මතක මන්දිර….

Share

හැදින්වීම :-

මෙම කතාව මා විසින්ම ලියන ලද්දක් නොවේ.මා විසින් සංස්කරණය පමණක් සිදු කරන ලදී.අභ්‍යාස පොතක පුරා පිටු 65ක , මගේම ආදරණීය ආච්චි අම්මා විසින් ලියන ලද ඇයගේම ජීවන කතාව මෙහි දැක්වේ. 1991/10/21 වන දිනයේ ලිවීම ආරම්භ කල ඇය තම ළමා කාලයේ සුන්දර බවත් , තරුණ කාලයේ කෙලිලොල් බවත් අපූරුවට මෙහි විස්තර කර ඇත.එකල ඇය සමීපයේ සිටින විට මෙහි අඩංගු බොහෝමයක් කතා රස කරමින් පවසනවා මට අද මෙන් මතකය.කතාවට, නර්තනයට, ගායනයට, ක්‍රිඩාවට අති දක්ෂයෙකු වූ ඇය ගමේ පමණක් නොව පිට ගම් වල පවා සැමගේ සිත දිනා ගන්නට සමත් වූයේ ඇයගේ කරුණාව ,සිත් වසඟ කරන කතාව, ලෙන්ගතු සිනහව, නිහතමානී බව, දයාව නිසාම විය යුතුයි.පසු කාලයකදී පිළිකා මාරයාට ගොදුරු වූ ඇය අකාලයේ මිලින වූයේ අපේ පවුලේ අවාසනාවටය. දුප්පත් ගමක හැදී වැඩී , ජීවිතය ජය ගෙන දිරිය දියණියක් ලෙස කටයුතු කල ඇයට පිළිකාව නිසා විදීමට සිදු වූ  දුක් ගැහැටද මෙහි සඳහන් වේ.විටින් විට ඇයට ඉඩ ලැබුන විට ලියන ලද මෙම කතාව ඇය ලියූ ආකාරයටම ඔබ වෙතට ගෙන ඒමට සිතමි.

ඇය විසින් රචිත මෙම කතාව(පොත), ඇය  මිය යාමට පෙර පෙන්වා තිබුනේ මා දන්නා පරිදි මට පමණි.පොත් ගොඩක් උඩ වේයන්ට පූජා කිරීමට වඩා මෙම කතාවෙන් ගත හැකි දේ බොහෝමයි යැයි මට සිතේ.ඇයගේ ජීවිතයේ සුන්දර මෙන්ම අසුන්දර තැන් ගැනත් , ජීවිතය දුක සතුට සමබර කරමින් ගෙනයන අයුරුත් ඇය අපේ පවුලේ අයට කියවීමට ඉතුරු කලා සේම ඔබටත් මෙය කියවා ජීවිතයට ආදර්ශයක්  ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීමේ අරමුණින් ඔබ වෙනුවෙන් ඇගේ ජීවන කතාව මෙසේ දිග හරිමි…….

(1) කොටස

1991/10/21 :-

1941 මැයි මාසයේ 5 වන සඳුදා හරියටම මධ්‍යහන 12.30 ටලු මා උපන්නේ. අක්කා කියන අන්දමට සුදුම සුදු, රතු පාට තොල් තියෙන මහත ළමයෙක්.අම්මට නම් ඕවා මතක නෑලු.

ඊට පසු කාලයේ අතරින් පතර මටත් මතකයි. ඒ දෙවෙනි ලෝක යුද සමයයි. තාත්තට කුඹුරු හා එළවලු වගාවන් තිබුණ නිසාත්, අම්මා අපමණ ධෛර්යයෙන් කටයුතු කල නිසාත් අපට ආහාර හිඟයක් නම් නොවීය.එහෙත් ඇඳුම් පැළදුම් ආදිය ඉතා සීමා සහිත විය.

මා මුලින්ම පාසලට ගියේද වර්ග දෙකක රෙදි එකතු කර මැසූ ගවුමක් ඇඳගෙනය. පාසලේ කවුරුත් ඒ වගේ නිසා කිසිම අඩුවක් දැනුනේ නැත. අයියලාගේ පාසල් ඇඳුම වූයේ සරමක් හා සුදු බැනියමකි. ඒ මුල් ළමා කාලය අද ළමුන්ගේ සිරකාර, තරගකාරි දිවිය හා සසදන විට කෙතරම් නිදහස්ද? රසවත්ද?

පාසලේ වැඩ අවසන් කර ආපසු ආ විට අපට බොහෝ කාලය ඉතිරි විය.පහල වෙල අයිනේ “ගොතටු ලිදෙන්” නෑමටත්, කොච්චි කැලෙන් දං කැඩීමට යාමත් දැනුදු සිහිවන විට ඇති කරවන්නේ සොම්නසකි. දං ගස් අතරින් අප අමාරුවෙන් එහා මෙහා යද්දී අපේ පා උඩින් හා පැටව් පැන පැන ගියහ. “ඕකෙ නයි ඉන්නවා”  යයි වැඩිහිටියන් අප බිය ගැන්වූවත් කිසි දිනක අපට කිසිම සර්පයෙකු හමු නොවීය.

