Drake සමීකරණය

Share

අපට පිටතින් විශ්වයේ බුද්ධිමත් ජීවයක් පවතී ද? මේ තාරකා විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ අය තුල ඇති ගැට‍ළුවක්. මොහොතකට සිතන්න පිළිතුර ඔව් යැයි. එසේ නම් ඒ කොපමණ පිරිසක් ද? ඔබට ගණනය කිරීමක් අවශ්‍ය නම් සම්භාව්‍යතා තර්ක මත ගොඩනැගුණ Drake සමීකරණය භාවිතා කල යුතු වෙනවා. ඇත්තෙන්ම 1961 දී Frank Drake විසින් ඉදිරිපත් කල මෙම සමීකරණයේ අරමුණ විශ්වයේ පවතින බුද්ධිමත් ශිෂ්ටාචාර ප්‍රමාණාත්මක ව ගණනය කිරීම නොවේ. එවැනි ගණනයක් යම් කෙනෙකුට අවශ්‍ය නම් සැලකිල්ලට ගත යුතු කරුණු පැහැදිලි කිරීමයි. සමීකරණයේ බොහෝ සාධක වර්තමානයේත් නොදත් හා අනුමාන කිරීම විශාල පරාසයක පැතිරී පැවතීමත් හේතුවෙන් තවමත් මෙම සමීකරණය පවතින්නේ මතභේදකාරී තත්වයකයි. බොහෝ විචාරකයන්ට අනුව Drake සමීකරණය හිතළුවක් පමණයි. නමුත් පිළිතුරක් නොමැති ප්‍රශ්නයකට පිළිතුරු දීමට ඉදිරිපත් වීම හේතුවෙන් මෙහි වටිනාකම අවතක්සේරු කරන්න නොහැකියි. හොදයි මොකක්ද මේ Drake සමීකරණය:

drake

ටිකක් විතර විශාල සමීකරණයක්. මේ පද හදුනා ගැනීම වැදගත්.
N = අපේ මන්දාකිණියේ පණිවිඩ හුවමාරු කර ගත හැකි ජීවීන් සහිත ග්‍රහලෝක ගණන
R* = අපේ මන්දාකිණියේ තාරකා බිහි වීමේ මධ්‍යනය අගය
fp = එවැනි තාරකාවක ග්‍රහලෝක පැවතීමේ සම්භාවිතාව.
ne = ජිවය පැවතිය හැකි ග්‍රහලෝක සහිත තාරකාවකට (per star), ජිවය පැවතීමේ වාතාවරණයක් පැවතිය හැකි ග්‍රහලෝකයන්හි මධ්‍ය අගය.
fl = ජීවය පැවතිය හැකි ග්‍රහ ලෝක වලින් යම් අවස්ථාවක දී සැබවින්ම ජීවයක් ඇරඹිය හැකි ග්‍රහලෝක සංඛ්‍යාව භාගයක් ලෙස
fi = බුද්ධිමත් ජීවියන් ඇති විය හැකි ග්‍රහලෝක, ජීවය ඇති ග්‍රහලෝක වලින් භාගයක් ලෙස.
fc = ඉහත ග්‍රහලෝක වලින් තවත් ජිවයකට ග්‍රහණය කළහැකි රේඩියෝ සංඥාවක් නිපදවීමේ හැකියාවක් ඇති ග්‍රහලෝක භාගික සංඛ්‍යාවක් ලෙස.
L = එවැනි ජීවින් පිරිසක් රේඩියෝ සංඥාවක් නිකුත් කිරීමට ගන්නා කාලය.

ටිකක් විතර සංකීරණ සමීකරණයක්. දැන් ඔබට පැහැදිලි ඇති, අප තවමත් ඉහත පද වලට අදාළ සංඛ්‍යාත්මක අගයන් දන්නේ නෑ. නමුත් සම්භාවිතාවට අනුව සලකා බැලූ විට එහි කිසිදු වරදක් දැකිය නොහැකි. මොහොතකට හිතන්න අප මුලින් සාකච්ඡා කළා වගේ විශ්වයේ බුද්ධිමත් ජිවය ගැන ඔබට දන ගත යුතුයි කියා. දැන් ඒ සදහා තොරතුරු රැස් කල යුතු කරුණු ගැන ඔබට අවබෝධයක් ඇති. තාරකා විද්‍යාඥයන්ට අනුව ඉහත සමීකරණයේ අවසාන පද හතර පිළිතුරු සොයා ගැනීමට අපහසු ම කොටස් ලෙස හඳුන්වනවා. එය සොයා ගැනීම අප අනාගතයට බාර කරමු. සමීකරණය ඉදිරිපත් කරන අවධියේ ඒ සඳහා අගයන් යෝජනාවිමක් ද සිදු උනා. පහත දැක්වෙන්නේ එම අගයන්.

