උසස් අධ්‍යාපනය සඳහා විදේශ විශ්ව විද්‍යාලයකට අයදුම් කරන්නේ කොහොමද? (How to apply for Higher Studies)

Alumni, Pubudu 0 Comments

වසරකට පමණ පසුව ලැබුණු කෙටි නිවාඩුව තුළ නැවත මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපිය ලියන්නට තීරණය කළා. මෙම ලිපි මාලාවේ පෙර ලිපි මෙම යොමු ඔස්සේ කියවිය හැකියි. (1, 2 සහ 3). මින් විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්නා ආකාරය දැන් තරමක් වෙනස් නිසා එම ලිපිය කියවිමේදී ඒ පිළිබඳවත් සැළකිලිමත් වීම වැදගත්.

අද කථා කරන්නට යන්නේ විදේශ විශ්ව විද්‍යාලයකට අයදුම් කිරීමේදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියා පටිපාටිය සහ අප කල යුතු සහ නොකල යුතු දේ ගැනයි. මේ ලිපිය ලිවීම සඳහා මම රටවල් කිහිපයක සිටින ලාංකික සිසුන් කිහිප දෙනෙක් සමඟ ද කථා කර ඔවුන්ගේ අත්දැකීම් ද ලබා ගත් අතර ඒ සියළු දෙනාට විශේෂ ස්තුතිය පළ කර සිටිනවා. ඒ අයගේ තොරතුරු ලිපිය අවසානයේ දී ඔබට ලබා ගත හැකියි. එමෙන්ම මේ ලිපිය කියවන ඔබට තවත් අලුතෙන් යමක් එකතු කිරීමට තිබේ නම්, තිබෙන යමක් සංශෝධනය කිරීමට අවශ්‍ය නම් හෝ යමක් පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යයි නම් මා හා pubudu.nawarathna (at) mail.mcgill.ca ඔස්සේ සම්බන්ධ විය හැකියි. නව තොරතුරු සමඟින් මේ ලිපිය නිරතුරුව යාවත්කාලීන විය හැකි නිසා සති කිහිපයකින් නැවත කියවන මෙන් ද මා ආරාධනා කර සිටිනවා.

ඔබ යම් ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් නම් ඔබට එම උපාධිය අවසානයේ දී කල හැකි ක්‍රියා පටිපාටින් දෙකක් ප්‍රධාන වශයෙන් විස්තර කළ හැකියි. එකක් නම් යම් වෘත්තියකට හෝ රැකියාවකට සම්බන්ධ වීමයි. අනෙක වැඩිදුර අධ්‍යාපනය කිරීමයි. පළමු කරුණ ගත් විට සමහරක් දෙනා උපාධිය කරන අතරතුරම යම් රැකියාවකට යොමු වී අත්දැකීම ලබා ගන්නා ආකාරය දැකිය හැකියි. සමහරක් දෙනා උපාධිය අවසන් වී රැකියා සඳහා අයදුම් කරනවා. සමහරක් දෙනා උපාධිය ලබා ගන්නේ රජයේ සමහර රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකමක් ලෙසයි. (ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා රේගුව, මහ බැංකුව සහ අනෙක් බැංකු) ඔවුන් බොහෝ විට තමන් හදාරන උපාධියට අදාල නැති රැකියාවක් තමයි අවසානයේ දී කරන්නේ. එය ලංකාවේ බහුල තත්ත්වයක්. ප්‍රධාන වශයෙන් විද්‍යා උපාධියක් සහිත කෙනෙක්ට සුදුසු රැකියාවක් ලංකාවේ නොමැති වීම ප්‍රධාන හේතුවක්. ලංකාව තවමත් නොදියුණු තුන් වන ලොකයේ රටක්ව පැවතීමට හේතුව මේ විද්‍යා උපාධි ධාරීන්ගෙන් නිසි ප්‍රයෝජනය නොගැනීම ලෙසයි මගේ පෞද්ගලික අදහස.

කෙසේ වෙතත් ඔබට උපාධිය අවසානයේ කරන්නේ රැකියාවක් ද උසස් අධ්‍යාපනයට යොමු වනවාද නැද්ද යන්න ඔබ පළමු වසර අවසානයේ දීම තීරණය කළ යුතු ඉතාම තීරණාත්මක කරුණක්. ඔබ කුමක් තෝරා ගත්තත් අදාල දේ සාර්ථක කර ගැනීමට මාර්ගය සකසා ගැනීම පළමු වසර තුළදීම කළ යුතුයි. මගේ වසර 5ක විශ්ව විද්‍යාල අධ්‍යන කාලය තුල එවැනි දැක්මක් ඇති අය දැක ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. බහුතරයකගේ මතය වනුයේ එන විදියකට මූණ දෙනවා යන්නයි. එය ඔබගේ ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය වෙන කෙනෙකුට පවරනවා හා සමානයි. කළ යුත්තේ අදින් වසර 20කින් ඔබ සිටිය යුත්තේ කොහෙදැයි යම් අරමුණක් සාදගෙන ඒ සඳහා වැඩ කිරීමයි.

කෙසේ වෙතත් ඔබේ අරමුණ උසස් අධ්‍යාපනය හැදෑරීම නම්, සුබ පැතුම්!!! ඔබගේ ගමන ලේසි පහසු නොවන බව නම් කිව යුතුමයි. නමුත් සෑම කන්දක් අවසානයේදීම බැස්මක් හමු වනවා මෙන් අවසානයේ දී ඔබගේ සාර්ථකත්වය කරා ළඟා විය හැකි වනු නොඅනුමානයි. නමුත් මාර්ගය කටු අකුල් රැසකින් පිරී තිබෙනු ඇති. ඔබගේ මිතුරන් ජීවිතයේ වැදගත් අංගයන් (විවාහය, ගෙවල් දොරවල් හා යාන වාහන) එකින් එක පසු කරද්දි ඔබ තවමත් ඉගෙන ගන්නා බවත් මුදල් අත මිට නොගැවසෙන බවත් අනාගතය තවමත් අස්ථාවර බවක් ඔබට හැඟෙනු ඇති. ඔබට එම සියළු දේ විඳ දරා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. නැතිනම් මේ මාර්ගයේ නො එන ලෙස මම ඉල්ලා සිටිනවා.