අක්කා මට වඩා වසර 11 කින් වැඩිමල් වූ නිසා ඇයටද මා තුල වූයේ වැඩිහිටියෙකුට දක්වන ගෞරවයකි. පසු කලකදී මගේ දුව මෙන් ඇයත් සොහොයුරන්ගේත් මගේත් සියළු ඕනෑ එපාකම් සොයා බලන්නටත්, අඩුපාඩු සොයා බනින්නටත් , ගේදොර පිළිබඳව දෙමව්පියන්ට උපදෙස් දීමටත් වෙහෙසුනාය. එකල එය අපට මහා කරදරයක් මෙන් පෙනුණු නමුත් දැන් මට ඇයගේ අගය මහත් සේ දැනෙයි.

චූටි අයියා කුඩා කළ පටන්ම හැම දෙයක් ගැනම ගැඹුරින් සිතුවේය. එහෙත් පොඩි අයියා මහත් සෙල්ලක්කාරයෙකු විය. අපට එකල ගෙදරට ඇදීමට තිබුණේ එකම ඇඳුමකි. අමුඩයක් ගසා සරම සෝදා වනා එය වේලෙන තුරු නාගෙන බලා සිටීමට අයියලාට සිදු විය. මමද ඇඳුම් වේලෙන තුරු දිය රෙද්ද පිටින් ලිද ලඟ නියර දිගේ තම්පලා කැඩුවෙමි.

ලොකු අයියා ළමා කාලය ඉක්මෙන්නටත් පෙර, පාසලට ආයුබෝවන් කීවේ දෙමව්පියන්ගේත් කැමැත්ත පරිදිය. අවුරුදු 15ක් තරම් වයසේදී ඔහු හෝටලයක මුදල් අය කරන්නෙකු ලෙස සේවයට පත් විය. එදත් ඔහු අද මෙන්ම පරහිතකාමියෙකු විය. රැකියාවෙන් පඩි ලබා, එකතු කර පෝසත් වන්නට හේ කිසිම දිනක නොසිතීය. මාසයකට වරක් ගෙදර අඩු පාඩු උපකරණ මිලට ගෙන, හිතවතකුගේ මාර්ගයෙන් ගෙදරය එවීය.

සාමාන්‍ය ගැමි ගෙදරක් වූ අපේ ගෙදර සෙමින් සෙමින් පරිවර්තනයකට  භාජනය වූයේ ඉන් පසුවය. මෙතෙක් අවුරුද්ද පුරා දහ දුක් විඳිමින් අම්මා විසින් වියන ලද පොල් අතු 500ක් පමණ අපේ ගෙය සෙවිලි කිරීමට අවශ්‍ය විය. අම්මා සඟවා තැබූ මුදල්, තාත්තාගේ හා කඩේ තාත්තාගේ මුදල් සමඟ ලොකු අයියාද එකතුව පරණ උළු තොගයක් මිලට ගෙන අපේ ගෙය සෙවිලි කරන ලදී. එහෙත් අපේ ගේ අවට අනෙක් ගෙවල් සියල්ලම පොල් අතු සෙවිලි කරන ලද ඒවා විය. ක්‍රමයෙන් මැද සාලයට චිමිනි ලාම්පුවකුත් (එල්ලෙන) , ග්රැමෆෝනයක් ආදිය ගැනීමටත් , සාලයට සිමෙන්ති දැමීමත් සිදු විය.

අයියලා ගමේ පාසලෙන් අස් වී කොට කලිසම් ඇඳ ඉඹුල්ගොඩ ඉංග්‍රීසි පාසලට යවන්නට පෙලඹ වූයේද ලොකු අයියාය. මේ අතරේ මම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමි. ඒ 1953 වසරේ අප්‍රේල් නිවාඩුවේ ඉරිදා දිනයක් බව මට අද මෙන් මතකය. අම්මාත් , මමත් , චූටි අයියාත් ඉරිදා පොළට ගොස් සිටියෙමු. එහිදී අපේ පාසලේ ලොකු නෝනාමහත්තයා අම්මා වෙතට ආවාය. “ඔන්න දුව ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙලා . දැන් ඉතින් හේනගමට යන්න පුලුවන්” යයි කීවාය.ඒ ගැන හරිහැටි තේරුමක් අප කාටවත් නොතිබුණද, අම්මා එයින් අපමණ සතුටකට පත් වූවාය. ආපසු එද්දී අම්මා ඇඳ සිටි රෙද්ද හැට්ටයට උඩින් පොරවා සිටි සාලුව මට දෙමින් “පොඩි දුවේ, උඹට අව්වයි.ඕක ඔලුවට දා ගනින්” යැයි කීවාය. චූටි අයියා එය නිහඩව අසා සිට ගෙදර පැමිණ අනෙක් අය සමඟ පවසමින් ඇති තරම් සිනාසුනේය. එවිටයි මා පිළිබඳව ඇති වූ අම්මාගේ නිහඬ ආඩම්බරය ගැන මටත් තේරුම් ගියේ.

 

අත්තම්මා ගේ සොදුරු ජිවන කතාවේ තව කොටසකින් හමුවෙමු…

Image :https://propelsteps.wordpress.com