ළමා පරපුර අද සුරක්ෂිතද?

Share

ළමයා යනු කවරෙක්දඑක් ආකාරයකින් දක්වන්නේ නම් ළපටි පැළයකි. නැතහොත් මැටි ගුලියකි. මාගේ මේ නිර්වචනය ළමයා හාස්‍යයට ලක් කිරීමට මා දැරූ ව්‍යායාමයක් නොවේ. යථාර්ථය නම් මේ ළපටි පැළය රසවත් වූ ඵල දරණ වෘක්ෂයක් වන්නටත, මැටි ගුලිය අලංකෘත කැටයම් වලින් නිර්මිත මල් බඳුනක් වන්නටත් ඊට ලැබෙන බාහිර සාධක බලපානු ඇත. පැළයේ නිසි වැඩීමට ජලය, පොහොර, හිරු එළිය ආදිය මෙන්ම මැටි ගුලියට ද ප්‍රමාණවත් ජලය, සකපෝරුවක්, අත් ගුණය අවශ්‍ය වේ. ඒ අයුරින් ළමයෙකුට ද කුඩා කළ සිටම හොඳ පුරවැසියෙකු වන්නට අඩිතාලම වැටෙන්නේ ඔහුට හෝ ඇයට ලැබෙන බාහිර සාධක මතයි.

මිනිස් සමාජය තුළ මුදලින් මිනිය නොහැකි තරම් උපරිම වටිනාකමක් දරුවෙකුට ලැබී ඇත. ළමයෙකුට මෙතරම් වටිනාකමක් ලැබී ඇත්තේ දරුවා තවත් එක් මිනිස් පරම්පරාවක ආරම්භය වන නිසාය. දරුවකු දෙවියන්ගෙන් ලද දායාදයකි. පෘථිවියෙන් මිනිස් පරපුර වඳ වී යාම වළක්වාලන්නට හැකියාව ඇත්තේ ද දරුවන්ට පමණි. මෙතරම් වටිනා වස්තුවක් වන දරුවාට අද සමාජයේ නිසි තැනක් ලැබී තිබේ දපිළිතුර නැත යන්නයි.

india-world-day-against-child-labor-2010-6-12-5-3-53_0_0_0_0_0_0සමාජයේ කොයි මොහොතක කවර තැනකදී දරුවන්ට අසාධාරණයක් සිදුවේදැයි කිසිවෙකුටත් කිව නොහැකිය. අද බොහෝ නිවෙස්වල හොර රහසේම මෙහෙකාරකම්වල යොදවන්නේද දරුවන්ය. පොලීසියට හසු නොවන පරිද්දෙන් මත් ද්‍රව්‍ය, මත් කුඩු, දුම්වැටි ආදිය ප්‍රවාහනය කරන්නේද දරුවන් මාර්ගයෙනි. මාධ්‍යකරුවන් උණු කැවුම් සේ සිය මාධ්‍ය පතළ කිරීමට දරණ උත්සාහයේදි ඔවුහු ළමා පරපුර අතකොළු බවට පත් කරගෙන ඇත. සන්නිවේදනයේදී ලැබෙන වාසිය තකා බිල්ලට ගෙන ඇත්තේ ද ළමා පරපුරයි. නිසි අධ්‍යාපනයක් නොමැතිව මහ මඟ සිඟමන් යදින වීදි දරුවන් අද රටේ කොතෙකුත් සිටී ද? තම සහෝදරයා, සීයා, පියා හෝ සමීපතම ඥාතියා අතින් දූෂණයට, හිංසනයට ලක්ව මරණයට පත් වූ දරුවන් ගැන අපට නිරන්තරව අසන්නට ලැබේ. ඉපදීමටත් පෙර කළලය විනාශ කරන යුගයක, ජීවත් වීමට තබා ඉපදීමට ඇති අයිතියත් දරුවෙකුට අහිමි කර ඇත. නීත්‍යනුකූල නොවන සබඳතා නිසා ඇති වන දරුවන් මහමඟ දමා ගොස් සතුන්ගේ ගොදුරු බවට පත් වූ අවස්ථා අනන්තවත් අසන්නට ලබේ. මේ සියලු ක්‍රෑරකම් විඳ ගැනීමට සිදුව ඇත්තේ දරුවන්ටය.