සරලව ගතහොත් ඔබගේ අරමුණ ඉක්මනින් මුදල් උපයා ඒකාකාරි ජිවිතයක් ගත කිරීම නම් ඔබ උසස් අධ්‍යාපනය හැදෑරීම තෝරා නොගත යුතුයි. රැකියාවේ ඉහලට යාම සඳහා රැකියාවට අදාල උසස් අධ්‍යාපනයට රැකියාවේ නියැලී සිටියදීම යොමු විය හැකියි. නමුත් කෙලින්ම උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් ඔබ හිඟන්නෙකු වන බව මින් අදහස් නොවේ. ඔබගේ කාල රාමුව මුලදීම රැකියාවකට යොමු වන කෙනෙකුට වඩා ඉතා වෙනස් නිසා යම් සාර්ථකත්වයකට ඒමට ඔබට තරමක කාලයක් ගත විය හැකියි. නමුත් ඔබ ජීවිතයේ ලඟා විය හැකි ඉහලමට තැනට ලඟා වූ පසු ලැබෙන ආත්ම තෘප්තිය රැකියාවක යෙදෙන කෙනෙකුට සමහර විටෙක කිසි කලෙක අත්විඳිය නොහැකි වනු ඇති. නමුත් මෙයින් රැකියා කරන කිසි අයෙකු දෙවෙනි කොට නොසැලකේ. ඔබගේ අරමුණු සාර්ථක කර ගැනීම ඔබට අයිති කරුණක් මිස අන් අයගේ වගකීමක් නොවේ. ඔබ කුමක් කලත් ඔබ කරන දේ විවේචනය කිරීමට කිසි කෙනෙකුට අයිතියක් නැති අතර එය ඔබගේ තීරණ ගැනීමේ හැකියාව ද වෙනත් අය මත වෙනස් නොවිය යුතුයි. එනම් ඔබගේ ජිවිතය ගැන තීරණ ගැනීම ඔබ සතු කර ගත යුතුයි. වෙනත් අයෙකුගේ කීමට කරන දේ පිළිබඳ ඔබට පසු කලෙක් පසුතැවීමට ද සිදු විය හැකියි.

කෙසේ හෝ ඔබගේ අරමුණ උසස් අධ්‍යාපනය හැදෑරීම නම් මේ ලිපියේ ඉතිරිය ඔබට වැදගත් විය හැකියි. උසස් අධ්‍යාපනය හැදෑරීම ගත් කල එහි ආකාර 2ක් දැක්විය හැකියි. එනම් ලංකාවේ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය කිරීම හෝ පිටරට විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හැදෑරීමයි. ඔබට බාහිර සාධක වලින් බාධාවක් නොවන්නේ නම් එනම් ප්‍රධාන ලෙස පවුල් ප්‍රශ්ණ බාධාවක් නොවේ නම් මගේ අදහස වනුයේ විදේශ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය සඳහා යාම අතිශයින් යෝග්‍ය බවයි. එසේ විදේශ රටක ලබන අධ්‍යාපනය කිසිසේත්ම මෙරට ලබන අධ්‍යාපනයට සම කල නොහැකි වේ. ඔබට එය එසේ විදේශ විශ්ව විද්‍යාලයකට ඇතුල් වූ පසුව වැටහේවි. ලංකාවේ ලබා දෙන උසස් අධ්‍යාපනය බොහෝ රටවල රැකියා සඳහා අයදුම් කිරීමට එතරම් බලපෑමක් කල හැකි ඒවා නොවනු ඇත. නමුත් සමහර ප්‍රශ්ණ නිසා පිටරටකට යාම අපහසු අය අඩු තරමින් ලංකාවේ හෝ උසස් අධ්‍යාපනයට යොමු වීම ඉතාම වැදගත් වේ. ඔබගේ අරමුණ ලංකාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම නම් මෙම ලිපිය කියවීම මෙතනින් නැවැත්විය හැකියි.

ඔබ තවමත් කියවමින් සිටිනවා නම් එයින් අදහස් වන්නේ ඔබ විදේශ රටක උසස් අධ්‍යාපනය හැදෑරීම් සඳහා තීරණය ගෙන ඇති බවයි. සතුටුදායකයි. විශිෂ්ට තෝරා ගැනීමක්. නමුත් නැවත වරක් කිව යුත්තේ ඉදිරිය නොපැහැදිලි හා අතිශයින් කටුක වනු බවයි. ඔබගේ තීරණය ගැන ඔබ දහස් වරක් සතුටු විය යුතු අතර ඒ තීරණය ගැන කිසිම විටෙක කල කිරිමක් ඇති කර නොගත යුතුයි. අනෙක් අය කරන බැවින් තේරුමක් නැතිව මේ මාර්ගයේ යාම ඉල්ලන් කෑමකට සමාන කළ හැක. ඔබගේ මිතුරන් උසස් අධ්‍යාපනයට යොමු වන නිසා හෝ පවුලේ අයගේ ඉල්ලීම මත ඔබ මේ මාර්ගයේ එනවා නම් මම නැවත වරක් ඒ පිළිබඳ සිතා බලන ලෙස ඉල්ලා සිටිනවා. මෙය තනිකරම ඔබගේ තීරණයක් විය යුතූයි. යම් ගැටළුවක් වූ විට ඔබ කිසි විටෙක අන් කිසිවෙකු මත වරද පැටවීමට උත්සාහ නොකල යුතුයි.

මුලින්ම බලමු උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව ඔබට කළ හැකි දේ.

මෙය ඔබගේ ක්ෂේත්‍රය මත රඳා පවතින අතර සෘජු පිළිතුරක් ලබා දිය නොහැකි ගැටළුවක්. නමුත් ඔබගේ බලාපොරොත්තුව නැවත ලංකාවට පැමිණීම නම් බොහෝ විට විශ්ව විද්‍යාලයක ආචාර්යවරයෙකු ලෙස (Academic Position) රැකියාවක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඔබගේ ක්ෂේත්‍රය පරිගනක විද්‍යාව නම් ලංකාව තුළ ඒ අංශයේ හොඳ රැකියා තිබෙන නිසා එවැනි රැකියා සඳහා යොමු විය හැකියි. ඔබගේ ක්ෂේත්‍රය විද්‍යව හා සම්බන්ධයි නම් අදාල රැකියාවක් සොයා ගැනීම අපහසු විය හැකියි. මන්දයත් ඔබ විදේශයක හදාරන අධ්‍යාපනයට අදාලව පර්යේශණ කිරීමට ලංකාවේ පහසුකම්, ප්‍රාග්ධනය හා පුහුණු පිරිස් නොමැති වීමයි. නමුත් උත්සාහ කලොත් අදාල රැකියාවක් සොයා ගැනීම අපහසු නොවනු ඇති. ඔබ නිර්මාණශීලි නම් රැකියාවක් නිර්මාණය කිරිමට හෝ හොඳ රැකියාවක් සොයා ගැනීම පහසු කරුණක් වනු ඇති. ලංකාව තුළ ඉහල කළමණාකරණ මට්ටමේ රැකියාවක් ලබා ගැනීමට ද ඔබගේ උසස් අධ්‍යාපනය හේතු විය හැකියි. නමුත් විදේශ රටවල ඔබට පර්යේෂණ විද්‍යාඥයෙකු (Research Scientist) හෝ Principle Investigator කෙනෙකු ලෙස රැකියාවක නිරත විය හැකි අතර අදාල රැකියා ක්ෂේත්‍ර ගණනාවකට යොමු විය හැකියි.

