ස්වර පුවරුව පිටුපස සිට…

Uditha , 0 Comments

“ශ්‍රද්ධාංජලී 2018, ඔබට පිදෙන වගයි.” කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨයේ බැති ගී ප්‍රසංගය විරාජ් සහ පිනිදි ගේ වදන් පෙළෙන් අරඹන ලදි. මම අපේ guitar වාදකයන් දෙස බලුවෙමි. කොකා සහ රත්තා මා දෙස නො ඉවසිල්ලෙන් බලා සිටි අයුරු දිස් විය. තල්ලා සහ විශාරද අම්‍රිතා ගුණවර්ධන තම note stand දෙසට නෙත් යොමාගෙන සිටියෝ ය. මා ඉදිරියෙන් සිටියේ තබ්ලා වාදනය කරන්නෝ ය. දෙවන වසරේ එරාන් අයියා සහ අපේ තුයියා ද මදෙස බලාගෙන ය. විශාරද නවෝද්‍යා කොන්දසිංහයන් සමග හසිනි, කිත්මා, මිකී සහ නිකී තම වීනා සුසර කරගෙන සිටියේ නො ඉවසිල්ලෙනි. අනිත් ස්වර පුවරුව පිටුපස සිටියේ ගිම්ෂාන් ය. ඔහු ගේ වාදන හැකියාව ගැන තිබූ විශ්වාසය නිසාම ඔහු දෙස නොබැලුවෙමි. ප්‍රථම ගීතයේ සිතාර් part නැති නිසා එපා අයියා හිටියේ නිදහසේ ය. අන්තිමටම මම, මගේ දකුණු පසට නෙත් යොමු කළෙමි. Rhythm guitar වාදක දෙවන වසරේ පුම්බා අයියා ගේ මුහුණේ මද සිනහවකි. “හරි මල්ලී, count එකක් දීලා පටන් ගම්මු” වෙනදා නොතිබුණු ආදරයක් bass guitar වාදක තැපිලා අයියාගේ කටහඬින් නික්මුණු ඒ වදන් පෙළෙහි ගැබ් වී තිබුණි.

දිග හුස්මක් හෙළුවෙමි…

1… 2… 3… 4… 1…

තුම්මුල්ලේ අහස් කුස දෙදරා යන වීනා වාදනයකින් අපි වැඩ ඇරඹුවෙමු. ඊට සුළු මොහොතකට පසුව අපේම සහෝදර සහෝදරියෝ දන්නෝ බුදුන්ගේ ගීතයට තම මියුරු කට හඬවල් එක් කළෝ ය. ස්වර පුවරුව පිටුපස සිටියදී කාලය ඉක්මනින් ගෙවෙන අයුරු විශ්මය ජනක විය. පිළිවෙලින් “අඩවන් වූ දෙනෙතින් ගලනා” සහ “පිහිටක් නැති සරණක් නැති” යන ගීත ඉදිරිපත් කළෙමු.

ඉන් පසුව ඉදිරිපත් කෙරුණේ අපේ සහෝදරියන් පමණක් ගායනා කරන “ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්” ගීතයයි. විශාරද තිළිණි තුශාරිකා “ආ සෑසී” ad lib එකෙන් මුළු විශ්වවිද්‍යාල පරිශ්‍රයම දෙදරුවාය. ඊට අමතරව සෙනුරි ගේ vocal variations කැපී පෙනුණි. සුළු තාක්ෂණික දෝෂ මධ්‍යයේ වුවත් මෙම ගීතය මනරංජනීය ලෙස ඉදිරිපත් කළෙමු.

සැවොම නැවතත් වේදිකාවට එක් වූයේ “බුදු පියාණනේ” ගීතය ඉදිරිපත් කිරීමටයි. ඉන් පසුව ගැයුන “දස බිම්බර මාර සෙනග” ගීතයේ අවසන් කොටසේ ඇති inter එක ගහන්න ඉඩ කඩ ඇතැම් පුහුණු සැසිවලදි නො ලැබුනද ප්‍රසංගයේදී එම part එක වයන්න ඉඩ ලැබීම ගැන මම අපේ ගායක ගායිකාවන් හට ස්තූතිවන්ත වෙමි. එම part එක පොඩ්ඩක් විද්දට ඔබ සැමගෙන් සමාව අයද සිටිමි.

