මතක මන්දිර (තෙවන කොටස)

Share

මතක මන්දිර (තෙවන කොටස)
ගොම්මන් අඳුර ගෙය පුරා ඇදෙන නිහඬ සවස් යාමයක මගේ දින පොත ලිවීමට යලිත් මා ඉඳ ගත්තේ දින කීපයකට පසු වුවත් පාසලේ නේවාසිකාගාරයේ සිදු වූ, මට ලිවීමට අමතක වූ සිදු වීම් කීපයක් , යලිත් අමතක වීමට පෙරාතුරුව ලියා තැබීම මැනවැයි සිතුන බැවිණි.

පාසලේ සිටි “දඟ මල්ලක්” වූ මා , පාසලේ කල දඟ වැඩ , පසු කලකදී කියවූ “ඉනිඩ් බ්ලයිටන්”ගේ “සෙන්ට් ක්ලෙයාස්”, “මැලෝරි ටවර්ස්” ආදි පොත් වල සඳහන් දඟ වැඩ වලට නොදෙවෙනි විය. මගේම ජීවිත කතාව ඇය ලීවාදැයි විටක මට සිතේ.

නේවාසිකාගාරයේ ප.ව.8.00 වන විට සියලුම පහන් නිවා දමා නිදා ගත යුතු වේ. නමුත් කෙලිලොල් දඟකාර වියේ පසු වූ අප හට මෙය මහත් හිසරදයක් විය. එබැවින් අප නේවාසිකාගාර පාලිකාවට හොරා ඉටිපන්දම් එලියෙන් පල් හෑලි දොඩවමින්, හිකි හිකි ගෑම අපට විනෝද සාගරයක් මෙන් විය. කාඩ් ගැසීම වැනි විවිධ ක්‍රීඩා වලද නිරත වූවෙමු. පාසලේ ආපන ශාලාවෙන් දවාලේදී අප මිලට ගත් නොයෙකුත් රසකැවිලි වල රස බැලීමටද මේ අතරේ අප අමතක කලේ නැත. නේවාසිකාගාරයේ පාලිකාවගේ ලී සපත්තු දෙකට පින් සිද්ද වන්නට අප රෑ 12 ත් පහු වන තුරුම විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්ථාව ලැබුණි. ඇය නේවාසිකාගාරය අසලට පැමිණෙන විට ඇගේ සපත්තු ලී පොලවේ වැදීමෙන් නැගුණු ශබ්දය අපගේ අල්ලාප සල්ලාප වල නිමාව සනිටුහන් කරන්නක් විය. ඇය ලඟා වෙත්ම අප සියලු දෙනාම ඉටිපන්දම් නිවා දමා “හොඳ කීකරු දරුවන්” මෙන් ගොරෝ ගොරෝ නිදන්නට වීමු. ඇය නේවාසිකාගාරය පහු කරනවාත් සමඟ අප සැනසුම් සුසුම් හෙලමින් යලිත් කුටු කුටු ගෑම ආරම්භ කලෙමු. ඇයට අපව හසු නොවීම ගැන අප උදම් ඇනුවෙමු. ඇය ඇවදින ආකාරය ඇතමෙක් රඟ දක්වන අතර, එය අපට මහත් විනෝදයක් විය. අපට සිටි සතුරෙකු ලෙස අපගේ පාලිකාව අප විසින් හන්වඩු ගසා තිබුණි.

නමුත් අපගේ හොරය ඇයගේ අතටම අසු වූයේ දිනක් ඇය පාවහන් නොදමාම නේවාසිකාගාරයට පැමිණි දිනකදීය. අපගේ හොර වැඩ වල ඉව ඇයට දැනෙන්නට ඇත.නොසෑහෙන්න බැනුම් ඇසූ අප හට පසු දින විදුහල්පති කාමරය ඉදිරිපිට දණ ගසා සිටීමට සිදු විය. අපගේ රාත්‍රී සාද එතැකින් නිමාවට පත් විය.

පාසල් සමය කෙතරම් විනෝදදැයි මට එකල සිහිවන සෑම විටම සිතේ. ගමේ පාසලේ මෙන් නොව සංගීතය, නැටුම්, රෙදි විවීම වැනි අමතර විෂයන්ද උගන්වනු ලැබුණි. ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් වෙනුවෙන් මසකට රු. 22 බැගින් රජයෙන් ගෙවනු ලැබිණ. පෝෂදායක ආහාර වේලක් සඳහා එය හොඳටම ප්‍රමාණවත් විය. උදේ අවදි වූ විට හා සවස 4 ට නෙස්ටමෝල්ට් කෝප්පයක් ලැබේ. උදේ ආහාරය ලොකු පාන් කාලක් හා පරිප්පුය. කුස්සියේ ඇනී අක්කා පෙර දින රැයේ ඉතිරි වූ මාළුපිනි විශාල ඇතිලියකට දමා වෙන් වෙන් වශයෙන් හින්දවයි. උදේට හීල් බතුත් සමඟ කැමති කෙනෙකුට එයද භුක්ති විඳිය හැක.