• R* = වසරකට එක තරුවක්
•fp = 0.2-0.5
• ne = 1-5 (ග්‍රහලෝක පවතින තාරකා වලින් 1-5 ප්‍රමාණයක ජිවය පැවතිය හැක.)
• fℓ = 1 (100% එම සියලු ග්‍රහ ලෝක වල ජිවය ඇතිවේ)
• fi = 1 (100% එම සියලු ග්‍රහ ලෝක වල බුද්ධිමත් ජීවයක් ඇතිවේ.)
• fc = 0.1-0.2 (ඉන් 10-20% ප්‍රමාණයකට සන්නිවේදනය කල හැක.)
• L = 1000-100,000,000 අවුරුදු

දැන් ඉතින් ගණනය කරල බලන්න. Drake ට අනුව 1000 හා 100,000,000 අතර බුද්ධිමත් ශිෂ්ටාචාර අප කිරි සයුර මන්දාකිණියේ තියෙන්න පුළුවන්.
මේ සමීකරණය ගැන අදහස් ඉදිරිපත් කල උගතුන් එහි ඇති අඩුපාඩු වලට විසඳුම් ඉදිරිපත් කළා. ලිපියේ ඉතිරි කොටස කියවන්න කලින් ඔබටත් එවැනි අඩු පාඩු හොයා ගන්න පුළුවන් ද බලන්න.

**************************************************
**************************************************
**************************************************

මේ එවැනි යාවත්කාලීන කිරීම් කිහිපයක්.

ජනපද කරණය.

ජිවය ග්‍රහලොවක ඇති විය හැක්කේ එතුලින්ම පමණක්ද? තවත් පිටත ග්‍රහලෝවකින් පැමිණි පිරිසක් නව ග්‍රහලොවක පදිංචි වුවහොත්… උදාහරණයක් ලෙස පෘතුවි වැසියන් අඟහරු මත ජනාවාස පිහිටුවීම දැක්විය හැකියි. මෙවැනි විටක Drake සමීකරණය වෙනස් කලයුතු වෙනවා. ඇත්තෙන්ම එවිට ලැබෙන්නේ ඉතා සංකීරණ සමීකරණ 3 කින් යුත් පද්ධතියක්.

නැවත බිහිවීම
එක් ග්‍රහලොවක ජිවය ඇතිවන්නේ එක් වරක් පමණද? යම් ශිෂ්ටාචාරයක් තම ජිවන කාලය අවසන් වීමෙන් පසු විනාශ වී යා හැකි අතර එම ග්‍රහලොව තුල නැවත වසර බිලියන ගණනකින් හෝ ජිවිය ඇති වීමේ හැකියාවක් ද පවතී. එම නිසා ගණනය කල නොහැකි තරම් ශිෂ්ටාචාර යම් ග්‍රහලොවක් තුල ඇතිවී නැති වී යාහැකියි. එම නිසා drake සමීකරණය තවත් වෙනස් විය යුතුයි. එක් ශිෂ්ටාචාරයක් නැති වීමෙන් පසු නැවත ශිෂ්ටාචාර nᵧ ප්‍රමාණයක් ඇතිවේ යැයි සිතන්න. එවිට සත්‍ය වශයෙන්ම ඇතිවූ ශිෂ්ටාචාර සංඛ්‍යාව (1+ nᵧ) වේ. මෙය සැබෑ නැවත බිහි වීමේ සාධකය ලෙස හදුන්වන අතර මුල් සමිකරණයේ අඩංගු විය යුතුය. nᵧ ද විවිධ කාරණා මත රදා පවතී. උදාහරණයක් ලෙස ජිවය නැති වීම කෙටි කාලින හේතුවක් මත සිදු වුවක් නම් nᵧ විශාල වන අතර දිගු කාලින (තාරකාවට බලපාන කාරණයක් වැනි : තාරකාව විනාශ වී යාමක් නම් nᵧ = 0 වේ.) හේතුවකදී nᵧ කුඩා අගයකි

METI (Messaging to Extra-Terrestrial Intelligence) සාධකය

බුද්ධිමත් ජීවින් අපට ග්‍රහණය කල හැකි පණිවිඩයක් නිකුත් කරයිද? ඔවුන්ගේ මාධ්‍යය හා භාෂාව අපට තේරුම් ගත හැකිද? උදාහරණයක් ලෙස ඔබ චීනයට ගිය විට භාෂාව නොදන්නේ නම් ඔවුන් කුමක් පැවසුවත් එය ඔබට ග්‍රහණය කල නොහැකියි. ඔබ අතේ ජංගම දුරකතනයක් නැත්නම් ඔබට කථා කලයුතු පුද්ගලයා කෙතරම් උත්සහ කලත් වැඩක් වෙන්නෙත් නෑ.
මෙයට ඇතුලත් විය යුතු අනෙක් ප්‍රධානම දේ වන්නේ, එම ජීවින් අන්තර් තාරකාමය සන්නිවේදනයක යෙදේද යන්නයි. (අපිට වෙන වැඩක් නැත්නම් හොදයි කියල හිතුවොත් :D)මේ කාරණය පෙන්වා දුන් Alexander Zaitsev METI සාධකය හදුන්වා දුන්නා. එයත් Drake සමීකරණයට ඇතුලත් විය යුතුයි.

මේ පිලිබදව තවත් ගවේෂණයේ යෙදුනහොත් ඔබට තවත් කරුණු රාශියක් සොයා ගත හැකියි. මේ වන විට සමිකරණයේ අගයන් සදහා නව ඉදිරිපත් කිරීම් ඇති අතර ඒවාට අනුව බුද්ධිමත් ජීවින් සොයා යෑමේ මෙහෙයුමේ විද්‍යාඥයින් යෙදී සිටිනවා. කවදා හෝ මෙයට වඩා නිරවද්‍ය සමීකරණ සොයා ගනීවි. අමතක කරන්න එපා එම කාර්යයේ ඔබත් කොටස් කරුවකු විය යුතුයි.

Source and image:
www.seti.org