ලොව බියෙන් සලිත කරවන Ebola මාරයා !!

Share

 

මේ වන විට කොන්ගෝ, ගැබන්, සුඩානය, උගන්ඩාව, නයිජිරියාව ඇතුලු අප්‍රිකානු රටවල් රැසක ජනතාව සීඝ්‍රයෙන් පැතිර යන “එබෝලා” වෛරසය (“Ebola” virus) හේතුවෙන් අපහසුතාවට පත්ව තිබේ. නවතම පුවත් වාර්තා වලට අනුව නයිජීරියාවේ ඇති වී තිබෙන වසංගත තත්වය පාලනය කිරීම සදහා ප්‍රසිද්ධ ජනතා හමු පැවැත්වීම පවා තහනම් කොට ඇත. Ebola virus disease (EVD) / Ebola hemorrhagic fever (EHF) ලෙස හදුන්වන උණ රෝගී තත්වය ඇති කරනු ලබන්නේ Ebola වෛරසය ආසාදනයෙනි. රෝග පාලනය සදහා කිසිදු ප්‍රතිකාරයක් මෙතෙක් සොයා ගෙන නොමැති අතර බොහොමයක් රෝග ලක්ෂණ බොහෝ රෝග වලට පොදු නිසා රෝග විනිශ්චයද ඉතා අපහසුය.

1976 දී කොංගෝහි එබෝලා ගංගාව (ebola river) ආශ්‍රිත ප්‍රදේශයෙන්මුල් වරට හදුනා ගත් මෙම නව වෛරසය Ebola virus (EBOV) ලෙස නම් කරනු ලැබුණි. පසු කාලිනව වෛරසයේ නව ප්‍රභේද (sub types) 05 ක් හදුනා ගත් අතර ඒවායින් ආකාර 04 ක් ම මිනිසුන්ට ආසාදනය විය හැකි ආකාරයේඒවා වේ. RESTV ප්‍රභේදය මිනිසුන්ට රෝග ඇති නොකරන අතර අනෙකුත් ප්‍රයිමේටාවන්ට රෝගය ඇති කරනු ලබයි.

Ebola virus (EBOV) වර්ගීකරණය

Family – Filoviridae

Order – Mononegavirales

Genus – Ebola virus ( ss-RNA  virues)

Sub types –

    1. Bundibugyo virus (BDBV)
    2. Ebola virus (EBOV)
    3. Sudan virus (SUDV)
    4. Tai Forest virus (TAFV)
    5. Reston virus (RESTV)

 

ebola වෛරසයේ ව්‍යාප්තිය
ebola වෛරසයේ ව්‍යාප්තිය

 

වදුරන්, චිම්පන්සින්, වවුලන්, ඉත්තෑවන් වැනි සතුන් අතර මෙම වෛරසය සුලභ අතර එය මිනිසුන්ට සම්ප්‍රේෂණය වු ආකාරය මෙතෙක් සොයා ගෙන නැත.කෙසේ නමුදු ආසාදිත ජීවීන්ගේ දේහ තරල ස්පර්ශ වීම හෝ දේහ ගත වීම, අසාදිත සතුන්ගේ මාංශ අනුභවය හේතුවෙන් වෛරසය මිනිසා තුලට ඇතුලු වන්නට ඇතැයි යන්න විද්වත් මතය වේ. වෛරසයේ වාහක අවධියක් මෙතෙක් හදුනා ගෙන නොමැති අතර වෛරස ජීවන චක්‍රයේ ඕනෑම වර්ධක අවධියකට නව ජීවියෙකු තුලට ඇතුලු වී ගුණනය වීමට ඇති හැකියාව වෛරසයේ වේගවත් ප්‍රචාරණයට හේතු වී තිබේ.