පෙරදී කියූ පරිදි ඔබ උසස් අධ්‍යාපනය හැදෑරීම ගැන සිතනවා නම් ඒ පිළිබඳව සිතිය යුත්තේ දෙවන වසර මුලදී හෝ හැකි නම් විශ්ව විද්‍යාලයට එන විටදී මයි. එහිදී ඔබගේ විශ්ව විද්‍යාලයේ දෙවන හෝ පළමු වසර අවසානයේ යම් විශේෂ උපාධියක් පිරි නමනවා නම් ඒ සඳහා තමන් කැමති අංශය තෝර ගැනීම තමන් උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති අංශයෙන්ම තෝරා ගත හැකියි. සමහරක් විට වසර කිහිපයක් රැකියාවක නිරත වී නැවත උසස් අධ්‍යාපනය සඳහා යොමු වන අය ද සිටිනවා. සමහර විට එවැනි අය නැවත එම රැකියාවට ඒමට බලාපොරොත්තුවෙන් තමයි උසස් අධ්‍යාපනය හදාරන්නේ. උසස් අධ්‍යාපනය හැදෑරීමට වයස බාධාවක් නොවන බව මින් අදහස් කරනවා. නමුත් පිටරට වලට ගිය විට එම සිසුන්ට සාපෙක්ෂව අප වයසින් බොහෝ වැඩිමල්. එසේ වන්නේ අපගේ අධ්‍යාපන ක්‍රමය අනුව වයස 24ට අඩුවෙන් උසස් අධ්‍යාපනයට යොමු වීම අසීරු කරුණක් වන නිසයි. කෙසේ නමුත් ඉක්මනින්ම උසස් අධ්‍යාපනයට යෑම සඳහා යම් අරමුණක් හා ක්‍රියා පටිපාටියක් මුල සිටම තිබිය යුතුයි. ප්‍රමාද වීමෙන් සිදු වන්නේ නිකරුනේ තරුණ ජීවිතයෙන් වසරක් දෙකක් අහිමි වීමයි. එසේ සැළැස්මකට අනුව කටයුතු කිරීමෙන් සාමන්‍යෙන් ගත වන කාලයට වඩා ඉක්මනින්ම උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාවක් ලබා ගත හැකියි. නමුත් යම් කරුණු නිසා ඔබ දැනටමත් ප්‍රමාදයි නම් ඒ ගැන දුක් වීමෙන් පළක් නෑ. ඔබට අහිමි වන්නේ කාලය පමණයි. කෙසේ හෝ අධ්‍යාපන අවස්ථාවක් ලබා ගත හැකියි. ඒ නිසා හැකි ඉක්මනින් මේ තීරණය ගෙන ඒ සඳහා කටයුතු කිරීම කළ යුතුයි. ඔබ මගෙන් මේ ලිපියේ හරය වචන කිහිපයකින් කියන්නට කිවහොත් මට කිව හැක්කේ Networking and communication is the key to success බවයි. ඔබගේ GPA එක කුමන අගයක තිබ්බත් ඔබට ඔබව හොඳින් market කර ගැනීමට හැකි නම් කෙසේ හෝ හොඳ උසස් අධ්‍යාපන අවස්ථාවක් ලබා ගත හැකි බව මා අත්දැකීමෙන් දන්නා දෙයකි. එය top university එකක් නොවුනද සැලකිය යුතු මට්ටමේ හොඳ  විශ්ව විද්‍යාලයක් වීම නොඅනුමානය.

ඉන් පසු බලමු සාමාන්‍යෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සිසුන් වැඩිපුර නැඹුරු වන හා නැඹුරු නොවන එහෙත් හොඳ අවස්ථා ඇති රටවල්.

සිසුන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වන අංක එකේ රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. මෙයට හේතු කිහිපයක් තිබෙනබා. ප්‍රධාන කරුණ වන්නේ opportunities සහ Resources වැඩි වීමයි. ඇමරිකාවේ මා දන්නා තරමින් විශ්ව විද්‍යාල 3000කට අධික ප්‍රමාණයක් තිබෙනවා. එහි විශ්ව විද්‍යාල ලෝකයේ අනෙක් රටවල ඉහලින් පිළිගන්නා බව පොදු මතයයි. නමුත් එය එසේ වන්නේ ඉහල ගණයේ විශ්ව විද්‍යාලයක් (Top Ranking University), පිළිගත් ප්‍රමුඛ පෙළේ Researcher/ Principle Investigator කෙනෙක් හෝ ප්‍රමුඛ පෙළේ Research Group එකක් යටතේ වැඩ කරන විට පමණක් බව මගේ පෞද්ගලික හැඟීමයි. ඔබ ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හැදෑරූ පමණින් ඔබ ලොව පුරා පිළිගැනීමකට ලක් වන්නේ නෑ. නමුත් සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ පහසුකම් ඉතා ඉහල‍යි. Rankings ගත් විට overall සහ subject යනුවෙන් ශ්‍රේණිගත කිරීම දෙකක් තිබෙනවා. බොහෝ විට overall ranking අඩු වුවත් subject ranking ඉහල අගයක තිබෙන විශ්ව විද්‍යාල ඕනෑ තරම් තිබෙනවා. වඩා වැදගත් වන්නේ subject rank එකයි. එම නිසා දෙකම ඉහල අගයක පවතින විශ්වවිද්‍යාලයක නම් ඉතා හොඳ පිළිගැනීමක් තිබෙනබා. යම් ක්ෂෙත්‍රයක ලොව මුල් 50,100 ඇතුලත ඇති විශ්ව විද්‍යාලයක් නම් ඉතා ඉහල පිළිගැනීමක් තිබෙනවා. නමුත් rank එකම ඔබගේ විශ්ව විද්‍යාලය තෝරා ගැනීමට අවශ්‍ය එකම කරුණ කර නොගන්න. වෙනත් සැළකිය යුතු කරුණු තිබෙනවා. උදාහරණ ලෙස ඔබට ලැබෙන මුදල, ඔබට ඉතිරි කරගත හැකි මුදල, ශිෂ්‍යත්වයක් හෝ funding opportunity එකක් ලබා ගැනීමට හැකි ද යන්න, අදාල research එකෙන් අනාගතයේ හොඳ රැකියා අවස්ථා ලැබේ ද යන වග, ඉහල ඉල්ලීමක් ඇති research area එකක් ද යන වග, ප්‍රදේශයේ ජීවත් විය හැකි ද යන වග යනාදී වශයෙන් නොයෙකුත් කරුණු තිබෙනවා. ඔබට අවස්ථා කිහිපයක් ලැබූණු විට මේ සියළු දේ සළකා බලා සුදුසු විශ්ව විද්‍යාලය තෝරා ගැනීම කළ යුතු වේ.

