ගජමන් නෝනා‬

Share

ගගනත දිලෙන හැඩ පුර සඳවත සේමා
රුව ගුණ දිලෙන සැටි නෙත් සිත් බැඳ බෝමා
කවි සිත, බැඳෙන කවි පද සවනට ගේනා
සකි සඳ අසන්, ඇය විය ගජමන් නෝනා

රුහුණු රට උපන් ඇගෙ දුටු කවි කමට
පුහුණු කුමට පදරුත් කවි ගොතන්නට
ඇහුනු කල වුව ද ඇගෙ නම සවන් වට
නැහුනු සිය ගණන් විය ඇගෙ සිත ගන්ට

නුග රුක පිහිටි, ගලනා ගං තෙර ගාවා
එය දැක සිතට නොඅඩුව කවි පද ආවා
බැඳි කවි පෙලට අම මී රස ගෙන නාවා
ලක දන සැවොම සිත් බැඳ මුමුණති ඒවා

දුටු දන මන බඳින හැඩ මුත් ඇගෙ සිරිය
ඇගෙ සැම සියල්, හිමි සඳ වුව අහිමි විය
වැදු දූ පුතුන් කිසිවෙකු නැති සැඳෑ විය
තනිකම මිසෙක වෙනකක් ඇගෙ ලඟ නොවිය

ඇසුරට කෙනෙකු නැති කලෙකට ලඟපාත
සුවයට යමෙකු සපැමිණි, සිට දුර ඈත
පහසට සිත කරන් හනිකට සමපාත
හිත යට තහනමෙන් විඳි, හා ඇලපාත

එක සේ ලද වුවත් සැප සම්පත් ඇයට
දුක සේ ගෙවා දැමුවේ කල්, පෙර පවට
සිතු සේ නොලද මුත් අයැදූ පෙම ඈට
සැප සේ නිදන් විය කිරි නුග සෙවණ යට…