පිතු සෙනෙහේ

Share

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්

මේ රැයේ මිහිරි ම වෙලාව යි

දොර ඇරන් එලියට ආවොතින්

මේ මිහිරි දේවල් නුඹට ම යි

 

හිරිකඩ සීතලේ වුනත් තාත්තා ප්‍රාර්ථනා කළේ දුවගෙ සතුට, සැපත. කටුමැටි ගෙයි ඇතුළේ කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන දුවණිට තාත්තා කතා කරන්නේ තාත්තා දැකපු ඒ ලස්සන දුවටත් පෙන්නන්න. එහෙම තමයි තාත්තලා. තාත්තගේ ආදරේ අම්මගේ ආදරේ වගේ නොවේ කිව්වොත් මං හිතන්නේ මං හරි. අම්මත් එක්ක අපි නිතර ම ගැවසෙන නිසා ද මන්දා අම්මගේ ආදරේ අපිට සමීප වැඩී නේද…. ඒත් තාත්තගේ ආදරේ දැකගන්න දරුවෝ විදියට අපිට ලැබෙන අවස්ථා බොහො ම අල්ප යි.

අම්මා වගේ තාත්තා හැමදේට ම තරවටු කරන්නෙ නෑ. අම්මා බනිනකොටත් සමහරවිට “ලමයින්ට නිකං කෑහගන්න එපා” කියලා අම්මට කියන වෙලාවල් නැති ව ම නොවේනේ නේද? ඒත් තාත්තාගේ බැල්මටත් කොච්චර ලොකු උනත් තාමත් බය යි. තාත්තගේ ආදරය මහමෙරු පර්වතයට සමාන යි කියන මතයට මං පුද්ගලික ව කැමති යි. මොකද අපි කවුරුත් දැකලා නැති මොන වගේ ද කියලා කිසි ම අදහසක් නැති දෙයක්නෙ මහමෙර කියන්නේ. ඉතින් තාත්තගේ ආදරෙත් ඒ වගේනේ. අපිට පේන්නෙ නෑ. ඒත් සමහර අවස්ථාවන්වල දි දැනෙනවා අපිට ඒ ගැන හිත ගන්නත් බෑ කියලා.

ආසියාතික ජන සමාජය ගොඩනැගිලා තියෙන්නේ පිතෘ මූලික ව. ගොඩක් වෙලාවට ඒකට හේතුව ඕන ම දෙයක් ගැන අපිට නොපෙනෙන ගොඩක් දේවල් තාත්තාට පේන එක වෙන්න ඇති. ගොඩක් වෙලාවට ප්‍රශ්නයක හරි ම තීරණය ගන්න කෙනා තාත්තා. සමහරවිට උගත්කමට වඩා එයාලට ගොඩක් දුර දැකීමේ හැකියවක් තියනවා. එහෙම නේද? අම්මා නැති කල අප්පා කවර කළ කියලා කිව්වත්  සමහර අම්මාලටත් වඩා දරුවන්ගේ දුක සැප හොයල බලන තාත්තලා ඕන තරම් අපේ රටේ ඉන්නවා. ඒ අතර තමන්ගේ ලෙයින් හැදුනු දරුවගේ ලෝකේ අඳුරු කරන තාත්තලත් නැති ව ම නෙවේ. නමුත් සුළුතරය අපි අමතක කරමු.

කොතනකදිවත් නොදැනෙන රැකවරනයක් අපි කාටත් දැනෙන්නේ තාත්තා ලඟ ඉන්නකොට. හිතලා බැලුවොත් තේරෙයි අපි වෙනුවෙන් කරලා තියන දේවලින් දශමයක්වත් අපේ ජීවිත කාලය අතරතුර අපිට එයලා වෙනුවෙන් කරගන්න අමරු යි කියලා. ඉතින් පුළුවන් විදියට අපි ඒ අහිංසක හිත්වල අපි වෙනුවෙන් ගොඩගැහිලා තියන අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරමු. ඒ හිත්වලට දුක් දෙන්න හිතන්නවත් එපා. කොයිතරම් පන දෙන්න ඉන්න අය ලඟ හිටියත් යම් කරදරයක් උන දාකට අපි ලඟ ඉන්න එක ම සහ ලොකු ම ශක්තිය තාත්ත යි අම්ම යි.

“පිතු පාදං නමා මහං”

 

Image Source : http://www.dvo.com/newsletter/weekly/2014/05-09-115/w_images/mom_silhouette.jpg