පවතින විශ්ව විද්‍යාල සංඛ්‍යාව, ප්‍රාග්ධනය හා සම්පත් සැළකූ විට බොහෝ විට ඇමරිකාව යනු පහසුම ඉල්ලක්කයක්. කෙසේ හෝ ඔබට එහි විශ්ව විද්‍යාලයක් සොයා ගැනීම අපහසු නොවේ. සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමෙන් පමණක් පහසුවෙන් අවස්ථාවක් ලබා ගත හැකියි. එසේම බොහොමයක් funding opportunities පවතිනවා. Teaching Assistant Research Assistant එම ප්‍රධාන funding ආකාර දෙකයි. කලාතුරකින් ඉතා දක්ෂ සිසුවෙකුට ශ්‍රි ලංකාවේ ශිෂ්‍යත්වයක් හෝ ඇමරිකාවේ ශිෂ්‍යත්වයක් ලබා ගත හැකියි. Teaching Assistant යනු ලංකාවේ විශ්ව විද්‍යාලයක demonstrator හා සමාන තනතුරක් ලෙස දැක්විය හැකියි. ඔබ එයට දායක වන අතර ඔබගේ research සහ අධ්‍යන කටයුතු ද කර ගත යුතු වෙනවා. මෙය තරමක වෙහෙසකර අත්දැකීමක් විය හැකියි. මෙයින් ඔබට මාසිකව වේතනයක් (stipend) ද ලැබෙන අතර යම් කිසි මුදලක් ඉතිරි කර ගත හැකි ද වෙනවා. මේ මුදල කොපමණද යන්න ඔබගේ විශ්ව විද්‍යාලය මතත්, ඔබගේ ක්ෂේත්‍රය මතත්, ඔබ ජීවත් වන ඇමරිකාවේ ප්‍රදේශය මතත් වෙනස් වෙනවා. සමහර විට ඉතා ඉහල මුදලක් ඉතිරි කර ගත හැකි වුවත් සමහර විට කිසිම මුදලක් ඉතිරි කර ගත හැකි නොවනු ඇති. විශ්ව විද්‍යාලයෙන් බාහිර රැකියාවක නිරත වීම නිති විරෝධී දෙයක් ලෙස සැලකෙනවා. ඔබ විවාහකයි නම් ඔබගේ සහකරුවාට හෝ සහකාරියටද කිසිම රැකියාවක නිරත විය නොහැකි වනු ඇති. නමුත් එහි ගිය පසු රැකියාවකට අයදුම් කර working visa ලබා ගත හැකිද යන්න පිළිබඳව නිවැරදිව මට කිව නොහැකියි. Teaching Assistant ලෙස සේවය කිරීම ඔබගේ ජීව දත්ත සටහනේ අමතර කරුණක් එක් කිරීමට හෙතුවක් විය හැකි. ඔබ නැවත ආචාර්‍ය වරයෙකු ලෙස සේවයට ඉල්ලුම් කරද්දි මෙය ඔබට වාසිදායක විය හැකියි. නමුත් මෙසේ කරමින් තම අධ්‍යන කටයුතු කිරීම තරමක් අසීරු බවද කිව යුතුමය. නමුත් ලංකාවේ ශිෂ්‍යයෙකු එය අපහසූයි පවසා නැවත ලංකාවට ආ බවක් මට තවමත් ආරංචි වී නොමැතිය. ඇමරිකාවේ සිටින ලාංකික සිසු ඝනත්වය වැඩි නිසා යම් උපකාරයක් අවශ්‍ය වී විට එය ලබා ගැනීමද පහසුවක් විය හැකියි.

අනෙක් ප්‍රධාන රට වන්නේ ඕස්ට්‍රේලියාවයි. ඉතා විශාල ලාංකික සිසු ඝනත්වයක් ඕස්ට්‍රේලියාවේ ද සිටිනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ හොඳ විශ්වි විද්‍යාලයක අවස්ථාවක් ලබා ගැනීම සඳහා මූලික වශයෙන් පළමු පංතියේ සාමර්ථයක් හා හෝ Indexed journal එකක ( impact factor 1ට වැඩි) full research publications එකක් හෝ 2ක් තිබීම අත්‍යවශ්‍ය අංගයක් වනවා.

මීට අමතරව බොහෝ සිසුන් උත්සාහ නොකරන තවත් ඉතාම හොඳ තෝරා ගැනීම් වන්නේ කැනඩාව හා යුරෝපයයි.

බ්‍රිතාන්‍යය, චීනය, සිංගප්පූරුව, කොරියාව, නවසීලන්තය හා ජපානය ද තවත් අවස්ථා ඇති හොඳ රටවල් වනවා.

මින් පසුව අපි බලමු මේ රටවල් වල application procedure එක මොකද්ද කියලා.

ගොඩක් දෙනා අයදුම් කරන්නේ ඇමරිකාවට නිසා අපි ඇමරිකාවෙන් ආරම්භ කරමු. ඇමරිකාවේ අයදුම් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් තිබෙනවා. ඒ සඳහා ඔබ ඔබගේ ලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධියට අමතරව තවත් විශේෂ සුදුසුකම් කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙනවා. ඒවා නම් GRE හා TOEFL හෝ IELTS. මෙහිදී ඔබට පළමු පංතියේ සාමාර්ථයක් සමඟ 315ට පමණ (ආසන්න වශයෙන්) වැඩියෙන් තිබේ නම් ඉහල පෙලේ විශ්ව විද්‍යාලයකට යාමට වරම් ලබා ගත හැකියි. TOEFL 100ට හා IELTS 7ට වැඩියෙන් ලාබ තිබීමද වැදගත්. එක් එක් විශ්ව විද්‍යාලයකට අවශ්‍ය අවම ලකුණු එම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ ඔබට අදාල department හි web පිටුව තුල දක්වා තිබේ. සමහරක් ඇමරිකානු විශ්ව විද්‍යාල TOEFL පමණක් පිළිගැනීම කරනු ලබයි. එනිසා ඒ පිළිබඳව ද සැලකීමක් කල යුතු වේ. නමුත් ඔබ අනෙක් රටවල් වලටද අයදුම් කිරීමට බලාපොරොත්තුවක් තිබේ නම් IELTS කිරීම වඩා හොඳ බව මගේ විශ්වාසයයි. එය ඔබේ පෞද්ගලික කැමැත්ත වේ. IELTS ලංකාවේ පවත්වන paper based exam 1 බැවින්ද online exam 1 බැවින්ද යම් යම් වෙනස් කම් සිදු විය හැකි නිසා IELTS කිරීම නුවණට හුරු බව මගේ පෞද්ගලික මතයයි. කුමක් කළත් අවශ්‍ය අවම ළකුණු ලබා නොතිබීම ඔබගේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීමට හේතුවක් විය හැකියි. GRE, IELTS හා TOEFL වලට ඉහලම ළකුණු ලබා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතු වේ. මන්දයත් ඇමරිකානු විශ්ව විද්‍යාල බොහොමයක් ලැබෙන අයදුම් පත්‍ර ප්‍රමාණය අනුව මේ සියළු සාධක ඔස්සේ ඔබව මැනීමකට හා තේරීමකට ලක් කරනු ලබයි. සමහර විටෙක ඔබට පළමු පංතියෙ සාමාර්ථයක් නැතත් මේවා පාදක කරගෙන අවස්ථාවක් ලැබීමට හැකියි. ඒ නිසා අයදුම් කරන ක්‍රියාවලියේ වැදගත් අංගයක් ලෙස මේ විභාග ප්‍රතිඵල හැඳින්විය හැකියි. GRE සැලකූ විට percentile අගය පිළිබඳව ද අවධානය යොමු කල යුතු වේ. සමහර විශ්ව විද්‍යාල අවශ්‍ය අවම percentile අගය දක්වා තිබෙනවා.

