතරක් නෙවෙයි අලුතින් සමජයට පය තියන හැම දෝණි කෙනෙක්ටම වැදගත් වේවි. ගැහැනියක් විදිහට උපත ලබන හැමෝම කවදා හරි හුරතල් දුවක්, ආදරණීය මවක්, වග කිවයුතු කාන්තාවක්,සෙනෙහෙබර මිත්තණියක් වෙනවා. ගැහැණියක් නිරන්තරයෙන්ම සමාජයේ ප්‍රභල භුමීකාවක් ඉටු කරනවා. ඇය වටා තමයි පවුලක් රදා පවතින්නේ.ඒ නිසා තමයි තොටිල්ල පදවන හස්තය ලොව රජ කරවයි කියල කියන්නේ. ඉදින්  ඇයගේ ජීවිතේ ඒ හැම අවස්ථාවකදිම ලැබිය යුතු ගෞරවය ඒ ආකාරයෙන් ලැබෙන්න නම් ගොඩාක් වටිනාකම් ඇය සතුව තියෙන්න ඕන. විනීත කම, ගෞරවාන්විත බව වගේම ආඩම්බරකමත් හැම දෝණි කෙනෙක්ටම රත්‍රන් ආභරණ දහසකටත් වඩා වටින ආභරණයක්. ඒ දේවල් හැමදාටම රැක ගත්තොත් හැම දෝණි කෙනෙක්ම ගොඩාක් සුන්දර වේවි.

ඔබ අහලා ඇති නිර්මලා රණතුංග මහත්මියත් ඇයගේ දුවත් ගායනා කරන ආදරණිය ගීතයක්. මේ කතාවේ සුදු දෝනිගේ අම්ම ඇයට කියල දුන්න සියලුම දේවල් අර්ථාන්විත විදිහට ගැබ් වෙලා තියෙන අපූරු  ගීතයක් තමයි ඒ.

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ..
කඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ.

සිනා මල් ගොඩක්
නෑ කඳුලු මල් ගොඩක්

බලන්න ආසයි හැන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වාගේ අම්මේ

ඒ අහසේ සුලන් කපොලු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ…

අහන්න ආසයි තුරු හිස කුරුලු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ

ගැයෙනා මුතු කැට පදවැල් සීරෙන විට කඳුලු ගලයි
ඒ ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ…

ඇයට තවමත් හරියට තේරුම් කරගන්න බැහැ හොඳ  මිනිස්සු කවුද නරක මිනිස්සු කවුද කියලා. මතුපිටින් සුන්දර පෙනෙන ඕන දෙයක් සිනා මල් ගොඩක් විදිහට බාරගන්න දෝණි දෙපාරක් නොහිතන්නේ ඒකයි. ඇයගේ සිත මල් පෙත්තක තරමට සිනිදු උනාට, හා පැටියෙක් තරමට අහිංසක උනාට ඇය වටේ ඉන්න හැමෝම එහෙම නෑ කියල තේරුම් ගන්න තවමත් ඇයට අත්දැකීම් මදි.ඒත් මේ දෝණිගේ අම්මා ඇයට වඩා ගොඩාක් අත්දැකීම් පිරුණ කෙනෙක්. ඒකයි ඇය දෝණිව පරිස්සම් කරගන්නේ සිනා මලක් වගේ පෙනෙන  හැම මායවකටම රැවටෙන්න ඉඩ නොදී.

 සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ..

කඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ.

නිදහස ලැබුන ගමන් දෝණිටත් ඕන කිරිල්ලයක් වගේ පියාඹන්න. හැම අලුත් අත්දැකීමක්ම විඳින්න. ඒත් නිල් අහසට ගිහින් පියාඹන්න තටු ගහන්න විතරක් දැනගෙන හිටියට මදි කියලා දෝණිට තේරුමක් නෑ. ඈතට ලස්සන නිල් අහසක් වගේ පෙනුනට සුලං කපොලු, විදුලි අකුණු, මන්දාරම් ගොඩාක් ඒ ලස්සනට යටින් තියෙනවා. ඒ වගේ තමයි ඇයගේ ජීවිතේ ඉදිරිය අවුරාගෙන එන බාධකත්. ඒ බාධක වලට මුහුණ දෙන හැටි ඇය තවත් ඉගෙන ගන්න ඕන. ඒකයි කතාවටත් කියන්නේ දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියලා.

බලන්න ආසයි හැන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වාගේ අම්මේ

ඒ අහසේ සුලන් කපොලු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ…

ගොඩාක් අය ඇවිත් හුඟාක් මිහිරි වචන ඇයට කියාවි. ගොඩාක් සුන්දරයි වගේ පෙනෙන අදහස් ඇයගේ තැලිල පොඩි නොවුන සිතට තේරුම් කරවන්න උත්සාහ කරාවි. දේදුණු පාට හීන ගොඩක් ඇගේ ඇස් ඉස්සරහ මවලා පෙන්වාවි. දෝණිත් ඒවට රැවටෙවි.ඒ හීන වල පාට හරි ඉක්මණට වියැකිලා ගියාම ඇයට පසු තැවෙන්න වේවී. එදාට ඇයගේ ඇස් වල කඳුලු වලට ඉවරයක් නැතිවේවි. අමාරුවෙන් මුතු කැට එකින් එක අමුණලා හදපු මුතු වැලක් එක නිමේෂයකින් ඉහිරිලා ගියාම දැනෙන දුක වගේ, ඇයගේ හීනත් ඉහිරිලා ගියාම ඇය දුක් වෙනකොට. අම්මට බැහැ දෝණිගේ නිල් පාට ඇස් වල කඳුලු කැට බලන්න. ඊට කලිනුයි අම්මා ඇයට කියලා දෙන්නේ ලස්සනට පේන හැමදෙකටම ජීවිතේට පිවිසෙන්න ඉඩ දෙන එක ගොඩක් අවදානම් කියලා.

අහන්න ආසයි තුරු හිස කුරුලු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ

ගැයෙනා මුතු කැට පදවැල් සීරෙන විට කඳුලු ගලයි
ඒ ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ…

ඉදින් දෝණිට ලෝකේ දැකල, බලලා, අහලා තේරුම් කරගන්න දෙවල් ගොඩාක් තියෙනවා. ඒ හැම දෙයකම හොඳ නරක වෙන් කරගෙන පොලොවේ පය ගහල ජීවත් උනොත් , දෝණිගේ ජීවිතේත් හැමදම සිනා මල් ගොඩක්ම වේවී!!

Image Source : imkewrites.files.wordpress.com