උදේ පාන් හා පරිප්පු හොදි භෝජනයෙන් අනතුරුව හීල් බත් පිඟනකුත් හිස් කිරීමෙන් පසුවයි අපගේ උදේ ආහාරය නිම වන්නේ. එයද මදි වූ විට පෙර සඳහන් කල ආකාරයට තවත් පාන් ඉල්ලාගෙන කෑවෙමු. ඒ තරුණ කාලයයි. ඉතින් යකෙක් කන්ඩ බඩගිනි කාටත් තිබුණි.නේවාසිකාගාරයේ කුස්සියට නුදුරුව වැටෙන් මායිම් වන්නේ විශාල පොල් වත්තකටය. කම්බි වැටෙන් රින්ගා වැටී ඇති පොල් අහුලාගෙන ඇවිත් දෙකට පලා බඩපුරා කන්නටද අපට හැකි විය.

10, 11 වසර වලට පැමිණෙන විට නේවාසිකාගාරයේ සිසුවියන් ගෙදර සිට පැමිණියාට වඩා තරබාරුව , පැහැපත්ව, බුද්ධිමත්ව කැපී පෙනුනෝය. නිවාඩු කාලයේ ගෙදර පැමිණි විට “මේකිව දීගෙට දෙන්ඩවත් බැරි වෙයි ඇඟේ තරම දැක්කාම” කියමින් අයියලා නිරතුරුව මට සරදම් කලෝය. අපේ සිංහල විෂය භාරව සුරවීර සර්, “මුන් පරිප්පු කාලා කාලා පෙරලිලා යයි” කියමින් විහිළු කලේය.

එකල පාසල් වියේදී මා නිවසට පැමිණෙන විට ඉදිගහමුල හන්දියට මගේ අයියලාද මගේ තනියට ආහ. බොහෝ විට ඝන අඳුරු රැයේදී හන්දියේ සිට නිවසට අපගේ පැමිණීම සිදු වේ.එන අතර මගදී මහත් සේ හඬ නගමින් “ටොක්…ටොක්…” ලෙස ශබ්ද කරමින් ගමන් කිරීම අයියලාගේ විනෝදයට හේතු විය. නමුත් දිනක් අසල නිවසක සිටි කාන්තාවක් “කව්ද මේ මී හරක් රෑනක් ලෙහල තියෙන්නෙ” කියමින් අපට බැන වැදුනාය.එය නම් අමතක නොවන සිදුවීමකි.

විදුහලේ ප්‍රධාන නැටුම් කණ්ඩායමේද අපි සිටියෙමු. අපට නැටුම් ඉගැන්වූ අමරජීව මහතා අපව කැඳවා හවස් වරුවේ නැටුම් පුහුණු කලේය. එක් එක් ප්‍රදේශ වල නැටුම් තරග සඳහා අපව කැඳවාගෙන ගියේය. ඒ සඳහා ඇඳුම් හා ගමන් ගාස්තු දරන ලද්දේද විදුහල විසිනි .නැටුම මගේ ජිවිතයේම කොටසක් විය.

1955 සමස්ථ ලංකා මුද්‍රා නාට්‍ය තරගාවලියට අපිද සහභාගි වූවෙමු. අප ඉදිරිපත්කලේ “විදුර ජාතකයයි”. එහි ප්‍රධාන නිළිය වන “විමලා දේවියගේ” කොටස රඟ දක්වන ලද්දේ මා විසිනි. එය පවත්වන ලද්දේ කොළඹ රාජකීය විදුහලේදීය. එය ජය ගැනීමට අපට හැකි විය. පාසලේ පැවති නිවාසාන්තර නාට්‍ය තරගයේද “හොඳම නිළිය” වීමේ භාග්‍ය මට ලැබුණි. මේ නිසා පාසලේ කවුරුත් අදුනන චරිතයක් බවට මම පත් වී සිටියෙමි.

1956 වසරද මට අමතකම නොවේ. මා සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටියේ එම වසරේදීය. කෙතරම් බාහිර ක්‍රියාකරකම් වල යෙදුනත් විභාගයෙන් ඉහල සමත් වීමක් ලබා ගැනීමට මම සමත් වූයෙමි. එය මගේ නිවසේ සියල්ලගේම සතුටට හේතු විය.එලෙසම වසර ගණනක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ මම යෙදුණ අතර එම වසරේ නිවාසාන්තර බාලිකා බැඩ්මින්ටන් ශූරතාවයද දිනා ගත්තෙමි.

අධ්‍යයන කටයුතු වලට අමතරව විවිධ බාහිර ක්‍රියාකාරකම් නිසා මගේ ජීවිතයට ලැබුන අත්දැකීම් මෙතෙක් යැයි කියා නිම කල නොහැක. ජීවිතයේ සතුට, සැනසීම මා ලඟම විය. අතීතය මතක් කිරීම මා තව තවත් ප්‍රබෝධමත් කරවයි.

අත්තම්මාගේ දිනපොතේ තවත් රසවත් කොටසකින් නැවත හමුවෙමු……

පින්තූරය – ආච්චි හේනගම පාසල් යන සමයේ ඇයගේ හැඳුනුම් පතේ වූ පින්තූරයයි.