මේ විභාග කර අවසන් වූ පසුව ඔබට විශ්ව විද්‍යාල වලට අයදුම් කිරීම ආරම්භ කිරීම කළ හැකියි. විශ්ව විද්‍යාලයකට අයදුම් කිරීමේදී සමහර විශ්ව විද්‍යාල වලට අයදුම් ගාස්තුවක් තිබෙන අතර සමහර විශ්ව විද්‍යාල වලට නොමිලේ අයදුම් කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. නමුත් මෙහිදී වැදගත් කරුණක් කීමට පුළුවන් ඒ මා මුලින් සඳහන් කළ communication හි වැදගත්කමයි. ඔබ තෝරාගත් විශ්ව විද්‍යාලයකට අයදුම් කිරීමට පෙර එහි graduate coordinator ව email ඔස්සේ contact කර ගෙන ඔබට එම මුදල ගෙවීම අපහසු බවත් යම් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම කල හැකියි. මෙයින් ඔබට වාසියක් මිස හානියක් සිදු නොවනු ඇති. සමහර විට ඔවුන් ඔබගේ email එක සළකා බලා නොමිලේ අයදුම් කිරීමට අවස්ථාවක් හෝ යම් ගාස්තු අඩු කිරීමක් සිදු කරනු ඇති. එසේ නොකළහොත් එයද ඔබට දන්වනු ඇති. සාමාන්‍යෙන් USD 80-100ක පමණ මුදලක් විශ්ව විද්‍යාලයක් විසින් අය කරනු ලබයි. එසේ ගාස්තුව අඩු කිරීමක් සිදු වුවහොත් ඔබට තවත් විශ්ව විද්‍යාලයක් වැඩියෙන් අයදුම් කිරීමට එම මුදල යොදා ගත හැකියි. GRE, TOEFL හා IELTS විශ්ව විද්‍යාලයට සෘජුවම යැවිය යුතු නිසා ඒ සඳහා ද සැළකිය යුතු මුදලක් වැය වන නිසා මෙසේ සහනයක් ලැබීම ඔබගේ මුදල් ඉතුරු කර ගැනීමට හේතුවක් වනු ඇති. සාපේක්ෂව IELTS results යැවීම සඳහා අඩු මුදලක් වැය වන නිසා එයත් IELTS කිරීමේ තව වාසිදායක කරුණක් වනු ඇති. මා එසේ ප්‍රතිඵල යවන විට මීට වසරකට පමණ පෙරදී courier කිරීම සඳහා රු. 2500ක මුදලක්ද, සාමාන්‍ය තැපෑලෙන් යැවීමට රු. 250 ද එම විශ්ව විද්‍යාලය ඉලෙක්ට්‍රොනික ලෙස ප්‍රතිඵල ගෙන්වා ගැනීමට (STEDRO) ලියාපදිංචි වී සිටී නම් රු 250ක මුදලක්ද වැය වනු ඇති. මෙසේ ලියාපදිංචි වී සිටී ද නැද්ද යන වග අදාල විශ්ව විද්‍යාලයේ graduate coordinator හට email පණිවිඩයක් යැවීමෙන් ද එසේ එවීම සඳහා අවශ්‍ය විස්තර ද ලබා ගත හැකියි. එසේ නැතත් ඔබට British Council හෝ ඔබ විභාගයට පෙනී සිටි මධ්‍යස්ථානය හරහාද එසේ ලියාපදිංචි වී තිබේ දැයි දැන ගත හැකියි. GRE හා TOEFL යැවීම සඳහා අවශ්‍ය විස්තර එම විශ්ව විද්‍යාල වල වෙබ් අඩවි වල දක්වා තිබෙනු ඇති. කිසි විටෙක GRE හෝ TOEFL ප්‍රතිඵල යැවීම සඳහා භාවිතා කරන තොරතුරු IELTS ප්‍රතිඵල යැවීමට භාවිතා නොකල යුතුයි. මන්ද යත් ඒවා වෙනම ආයතන වලින් පවත්වන විභාග වන නිසාය. යම් විශ්ව විද්‍යාලයක් STEDRO හා ලියාපදිංචි වි සිටී නම් ප්‍රතිඵල යැවීම සඳහා ලාභදායිම හා ඉක්මන්ම සේවාව එය වේ. විනාඩි කිහිපයක් ඇතුලත ප්‍රතිඵල අදාල විශ්ව විද්‍යාලයට ලැබෙනු ඇති. එමෙන්ම GRE වලට පෙනී සිටින විට විභාගය අවසන් කර marks submit කිරිමට පෙර විශ්ව විද්‍යාල 4කට නොමිලේ ප්‍රතිඵල යැවීමට අවස්ථාවක් ETS ආයතනය ලබා දී තිබේ. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ඔබගේ වගකීම වේ. එනම් ඔබ විභාගයට යෑමට පෙර අයදුම් පත්‍ර යැවීමට විශ්ව විද්‍යාල අවම වශයෙන් 4ක්වත් තෝරාගෙන තිබිය යුතු වෙනවා. නැතිනම් ඔබ කරන්නේ මුදල් නාස්තියක්.

ඔබගේ GPA ඉතා ඉහල මට්ටමක තිබේ (3.5 < GPA) නම් අනෙක් දේ සමඟ සමබරව එය ස්ථායීව පවත්වා ගැනීමට හැකි නම් ඔබේ සිහිනය ඇමරිකාව නම් පමණක් හැකි නම් තෙවන වසර අවසානයේ දී හෝ සිව්වන වසර මුල් කාලයේදී GRE සඳහා පෙනී සිටීමෙන් එම වසර තුලදීම අයදුම් කළ හැකි නිසා වසරක් ඉතිරි කර ගත හැකි වෙනවා. එවිට ඔබ සිව්වන වසර විභාගය අවසන් කිරීමට පෙර දී විශ්ව විද්‍යාල සඳහා අයදුම් කිරිම අවසාන කලයුතු වෙනවා. සාමාන්‍යයෙන් ඔක්තෝබර මස අගදී අයදුම් පත් භාර ගැනීම ආරම්භ වන අතර දෙසැම්බර් මස 15 වනදා වන විට බොහෝ ඇමරිකානු විශ්ව විද්‍යාල අයදුම් පත්‍ර භාර ගැනීම අවසන් කරනු ලබනවා. නමුත් පෙබරවාරි 15 දින දක්වා හෝ මාර්තු මස 1 වනදා දක්වාද අයදුම් පත්‍ර භාර ගන්න විශ්ව විද්‍යාල නැතුවාම නොවේ. මේ අයදුම් පත්‍ර භාර ගන්නේ ඊලඟ වසරේ Fall semester එකට වන අතර සමහර විශ්ව විද්‍යාල winter එක සඳහා ද අයදුම් පත් වටයක් කැඳවයි. එය මාර්තු සිට මැයි ජූනි දක්වා දිව යා හැක. නමුත් කුඩා සිසුන් පිරිසක් පමණක් මෙහිදී බඳවා ගැනේ. එසේ ඔබට වසරක් ඉතිරි කර ගැනීමට අවශ්‍ය නම් හැකි ඉක්මනින් GRE සහ අනෙක් ඉංග්‍රීසි සම්බන්ධ විභාග අවසන් කල යුතු වෙනවා. නමුත් ඔබගේ GPA මධ්‍යස්ථ අගයක පවතී නම් හෝ ඔබගේ එකම සිහිනය ඇමරිකාව පමණක් නොවේ නම් හදිසි වී මෙම විභාගයන් කිරීම පළක් නොවන අතර ඉහල GPA අගයක් ගැනීමට හැකිතාක් තම කාලය හා ශ්‍රමය වැය කල යුතු වෙනවා. එහෙත් ඔබට හැකි නම් පමණක් TOEFL හෝ IELTS කර තිබීම වැදගත්. එය කුමන රටක හෝ විශ්ව විද්‍යාලයකට අයදුම් කිරීමේදී වැදගත් සාධකයක්. සාමාන්‍යයෙන් පංති සාමාර්ථයක් සහිතව GRE ලකුණු 290ට පමණ වඩා වැඩියෙන් තිබීමෙන් ඇමරිකානු විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපන වරමක් ලබා ගැනීම අපහසු කරුණක් නොවනු ඇත. නමුත් ඔබට GPA එක 3ට වඩා අඩු නම් මේ සම්භාවිතාව සීඝ්‍ර ලෙස පහල යන අතර සමහර විට GRE ලකුණු 310ට පමණ වඩා ගැනීමෙන් යම් අවස්ථාවක් උදා කර ගත හැකියි. ලබා ගත යුතු GPA අවම අගයත් විශ්වවිද්‍යාලය මත තීරණය වනවා. මදක් පහල rank එකක විශ්ව විද්‍යාලයකට වරම් ලබා ගැනීමට මෙය බාධාවක් නොවිය හැක. එමෙන්ම ඔබ සෑම විටම සිව් වසර (4 year general or special) උපාධියක් කිරීමට උත්සාහ ගන්න. මන්දයත් වසර 4ක උපාධියක් නොමැතිව උසස් අධ්‍යාපනය හැදෑරීමට අයදුම් කරන විට MSc එකක් ද Bachelor Degree එක සමඟ ඉල්ලීම විශ්ව විද්‍යාල මඟින් සාමාන්‍යයෙන් කරන දෙයක්. ඔබ සිව්වන වසර අවසන් විභාගය ලිවීමට පෙර අයදුම් කරන්නේ නම් ඔබට pending results මඟින් අයදුම් කිරීමට හැකියි. ඒ සඳහා unofficial transcript එකක් ද විශ්ව විද්‍යාලයෙන් ලබා ගත හැකියි.

