කිවිඳුන් දුටු ප්‍රේමය

Share

මානව මනෝභාවයන් අතරින්, ප්‍රේමය නමැති මනෝභාවයට විශේෂ ස්ථානයක් හිමි වෙයි. ඒ, ප්‍රේමය එතරම් ම මිනිසා සංවේදී ස්වභාවයට පත් කරන්නක් වන හෙයිනැයි හඟිමි. ප්‍රේමය තරම් හදවත ආමන්ත්‍රණය කරන අන් හැඟීමක් ඇත්ද? ප්‍රේමය දුටු කිවිඳුන්, එය අකුරු කර ඇති අයුරු අපූර්ව ය.

සීත අරණේ සුපුල් නා මල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ප්‍රේමය සමග ජීවත් වන්නන්ගේ ආත්මය පිවිතුරු ය. ප්‍රේමය විසින් ඔවුන්ගේ ආත්මය සුවඳවත් කර ඇත. ප්‍රේමය දැනෙන නොදැනෙන තරම් සියුම් සුවඳක් වහනය කරන සුපුෂ්පිත නා මල් හි සුවඳය. ප්‍රේමයේ උණුසුමට ගුලි වූ කල, සියොලඟ හිරිගඩු නංවන හිම මිටියාවතේ දැඩි ශීතය ද නොදැනෙනසුළු ය.

ලතාවක් සේ වෙළී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්

ගැහැණිය නිරතුරුවම පුරුෂයෙකුගේ රැකවරණය, ආදරය බලාපොරොත්තු වන්නීය. ඔහුගේ පහස ලබමින් තුටු වන්නීය. ලතාවකට ඉහළ නැගෙන්නට සවිමත් ආධාරකයක් අවැසිය. මම ලතාවක් වෙම් නම්, මගේ සවිය නුඹ ය. රැකවරණය නුඹ ය.
මලක් ස්පර්ශ කල යුත්තේ මෘදුව ය. එසේ නොවුණි නම් එය තැලී, පොඩිවී, විනාශ වී යයි. එ ලෙසින්ම මම නුඹව සැමදා මලක් මෙන් රැක ගනිමි. නුඹට සෙවණ සදමි. දෑතින් නොව හදවතින් නුඹව ස්පර්ශ කරමි, වැළඳ ගනිමි.

වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි
මහා කතරෙක ගෙවූ තනි මග
නිමා කළ ඉම ඔබ නෙත‍යි

මම ඉබාගාතේ ඇවිද ගියෙමි. වළාවක් සේ ඔහේ පාවී ගිය සිත ඔබේ හද මැදුරට පිවිස එහි ලැගුම් ගත්තේය. මෙතුවක් කල් අයාලේ ගිය මගේ සිතට ඔබේ හද නිවහනක් වූ අරුමය……
මා පසුකර පැමිණි මාවත දුෂ්කර ය. පිපාසයට දිය බිඳක් නොදුටු කතරෙක මම තනිව පියමං කළෙමි. නුඹේ නෙත් මා නෙත ගැටුණු  දින, මගේ තනි ගමන නිමා විය. මා සෙවූ සෙනෙහසින් ආර්ද්‍ර ඒ නෙත් යුවල මට හමුවිය.

 

කවියකු එසේ ප්‍රේමය දැක තිබුණි. තවත් කවියකු එය දැක තිබුණේ මෙසේ ය.

ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
කොයි ඉසව්වේ ද ඒ මෙත් පුරේ

මගේ සිත නගරයක් වැනිය. ස්නේහයෙන් පිරි නගරයකි. නගරයක් යනු සංකීර්ණ ප්‍රදේශයකි. මං මාවත් ගහණය. මග නොදැන ගියහොත් මංමුළා වීමටද පුළුවන. මගේ සෙනෙහෙ නගරයේ ද මාවත් බොහෝ වෙයි. එනමුදු රාගය දෙසට වන එක ද මාවතක් එහි නොවෙයි. සෙනෙහෙ නගරයේ රාගය වෙතට වන මාවතක පැවැත්ම හුදු මායාවක් පමණි.
නුඹේ සෙනෙහෙ නගරය මෛත්‍රී පුරයකි. මම එ නුවර දැක දැක වන්දනා කර ගැනුමට රිසියෙමි. ඒ මෙත් පුරයට මා රැගෙන යන මග නුඹ මට කියන්නෙහිද?

