මතක මන්දිර (සිව්වන කොටස)

Share

කරච්චිගල විදුහලේ ගුරුවරියක් ලෙස සේවයට පැමිණි ආකාරය සඳහන් කර නැවතත් හේන්ගම විදුහලේ විස්තර පැවසීමට සිදුවීම නිසා ඔබේ රසඤතාවයට බාධාවක් වූයේ නම් ඒ  පිළිබඳව මම ඔබෙන් සමාව ඉල්ලා සිටිමි.වයසට යාමත් සමඟ සෑම සිදුවීමක්ම එක විටම සිහියට නොනැගේ.

කරච්චිගල ගමේ ගැමි ගෙවල් අසල ලිං ඇත්තේ කලාතුරකිනි. ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන්ට ජලය සැපයූයේ වැවයි. ගැහැණු 10ක් 12ක් පමණ එකා පසු පස එකා, සමහර විට උකුලේ දරුවෙකුත්, හිස මත රෙදි දරණුවක් මත කළයක් තබා ගෙන යති. සමහරුන්ගේ හිස මත දරණුවේ කළ ගෙඩි දෙක තුනකි. මා කවදාත් ඒ දර්ශනය නැරඹුවේ විශ්මයෙනි.

සැන්දෑවට පාසල ඉදිරිපස සිට අහස දෙස බලන විට පෙනෙන චමත්කාර දැකුම තවමත් මට වචනයෙන් වත් විස්තර කල නොහැක. එය එතරම්ම දැකුම්කළුය. වැවට ඔබ්බෙන් පෙනෙන අහස රතු, තැඹිලි, කහ, දුඹුරු ආදියෙන් බැබලෙයි. ඒ පසුතලයට ඉදිරිපසින් වැවේ ඇති කොල හැලුණු රූස්ස ගස් මවන්නේ අමුතුම සිත්තමකි. එය මා දැක ඇති සියළුම දක්ෂ සිත්තරුන්ගේ සිතුවම් පරදවයි.

උදෑසන අවදි වී බලන විට පාසල් වත්ත මායිම දිගේ බියසුළු ගමනින් එන මුව රංචු දැකිය හැකිය. පාසල් වත්තේ ගස් වල පවා බොහෝවිට මොණරු වසා සිටිනු දැකිය හැක.

ගැමි ජීවිතයද එදා අමුතුම රටාවකට විය. සමහර දඩයක්කරුවන් වෙඩිල්ලක් කොටාගෙන වන වැදෙන විට ඔහුගේ බිරිඳ මිරිස් ගුලියක් අඹරා තබාගෙන දඩමස් ගෙනෙන තුරු බලා සිටියි. සමහරු වැව ඉස්මත්තේදී මරා ගන්නා විශාල ගෝනුන් වැල් පටක බැඳ, වැල ඇදගෙන වැව හරහා පීනා මෙගොඩට එති.

එහි ගත කල මාස 9 ක කෙටි කාලය තුල වල් අලින් සම්බන්ධ සිදුවීම් කිහිපයක් නිසා මම ඔවුන්ට බොහෝ සෙයින් බියෙන් පසු වුවෙමි. “සංදේශය” චිත්‍රපටය තිරගත වූ අවදියේ අප රත්නපුරයට යාමට මහ පාරට ආවේ උදෑසනකයි. තනි අලියා අප ඉදිරියට එන තුරු අප ඌද, ඌ අපවද නොදුටුවේය. එහෙත් අපි කිසිත්  කර කියා ගත නොහැකිව කිසිත් නොමැතිව ඔහේ බලා සිටියෙමු. අලියාද ටික වේලාවක් සිට පාරේ අනෙක් පසින් කැලයට වැදුනේය.

තවත් දිනක විදුහල්පතිගේ මිතුරු දඩයම්කරුවෙකු අලි බැලීමට රාත්‍රී  10ට පමණ අප කැඳවූවේය. පාසල් වත්තට යාබද වත්තේ අලි රංචුවක් වූහ. පුහු වෙඩිල්ලක හඬින් කෝපයට පත් වූ එක් අලියෙකු හොඬය ඔසවා අප දෙසට එන්නට සූදානම් විය. අප සිටියේ සෑහෙන කැළෑ රොදකයි. අපට දිව යාමට තැනක් නොවීය. එහෙත් දඩයක්කරු අල්ලට පිඹ තිත්ත කුණුහරුපයක් කියා අත්පුඩියක් ගැසීය. ඒ මන්තරයක්ලු. කෙසේ වෙතත් ආපසු හැරුන අලි රැල වංගෙඩි පෙරලන්නාක් මෙන් දුවමින් කැලයට වැදුනහ.

අත්තම්මාගේ දිනපොතේ තවත් රසවත් කොටසකින් නැවත හමුවෙමු…..

පින්තූරය:- අත්තම්මා තුරුණු වියේදී..