ඉහත සඳහන් කරුණු කිහිපය සාරංශ ගත කර හොත්
1. ඔබ තෙවන වසර තුලදී හෝ අවසන් වසර මුල් අවදියේ උසස් අධ්‍යාපනය කිරීමට අදහස් කරන ක්ෂේත්‍රය තෝරා ගෙන සිටිය යුතු වේ.
2. එම ක්ෂේත්‍රය තුළ ඉහල පිළිගැනීමක් ඇති පාඨමාලා, විශ්ව විද්‍යාල හා Principle Investigators වරුන් අවම වශයෙන් 4ක්වත් හඳුනා ගෙන සිටිය යුතුයි.
3. හැකි නම් ඉහත සඳහන් කළ විභාගයන් උපාධිය හදාරන කාල සීමාව තුළදී සිදු කළ යුතුයි. එමෙන්ම හඳුනාගත් විශ්ව විද්‍යාල 04ට ප්‍රතිඵල විභාගයට මුහුණ දුන් දිනයේ දීම යැවිය යුතුයි. (ඒ වන විට ඔබ එම විශ්ව විද්‍යාලයට අයදුම් නොකර තිබූවාට වරදක් නැත. අවශ්‍ය වන්නේ නොමිලේ ලැබෙන අවස්ථා 4 ප්‍රයෝජනයට ගැනීම පමණි.)
ඊළඟට ඔබට තිබිය හැකි ප්‍රධාන ප්‍රශ්ණයක් වනුයේ කොපමණ අයදුම්පත් ප්‍රමාණයක් දැමිය යුතු ද යන්නයි. මෙයට නිසි පිළිතුරක් දීම අසීරු වන අතර සියළු දේ තීරණය වන්නේ ඔබගේ සුදුසුකම් වලට ප්‍රමාණය මතය. ඔබට ඉහල සුදුසුකම් ඇත්නම් සමහර විට ඔබ අයදුම් කරන සියළුම විශ්ව විද්‍යාල ඔබව තෝරා ගැනීම සිදු කළ හැක. අවශ්‍ය වන්නේ ඔබගේ මට්ටම හඳුනා ගෙන ඒ සඳහා අයදුම් කිරීමයි. ඔබ ළඟ ඇති මුදල් ප්‍රමාණය, ඔබගේ සුදුසුකම් යන සාධක කොපමණ අයදුම් පත් ප්‍රමාණයක් ඔබට යැවිය හැකිදැයි නිර්ණය කෙරේ. නමුත් ඉහත මා සඳහන් කළ උපයෝගී කරගෙන මදක් මෙම ගාස්තු අඩු කර ගත හැක. සාමාන්‍යයෙන් ඔබ කෙනෙකුගෙන් ඇසූ විට ඔවුන් දෙන පිළිතුර වන්නේ applications 10වත් දැමිය යුතු බවයි. මෙසේ නිසි ඉලක්කමක් පැවසීම අසීරු වන අතර සමහර විට ඔබේ වාසනාව ද මේ මොහොතේ හේතු විය හැක. ඒ නිසා මා ඔබට මෙපමණක් අයදුම්පත් දමන්න යැයි පවසන්නේ නැත. එය ඔබේ තීරණයකි. නමුත් ඔබ එසේ දමන අයදුම් පත් සැළකූ විට කොටස් 3කට බෙදිය හැකි වේ.

  1. Dream Universities (Top Rank)
  2. Approachable Universities (Middle Rank)
  3. Low risk Universities (Low Rank)

ඔබගේ අයදුම් පත් මේ කාණ්ඩ 3 ඔස්සේ වර්ගීකරණය කර දැමීම කළ යුතුය. මෙහිදී තේරුම් ගත යුතු දෙයක් වන්නේ මේ කාණ්ඩ තීරණය වන්නේ තම තමන්ගේ සුදුසුකම් ප්‍රමාණ අනුව බවයි. කෙනෙකුගේ Dream University එකක් ඔබගේ Low Risk University එකක් විය හැකියි. එයද සළකා බලා තමන් යවන අයදුම් ප්‍රමාණය අනුව මෙම කාණ්ඩ වලට ගැලපෙන පරිදි බෙදා වෙන් කරගෙන අයදුම් පත් යැවීම කළ යුතු ය.

සාමාන්‍යයෙන් ඇමරිකාවට අයදුම් කිරීම straight forward ලෙස හැඳින්විය හැකියි. ඔබ කෙළින්ම විශ්ව විද්‍යාල වෙබ් අඩවිය තුළින් online application එකක් හරහා අයදුම් කිරීම සිදු වේ. මෙහිදී එහි සිටින graduate coordinator කෙනෙකු වෙනත් Principle Investigator කෙනෙකු සම්බන්ධ කර ගැනීම සාමාන්‍යයෙන් අවශ්‍ය නොවිය හැකිය. නමුත් ඔබ සෑම විටම අඩුම තරමේ graduate coordinator හා සම්බන්ධකම් පවත්වා ඔහුට ඔබගේ අභිරුචිය පවසා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගෙන තිබීම මුදලුත් කාලයත් ඉතිරි කර ගැනීමට උපකාරී විය හැක. එහිදී ඔබ එම online application එක submit කර GRE සහ අනෙකුත් අවශ්‍ය documents ද submit කර පසු ඔබව තෝරා ගතහොත් ඒ පිළිබඳ email මඟින් දන්වනු ලැබේ. සමහර විට ඉන්පසුව skype interviews පවත්වා එයින්ද තේරීමකට ලක් කර හැක.