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ

මේ නවාතැන් නිවා ආත්මයේ
යන තුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ

සංසාර ගමන දිගු ය. එහි කොතැනකින් ගමන් ඇරඹුවේදැයි අපි නොදනිමු. එය කොතැනකින් අවසන් වේදැයි ද නොදනිමු. මේ දිවිය, නිමක් නොවන සසරෙහි එක්තරා නවාතැනක් පමණෙකි. මේ නවාතැනෙහි මම ලැගුම් ගත්තෙමි. එකල මට නුඹ හමුවිය. නුඹේ ප්‍රේමය පුදසුනක් වැනිය. ප්‍රේමයේ දෙවොල නුඹේ නෙත් පහනින් ඒකාලෝක වී ඇත. නුඹේ සිනහවේ ස්වර්ණමය කාන්තියෙන් අලංකෘත ය. නුඹේ සිත නමැති සඳුන් දුමාරයෙන් සුගන්ධවත්ය. නුඹේ ප්‍රේමයේ දෙවොල තුළ මම ජීවිතය ලදිමි. එනමුදු යම් දිනෙක මේ නවාතැන හැර දමා යා යුතුය. නැවත ගමන් ආරම්භ කළ යුතුය.
නුඹ නවාතැන හැර යන තුරා මම නුඹ සමග රැඳෙමි. නුඹේ සෙනෙහස මට සිහිලසක් දනවයි.  නුඹේ ප්‍රේමය පූජනීය බැව් අදහමි. දිවිය මිලිනව යන තුරා නුඹේ සෙනෙහෙ දියෙන් මා දොවාලන්න. ප්‍රිය හිමියනි, නුඹේ දේව දාසියගේ යාදිනිය එයයි.

 

කිවිඳුහු ප්‍රේමය නොයෙක් කෝණයන් ඔස්සේ දැක්කාහ. මේ, ප්‍රේමයේ තව ද එක් පැතිකඩක් කවියකු දුටු අයුරු ය.

සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගෙ නෙත ද සදා
සොයයි සේයාව මගේ

විල් දිය නිසල ය. ජල තරඟ නොනගයි. නිසල විල් දිය මතට සඳ රැස් වැටෙයි. විල් දිය මත වට සඳ රැස්, සඳෙහි සේයාව නිසල ජල තලය මත සිතුවම් කරයි. නුඹේ නෙත් විල නිසලය. නෙත් විල් දිය මත සිතුවම් වූ මගේ පිළිබිඹුව දකිනු රිසියෙන් මම නුඹේ දෑසට නිරතුරුව එබෙමි.
ඕනෑ ම සබඳතාවයක මෙන්, ගැහැණියක හා පුරුෂයකු අතර ඇතිවන ප්‍රේමයේ පැවැත්මට ද එකිණෙකා කෙරෙහි, ඔවුනොවුන් තුළ වන විශ්වාසය තීරණාත්මක සාධකයකි. විශ්වාසය පරම ඥාතියා වන බැව් බුදුරජාණන් වහන්සේ වදාළෝය. දිය තලය නිසලව පවතින තුරා සඳ රැසින් සිතුවම් වූ සඳෙහි පිළිබිඹුව කැඩපතකින් මෙන් දර්ශනය වෙයි. දිය මත පතිත සඳේ ජායාව පැහැදිලි ය. සඳ අහසින් බැස ජල තලය මතට වැඩි සේය. විල් දිය කැළඹුනහොත්  සඳ තවදුරටත් දෘශ්‍යමාන නොවී, බිඳී විසිරී යයි.
සොඳුර, නුඹේ සිත චංචල නොවන තුරා අප දෙදෙනා අතර හට ගැනුණු ප්‍රේමය නොබිඳී පවතිනු ඇත. මා කෙරෙහි නුඹ තබා ඇති විශ්වාසය නුඹ කෙරෙන් වි‍යැකී නොයන තුරු, නුඹට මාගේ ආත්මය විනිවිද දැකිය හැකිය. මගේ පැහැදිලි පිළිබිඹුව දැකිය හැකිය. සසර සරන තුරා ඔවුනොවුන් වෙනුවෙන් උපදිනා වූ ප්‍රේමය විඳිය හැකිය.

සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්
සසල වෙලා දිය කැලඹුන දා
බිඳෙයි සඳ කැබලි පිටින්

සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරිසරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්

 

සෑම ගැහැණියක් ම පිවිතුරු ප්‍රේමයක හිමිකාරියක වීමට සිහින දකින්නීය. එකතරා පෙම්වතියකගේ සිත තුළ, සිය පෙම්වතා කෙරේ උපන් පහන් හැඟීම් සමුදායක් මේ පද වැලින් දිගහැරෙයි.

නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ

ලැගුම් හලක් සොයමින් සැරිසැරූ මම නුඹේ නවාතැනට ළඟා වීමි. නුඹේ දයාර්ද්‍ර සිනහව මට එහි පැමිණෙන මෙන් ඇරයුම් කළේය. ජීවිතය වන්දනා ගමනක් මෙනි. වන්දනාව කෙළවර අමා සුව දනවන්නකි. මා සිත සුපහන් වී ඇත. මම ලෝකෝත්තර සුවයක ගිලී ඇතිවාක් මෙන් මට හැඟෙයි. ඒ ලොව්තුරු සුවය තුළ රාගී හැඟීමක් කවර කලෙක උපදවා ගත හැකිද? මා දිවිය ලොව්තුරු සුව දෙන වන්දනා ගමනක් බවට පත් කළේ, නුඹේ ප්‍රේමය විසිනි.

ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බිඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ

නුඹේ ආලය සැමදා නිල්ලෙන් දිලෙන සදාහරිත නිම්නයක් බඳු ය. හාත්පස සැමදා ලියලන තුරුවැල් ය. සුවඳ දෙන මල් ගොමු ය. වන බිඟුන්ගේ ගුමු ගුමුව ය. ස්නේහයේ ජල තරඟ නගන ජල දහරා ය. නුඹේ ආලය නමැති නිම්නය සව්ශ්‍රීයෙන් ආඪ්‍ය ය. ගරා නොවැටෙන්නේමය.

දයාවේ සඳ කිරණ ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබ

සිසි කිරණ සෞම්‍ය ය. චණ්ඩ හිරු කිරණ මෙන් පොළෝ තලය නොදවන්නේ ය. නුඹ හදෙහි මා කෙරේ වන දයාව සෞම්‍ය සඳ කිරණක් සේ මට හැඟෙයි. නුඹ මා හා එක් ව හිඳීම මට මහත් අස්වැසිල්ලක් ගෙන දෙයි. නුඹ සමග ගත කරන්නාවූ සෑම මොහොතක් ම මහද ට මහත් සුවයකි. සහනයකි. සාමයේ සුවදායක මඳ පවන රැගෙන නුඹ මා කරා පැමිණියෙහි ය. හිම කුණාටු හාත්පස හමා ගියද නුඹේ නවාතැන සැමදා එක සේ උණුසුම් ය.

 

සැබැවින් ම ප්‍රේමය අතිශය මධුර වූ හැඟීමක් ලෙස මට දැනෙන්නේ, කිවිඳුන් සිය පද වැල් අතර රැඳවූ ප්‍රේමය දුටු විටය. ප්‍රේමය විසින් මිනිසුන් කිවිඳුහු බවට පත් කළෝ ය. ප්‍රේමය නමින් වෙණ තත් හැඬවිණි. තෙලිතුඩගින් ප්‍රේමය සිතුවම් විය. රජහු සිය සිහසුන් අත්හළෝ ය. ප්‍රේමය අරුමැසි හැඟීමක් වන්නේ එ හෙයිනි.