සාමාන්‍යයෙන් වෛරසය ආසාදනයෙන් දින 2 සිට 21 අතර කාලයකදි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. එහෙත් ආසාදිත දින සිටම ධාරකයා (Host) රෝගය බෝ කරන්නෙකු ලෙස කටයුතු කරයි. මුල්ම රෝග ලක්ෂණ ලෙස සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්වයකදි මෙන් හිසරදය, හන්දිපත් වේදනාව, උගුරේ වේදනාව සමග මද උණ ගතිය ඇති විය හැක.  තවද වමනය සමග පාචන තත්වයක්ද ඇති විය හැකිය.රෝගය උත්සන්න වු විටදි සමේ පැල්ලම් ඇති වනු දැක ගත හැකි අතර වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩාල කරයි.

වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව නිපදවන ග්ලයිකොප්‍රොටින (Glycoprotein) වල එක් අකාරයක් ධාරකයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරයි. වෛරසය සුදු රුධිරාණු වර්ගයක් වන මොනොසයිට වලට ඇතුලුව ඒ තුල ගුණනය වෙමින් එම සෛල විනාශ කිරීම ආරම්භ කරන අතර රුධිර වාහිනි පදධතිය හරහා ශරීරය පුරා ගමන් කරයි. වෙනත් ආකාරයක ග්ලයිකොප්‍රොටිනයක් අපිච්ඡද සෛල හා බැදී ඒවා විනාශ කිරීම නිසා අභ්‍යන්තර හා භාහිර රුධිර වනයවීම් සිදු වනු දැක ගත හැකිය.අක්‍රමවත් රුධිර වහනය හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිද වැටීම සිරුරේ පටක හා අවයව විනාශ වීමට මග පාදන අතර අවසානයේ රෝගියාගේ මරණයට හේතු වේ.කිසිදු රෝග පාලන ක්‍රමයක් මෙතෙක් සොයා ගෙන නොමැති අතර වෛරසය අසාදනය වුවන්ගෙන් 50-90% ප්‍රතිශතයක් මරණයට පත් වී තිබේ. ඇතැම් රට වලදී මරණ අනුපාතය 100% ක් වන්නේ වෛරසයේ ප්‍රචණ්ඩතාවය පිළිබදව ලොවටම ඉඟිකරමිනි.

ආසාදිත පුද්ගලයෙකුගේ දේහ තරල වලින් අපවිත්‍ර වු වාතය අශ්වාස කිරීම,ස්පර්ශය හා සමීප ඇසුර නිසා රෝගය බෝ විය හැකිය. රොගියෙකු භාවිතා කරන උපකරණ. එන්නත් කටු,ඇද අතිරිලි ආදිය නිසි ලෙස බැහැර නොකිරීම රෝග ව්‍යාප්තියට රුකුලක් වේ. තවද වවුලන්, වදුරන්, චිම්පන්සින්, ඉත්තෑවන් අතර සුලභ මෙම වෛරසය ආසාදිත සතෙකුගේ දේහ තරල වලින් අපවිත්‍ර වු එලවළු පලතුරු අනුභවයෙන්ද, නිසි ලෙස නොපිසු මාංශ අනුභවයෙන්ද රෝගය ඇති විය හැකිය.

EHV/ EVD රෝග ලක්ෂණ කොලරා, ඩෙංගු, මැලේරියා රෝග වල රෝග ලක්ෂණ වලට සමාන අතර නිවැරදි රෝග විනිශ්චය සදහා ප්‍රතිදේහ පරීක්ෂාවක් (anti body test)හෝ වෛරස RNA පරීක්ෂාවක් (RT-PCR finger printing) සිදු කල යුතුය.

රෝගය පැතිරීම වැලැක්වීම සදහා අසාදිත පුද්ගලයන් වෙන් කර තැබීමත් (quarantine) අසාදිත අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමත් වැදගත් වේ.තවදප්‍රතිකාර සදහා මනා ලෙස පුහුණු කල වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල වල සහයද අතිශය වැදගත් වේ.

Reference-

www.mirror.co.uk

www.cdc.gov

image — www.mirror.co.uk

 
Tagged : / / /