ඔබට ඉතා හොඳ GPA එකක් සහ IELTS සඳහා ඉහල ලකුණක් ඇති නම් කැනඩාවට, යුරෝපීය  රටවල් වලට, සිංගප්පූරුවට ඉහත පරිදි කෙළින්ම අයදුම් කිරීමෙන් අවස්ථාවක් ලබා ගත හැක. GRE හා TOEFL යනු ඇමරිකානු විශ්ව විද්‍යාල වලට අවශ්‍ය විභාග වන අතර අනෙක් බොහෝ රටවල් සඳහා GRE අවශ්‍ය වන්නේ නැත. නමුත් මෙය තමන්ගේ විෂය ක්ෂේත්‍රය අනුව වෙනස් විය හැක. එසේ GRE අවශ්‍ය වනවා ද නැද්ද යන වග විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ දක්වා ඇත. නමුත් බොහෝ ඇමරිකානු නොවන විශ්ව විද්‍යාල වල TOEFL ද පිළිගැනේ. ඕස්ට්‍රේලියාවට මීට අමතරව publications අවශ්‍ය විය හැක.

මීළඟට අපි බලමු සුදුසු විශ්ව විද්‍යාලයක් තෝරා ගන්නා ආකාරය

මේ සඳහා ක්‍රම කිහිපයක් තිබෙනවා. ඉන් කිහිපයක් පමණක් මෙහිදී විස්තර කර දෙන්නම්. මා මුලින් කියූ පරිදි විශ්ව විද්‍යාලයේ subject rank එක, overall rank, supervisor හා research group යන කරුණු හොඳ තෝරා ගැනීමකදී සළකා බැලිය යුතුයි. විශ්ව විද්‍යාලයකට අයදුම් කිරීමට පෙර ඔබ ඔබ කැමතිම research field එක research topic හෝ එක තෝරා ගැනීම කළ යුතු වේ. ඉන්පසු විශ්ව විද්‍යාල වල වෙබ් අඩවි වලට ගොස් අදාල ක්ෂෙත්‍රයට අදාල පර්යේෂණ හා පාඨමාලා එහි තිබේ දැයි බැලිය යුතු ය. මේ සඳහා යම් පිළිවෙළකට විශ්ව විද්‍යාල වල වෙබ් අඩවි නැරඹීම පහසු වේ. ඒ සඳහා http://www.webometrics.info/en වෙත ගොස් අදාල රට තේරූ විට පිළිවෙළින් එම රටෙහි විශ්ව විද්‍යාල සියල්ල පෙළ ගැස්වේ. භෞතීය විද්‍යාව (physical sciences) සඳහා https://www.gradschoolshopper.com/gradschool/ ගොස් විශ්ව විද්‍යාල වල තොරතුරු දැන ගත හැකි වේ. ඔබ විශ්ව විද්‍යාලයක් තේරූ පසු එහි ඔබගේ ක්ෂේත්‍රය faculties කිහිපයක හා departments කිහිපයක තිබිය හැක. එය සමහර විට ලංකාවේ ඔබ සිටින faculty හෝ department එකට හාත්පසින්ම වෙනස් විය හැක. එනිසා ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතු වේ. මේ සඳහා ප්‍රතිකර්මයක් ලෙස ඔබගේ research topic එක සහ university එකේ නම googleහි search කිරීමෙන් සුදුසුම ප්‍රතිඵල ලබා ගත හැකි වේ. උදාහරණ ලෙස McGill University Bioinformatics හෝ McGill University cancer research යනුවෙන් ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස සෙවුමක් සිදු කර හැක. මීට අමතරව https://survey.gradtrek.com/#/Survey/Subjects, https://www.petersons.com/graduate-schools.aspx, https://www.usnews.com/best-graduate-schools/search යනාදී වශයෙන් මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා නොයෙකුත් උපකාරක වෙබ් අඩවි ද ඇත. ඒවා ද නිසි පරිදි භාවිතා කිරීමෙන් ඉහල ප්‍රතිඵල ලැබිය හැකි වේ.

ඉන්පසු සොයා ගන්නා ප්‍රතිඵල නිසි ලෙස සටහන් කිරීම වැදගත්ම කරුණකි. මන්ද යත් දින කිහිපයක් යනවිට ඔබට සියළු තොරතුරු අමතක වන බැවිනි. ඒ සඳහා excel sheet එකක් open කරගෙන ඔබ නරඹන විශ්ව විද්‍යාල සියල්ල සටහන් කරගෙන ඔබ කැමති පාඨමාලාවක් තිබුණි නම් එය වෙනත් sheet එකක අදාල links, application dead line, application fee, university overall rank, subject rank, GRE and TOEFL minimum scores, GRE, TOEFL university code, specific requirements සහ අනෙක් වැදගත් කරුණු සමඟ සටහන් කර ගත යුතු වේ.

ඔබට හොඳ GPA එකක් සහ හොඳ GRE, TOEFL, IELTS  ලකුනු තිබේ නම් සහ ඇමරිකාවට අයදුම් කිරීමට පමණක් තීරණය කර ඇති නම් ඔබට දැන් ඒ සඳහා හොඳ වැටහීමක් ඇති අතර මේ ලිපියේ ඉතිරි ටික ඔබට එතරම් වැදගත්කමක් නොවිය හැක.

මින් ඉදිරියට ඔබ මේ ලිපිය කියවන්නේ නම් ඔබට එක්කෝ හොඳ GPA අගයක් හෝ GRE අගයක් නැති කෙනෙකු, ඇමරිකාවට පමණක් අයදුම් කිරීමට අදහස් නොකරගෙන සිටින කෙනෙකු, වෙනත් රටක Top Ranking University එක්කට යාමට කැමැත්තෙන් සිටින අයෙකු හෝ වැඩිය මුදල් වියදම් කර ගැනීමට අකමැති අයෙකු විය යුතුය. එනිසා මේ විස්තර ඔබට ඉතා ප්‍රයෝජනවත් විය හැක. නමුත් මේ කියන්නට යන මාර්ගය පහසු එකක් නොවන බව ඉඳුරාම පැවසිය යුතු ය. ඔබට පොඩි කට්ටක් කෑමට නොහැකි නම් මෙය නිසියාකාරව කිරීමට ඔබට නොහැකි අතර එය නිසියාකරව නොකිරීමෙන් නිසි ප්‍රතිඵල නොලැබී ඔබගේ කාලයත් මුදලුත් වැය වීම ද සිදු විය හැක.

