මතක මන්දිර (පස්වන කොටස)

Share

 

අධික කාර්යය බහුලතාව නිසා දින කිහිපයකට තෙලි තුඩ නිහඬ කෙරුවත් නිරන්තරයෙන්ම කච්චිගල පාසලේ මිහිරි මතකයන් තව තවත් මගේ මතකයට ගලාගෙන හෙයින් නැවතත් තෙලි තුඩ අවදි කරවීමට සිතුවෙමි.

විදුහල්පතිතුමා මසකට වරක් බර කරත්තකරුවෙකු සමඟ කැලයෙන් ඔබ්බෙන් තවත් සැතපුම් 8ක් දුරින් වූ ඇඹිලිපිටියට යයි. කච්චිගල ගමේ අපට අවශ්‍ය අඩුම කුඩුම ගැනීමට තරම් කඩයක් නොතිබීම එයට හේතුවය. අඩියෙන් අඩිය කඩ පවතින වර්තමානයේදී මෙන් නොව එකල ජීවිතය බොහෝ දුෂ්කරය. දුර කතර ගෙවා ගෙන ඇඹිලිපිටියට ගියත් එය එකල විශාල නගරයක් නොවීය. එහි රෙදි කඩයක්, තේ කඩයක්, පිඟන්, කෝප්ප, වළං ආදිය ඇති සිල්ලර කඩ දෙක තුනක් පමණක් වෙයි. මාසයට අවශ්‍ය හාල්, තුනපහ සියල්ල කරත්තයේ පටවාගෙන ඔවුහු ආපසු එති. මාසයක්ම අප යැපෙන්නේ කඩයෙන් ගෙන ආ අල, පරිප්පු, ළූනු, ආදියෙන් හා පාසල් වත්තේ වැටේ වවන ලද කැකිරි, පිපිඤ්ඤා, මුන් ඇට, බඩ ඉරිඟු ආදියෙන් වේ. ආහාරයට ගැනීමට තිබුනේ මෙවැනි ආහාර වර්ග පමණක් වුවත් කිසි කෙනෙකුට එය මදි කමක් නොවූයේ සැවමගේම ආහාරය මෙය පමණක් වූ බැවිනි.

අගෝස්තු මාසය වන විට ක්‍රමයෙන් වැව සිඳී පතුල පැලී යද්දී, අපි එහි ගැඹුරු වලවල් කැන වතුර ලබා ගන්නෙමු. පෙර වැව් ඉස්මත්තේ තිබූ සුන්දරත්වය මේ කාලයට ඉබේම වියැකී යයි. වැසි කලදී පිපී හිනැහුණ රතු නෙළුම්, මානෙල් මල් එකලට, එකදු මලක්වත් සොයා ගත නොහැකි අයුරින් සැඟවී යයි. වැවේ ඉරි තැලුන රටාවන් මේ ගමේ ගැමියන්ගේ ඉරි තැලුණ දෙපා මෙන් යැයි මට සිතේ. අස්වනු නෙලන කලට හොඳට කා බී ප්‍රීති වුවත්, වැසි නැති කලට ඔවුන්ද වේලි වේලී කල් ගෙවයි.

පිපාසයෙන් වල් සත්තු පවා එහි ජලය ලබා ගැනීමට පැමිණ රාත්‍රි දඩයම්කරුවන්ගේ පහසු ගොදුරු බවට පත් වූහ. පිපාසෙන් පෙළුනත් අහිංසක සතුනට දඩයක්කරුවන්ගෙන් අනුකම්පාවක් නම් නොලැබුණි. ගම්වැසියන් සදාකල්ම කුරහන් තලප සමඟ දඩ මස් හෝ මුන් ඇට ආහාරය කර ගත්හ. ඔවුන්ගේ පිදුරු සෙවිකල ගෙයි ඇතුලු කාමරය තුල කුරහන් ගබඩාවකි. කුරහන් කරල් පිටින් වහලය දක්වා උස මැස්සක ගබඩා කර ඇත. ගැමිලියන් විසින් අවශ්‍ය වූ විට ඒවා ඇටකර ගෝන හමක් මත එලූ විශාල කුරහන් ගලක දමා අඹරනු ලැබේ. කුරහන් ඇඹරීම නිසාම ගැමි කාන්තාවෝ ඉතාමත් ශක්තිමත්, නිරෝගී  පිරිසක් වූහ.

එකල කසිප්පු වැනි මත්පැන් වර්ග ගම්වල නොතිබුණි. කෙසඟ සිරුරකින් යුතු වුවත් ගැමියෝ බොහෝ විට නීරෝගීව කල් යැවූහ. අවුරුදු 90 පිරි මහල්ලන් පවා හේන් වල වැඩ කලහ. දහවල පුරා හේන් කොටා සැන්දෑවේදී වැවෙන් නා ගෙන, රාත්‍රී කාලයට බුලත් විටක් හපමින් නිවසේ පිළේ පැදුර මතට වී කල් මැරීම ඔවුන්ගේ සිරිත විය.

අත්තම්මාගේ දිනපොතේ තවත් රසවත් කොටසකින් නැවත හමුවෙමු…