පෙර කී පරිද්දෙන් ළමා පරපුරේ මුල් අඩිතාලම යම් හෙයකින් බිඳ වැටුණොත්, මුළු ළමා පරපුරම අගාධයට ඇද වැටේ. ස්ථිර ශක්තිමත් අත්තිවාරමක් නොමැතිව නිවසක් තැනිය නොහැක්කේ යම් සේ ද මුල සිටම දරුවෙකුට ආරක්ෂාව සහ නිසි මඟ පෙන්වීමක් නොමැති වුවහොත් අනාගතයේ යහපත් පුරවැසියන් බිහි නොවනු ඇත. මේ සඳහා මුල්ම මඟ පෙන්වීම ලැබිය යුත්තේ නිවසෙනි.

දස මසක් කුස තුළ දරා සිට ලෙය කිරට හරවා පොවන මව දරුවකුගේ සියලුම බර කරට ගනී. දරුවා යම් ආකරයකින් සමාජ ස්ථාවරත්වයකට පැමිණෙන තුරු අප අත්නොහරින සෙවණැල්ල මෙන් පසුපස සිටින්නෙ ඇයයි. දහඩිය කාසි වලට හරවා දරුවාගේ සියලු අවශ්‍යතා නොපිරිහෙලා ඉටුකර දීමට පියා වෙහෙස දරයි. නිවසෙන් පසු පාසල නිවස කරගන්නා දරුවාට දෙගුරුන් බඳු වූ ගුරු මෑණිවරුන්ගේ සහ ගුරු පියවරුන්ගේ රැකවරණය ලැබේ. පාසලෙන් පසු ඥාති හිතමිත්‍රාදීන් සමඟ ද ගැටෙමින් සමාජයට අවතීර්ණ වන දරුවාට සමාජ ආරක්ෂාව හොඳින් ලැබිය යුතුයි.

එපමණක් නොව දරුවකුට හිමි විය යුතු අයිතිවාසිකම් සැපිරිය යුතුයි. අධ්‍යාපනය ලැබීමටආදරය, කරුණාව, සෙනෙහස ලැබීමට, හිසට සෙවණක්,ඇඳුම් පැළඳුම් ලැබීමට, දූෂණයට අපචාරයට ලක් නොවී සිටීමට, ආබාධිත තත්ත්වයකදී කොන් නොවී සිටීමට මෙන්ම කතා කිරීමට, තම අදහස් ප්‍රකාශ කිරීමට ද දරුවෙකුට අයිතියක් ඇත. මෙලෙස තමාට හිමි විය යුතු අයිතිවාසිකම් සැපිරෙන කළ තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකිරීමට නිතැතින්ම පෙළඹෙනු ඇත.

6a00d8345202e469e2015391b28f43970bලෝක ළමා අරමුදල, කාන්තා හා ළමා කාර්යාංශය සහ ළමා ආරක්ෂක සංවිධාන වලින් ඉටුවන කාර්යභාරය හුදු ලිඛ්ත ලියවිල්ලකට පමණක් සීමා නොවිය යුතුයි. ලෝක ළමා දිනය යයි අඬබෙර ගසාගෙන රූපවාහිනියේ වැඩසටහන් පිට වැඩසටහන් ප්‍රචාරය කිරීමෙන් පලක් නැත. විය යුත්තේ ඉත සිතින්ම ළමා පරපුර සුරැකීමට කැපවීමයි.

යුරෝපීය සිරිත් ලෙවකන, ලෞකික තාවකාලික ආශාවන් නැමැති මිරිඟුවේ දැවටෙන ජනයා බහුල අද වැනි සමාජයක ළමා පරපුර ආරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාවයයි. එය සැපිරෙන කල්හි,දරුවන්ට මේ ලෝකය අදට වඩා සුන්දර මිහිරි තොටිල්ලක් වනු නොඅනුමානයි.

Image courtesy;
 
Tagged :