අපේ සහෝදරයන් පමණක් වේදිකාවේ ඉතුරු කරමින් අපේ සහෝදරියෝ බැස ගියේ “ගිලෙම් ඔබේ ගුණ මුහූදේ” ගීතය ඉදිරිපත් කිරීමට පෙරය. ගැට්ටා, ජූසා, පත්තු ඇතුළු අපේ කොල්ලන්ගේ හඬ තුම්මුල්ලේ අහස සිසාරා ගියේ ය. නැවතත් සැවොම වේදිකාවට එක් වූයේ “බුද්ධානු භාවේන” ගීතයටයි. ඊට පසුව ගැයුන “ඇසේ මතුවන කඳුළු බිඳු”  ගීතයේ මැද කොටසේ ඇති “අනේ පිහිටක් නොමැති වූ විට” පෙළ, කිසිම වාද්‍ය භාණ්ඩයක පිහිටක් නොමැතිව, ගැට්ටා, ජූසා ඇතුළු කොල්ලෝ කිහිප දෙනෙකු ඉදිරිපත් කරද්දී දැනුන හැඟීම කියා නිම කළ නොහැක.

“දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ” සහ “පාරමිතා බල” යන ගීතයන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපේ ආදරණීය නිවේදක දෙපළ රැස් ව සිටි සැමට දුන්නේ ලොකු පොරොන්දුවකි. එම පොරොන්දුව සෑම වසරකම දෙන පොරොන්දුවකි. එනම්, “නැවතත් ලබන වසරේ ශ්‍රද්ධාංජලී 2019 සමඟ හමුවෙමු” යන්නයි.

නැවතත් මම පියවි සිහිය ලදිමි.

කාලය ගිය ඉක්මන. ගීත 11ක් ම වාදනය කර හමාරය. ඉතිරි වී තිබුනේ අවසාන ගීතයයි. “මචං හොඳට ඉවර කරමු!” කිව්වේ කවුද කියලා නොදුටුවෙමි. E major chord එකක් වැයුණි.

“ඉතිපිසෝ… භගවා… අරහං… සම්මා සම්බුද්දෝ… සම්මා සම්බුද්දෝ… සම්මා… සම්බුද්දෝ…” ad lib එකේ එක ස්වරයක් වත් වැරදුනේ නැත. ප්‍රසංගයේ මුල දී මෙන් මම නැවතත් අපේ වාද්‍ය වෘන්දය දෙස බැලුවෙමි.

දිග හුස්මක් හෙළුවෙමි…

1… 2… 3… 4…

යලිත් පියවි ලොවට අවධානය යොමු වෙද්දී “මල් සුගන්දේ” ගීතයත් අවසන් වී අපේ ගායක ගායිකාවන් වේදිකාවෙන් බැස යනු දුටුවෙමි. දකින දකින සැවොම “අද නම් ලස්සනට වඩේ උනා!” කියද්දී දැනෙන සතුට කියා නිම කළ නොහැකිය.

ශ්‍රද්ධාංජලී 2018 සාර්ථක කරගැනීමට සහය දැක්වූ පිරිස කොතෙක් ද යත්, ඒ සැම ගේ නම් සඳහන් කළොත් මෙම ලිපිය තව දෙතුන් ගුණයකින් දිගු වනු ඇත. එබැවින් කෙටියෙන් නම් කිහිපයක් පමණක් සඳහන් කරමි. අපේ C.O. දෙපල වූ වෙම්බා සහ ගැට්ටා ද; මැකා, සොත්ති, සුකුමාල, වගීශ, ඉරොශ්, ඔසඳ, රිකී, හාවි ඇතුළු දෙවන වසරේ අයියලා අක්කලා ද; තෙවන වසරේ තිසුර අයියා ඇතුළු පිරිසද; සිව්වන වසරේ ඉගෙනුම ලබන, ජාතික යොවුන් සේවා වාද්‍ය වෘන්දයේ නායක, සචිත්‍ර ප්‍රනාන්දු අයියා ද දයාවෙන් සිහිපත් කරමින් ශ්‍රද්ධාංජලී 2018 ප්‍රසංගයෙන් සමුගන්නට මට අවසර.

Image Courtesy: FOSMedia