මා මුලින් සඳහන් කළ පරිදි ඉහත standard procedure එකේ නොයා හොඳ විශ්ව විද්‍යාලයක හොඳ උසස් අධ්‍යාපන අවස්ථාවක් ලබා ගැනිමට communication හා Networking මඟින් හැකිය. ඒ සඳහා ඔබ අදාල විශ්ව විද්‍යාලයේ අදාල principle investigator/ advisor/ supervisor සමඟ සෘජුව සම්බන්ධතාවයක් ආරම්භ කළ යුතු වේ. ඉහත සඳහන් පරිදි විශ්ව විද්‍යාලය හා පාඨමාලාව තෝරා ගෙන එම department එකෙහි faculty යන මෙනුවෙහි ඇති සියළුම principle investigators ලාගේ personal profiles වලට ගොස් research interest එක සහ research profile බලා ඒවාට කැමති නම් ඔවුන් මුළින්ම contact කර ගෙන ඔබගේ කැමැත්ත පැවසීමෙන් උසස් අධ්‍යාපනය ඔහුගේ අධීක්ෂණය යටතේ හැදෑරීමට අවස්ථාව ලබා ගත හැකි වේ. බොහොමයක් ඇමරිකානු විශ්ව විද්‍යාල වල මෙසේ මුලින්ම prospective supervisor කෙනෙකු සම්බන්ධ කරගෙන ඔහුගේ research lab එකට යාමට තරමක් අසීරු වන අතර අනෙකුත් රටවල එසේ අවස්ථාවක් ලබා ගැනීමට නම් supervisor කෙනෙකු අවශ්‍ය වේ. එහෙත් සමහර ඇමරිකානු supervisor වරුන් ද කෙළින්ම සිසුන් බඳවා ගැනීමට කටයුතු කරනු මා දැක ඇත. එනිසා කුමන රටක කුමන විශ්ව විද්‍යාලයක උවද graduate coordinator හා supervisor සමඟ සම්බන්ධ වී ඔබගේ අවශ්‍යතාවය පවසා තොරතුරු ලබා ගැනීමෙන් පසුව පමණක් අයදුම් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැක. ඔබට හොඳ GPA එකක් හෝ ඉහත විභාග වලට අඩු ලකුණු ඇති නමුත් ඔබට ඔබව හොඳින් market කර ගැනීමට හැකි නම් හොඳ උසස් අධ්‍යාපන අවස්ථාවක් උදා කර ගත හැකි ය. ඒ සඳහා බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් පවතී. ඒ SOP, CV, Reference letters හා ඔබ ඔහු/ඇය සමඟ පවත්වන සම්බන්ධතා පවත්වන ආකාරය හා එතුලින් නිර්මාණය වන ඔබේ ප්‍රතිරූපය තුළිනි.

ඔබට ඇත්තේ specific research topic එකක් නම් ඔබ දැනටමත් ඒ හා සම්බන්ධ research papers කියවා ඇති බව සිතිය හැක. එසේ කියවන විට යම් research group එකක් මඟින් ඉදිරිපත් කරන හොඳ principle investigator කෙනෙකු හෝ කිහිප දෙනෙකු ඔබට හමු වී තිබිය හැක. ඔබේ වර්ථමාන supervisor ගෙන් ද මේ පිළිබඳව අසා දැන ගත හැක. එහිදී එවැනි research groups වල නව සිසුන් බඳවා ගන්නේ නම් ඒ අය සිටින විශ්ව චිද්‍යාලයට අයදුම් කිරීමට හැකියි. මේ සඳහා අයදුම් කිරීමට පෙර අදාල principle investigator සම්බන්ධ කර ගෙන තොරතුරු දැන ගත යුතු වේ.

මෙසේ supervisor කෙනෙකු හා සම්බන්ධ වීමෙන් අවස්ථාවක් උදා කර ගත හැකි රටවල් අතරින් කැනඩාව, ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍ය, සිංගප්පූරුව, කොරියාව, චීනය, ජපානය හා ජර්මනිය, නෙදර්ලන්තය වැනි යුරෝපීය රටවල් ප්‍රධාන වේ. සමහර විට ඔබේ Dream  University කාණ්ඩයේ විශ්ව විද්‍යාලයක් මෙමඟින් ලබා ගැනීමට හැකියාව ලැබේ. මන්දයත් බොහෝ සිසුන් මෙවැනි ආකාරයෙන් supervisor වරුන් සමඟ සබඳතා පැවැත්වීමට මැළිකමක් දක්වන බැවින් එසේ දක්වන අයට හොඳ අවස්ථා ලබා ගැනීමට හැකි බැවිනි. කැනඩාව ගත් විට GRE හෝ IELTS යන කිසිදු දෙයක් නොමැතිව පවා පූර්ණ ශිෂ්‍යත්ව සහිතව හොඳ විශ්ව විද්‍යාලයක් ලබා ගැනීමට මින් හැකි ය. නමුත් පළමු පංතියේ සාමාර්ථයක් සහ ඔබව කර ගැනීමට අවශ්‍ය ඉහත සඳහන් කළ අනෙකුත් කරුණු අවශ්‍ය වේ. පළමු පංතියේ සාමාර්ථයක් නොමැතිව පවා අනෙකුත් දේ මඟින් හොඳ ප්‍රතිරූපයක් ගොඩ නඟා ගැනීම තුළින් කැනඩාවේ හොඳ උසස් අධ්‍යාපන අවස්ථා හිමි කර ගත් මිතුරන් මා පෞද්ගලිකව දනිමි.

අප බලමු දැන් මුළින්ම supervisor කෙනෙකු හා සම්බන්ධ වන ආකාරය.

ඒ සඳහා ඔබට email උපයෝගී කර ගත හැකි ය. ඔබ යවන email පණිවිඩයකට reply ලැබීමේ ප්‍රතිශතය 10-15% අතර අගයක් ගන්නා නිසා නොපසුබට උත්සාහය සහ කැප වීම මේ සඳහා අවශ්‍ය වේ. මා මෙසේ පණිවිඩ 400කට ආසන්න ප්‍රමාණයක් වසරක් ඇතුලත යවා තිබුණි. නමුත් මා අනුගමනය කළ ක්‍රමවේදය හා මගේ සුදුසුකම් නිසා 30-40% ක reply ලැබීමේ ප්‍රතිශයක් මට තිබුණි. ඉන් 10-15% අතර ප්‍රමාණයක් positive responses වූ අතර ඉතුරු ඒවා negative responses හෝ ඉඩ පහසුකම් නොමැති බව දන්වා එවූ ඒවා විය. එවැනි positive replies අතර ලොව හොඳම විශ්ව විද්‍යාල අතරින් කිහිපයක් වන Oxford, Cambridge, McGill හා University of British Columbia තිබූ බව කිව යුතු ය. ඒ අනුව මෙය හරියාකාරව කළහොත් නිවැරදි ප්‍රතිඵල අත් කර ගත හැකි ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි ය. සමහර විට replies නො එවන අය සඳහා සති කිහිපයකට වරක් නැවත email පණිවිඩයක් යවා මතක් කිරීම මඟින් ඔවුන් ඔබට reply එකක් එවීමට පෙළඹිය හැක. එමෙන්ම නිතරම අදාල department එකෙහි graduate coordinator/ department head හා සම්බන්ධකම් පවත්වා පුරප්පාඩු පවතින supervisor වරුන්ගේ විස්තර ලබා ගැනීම ද අනිවාර්යයෙන් කළ යුතු දෙයකි. එමෙන්ම ඔබ email එකක් යවන විට ඒ සඳහා නිසි වේලාවක් හා දිනයක් තිබේ. ඔබ email යවන විට ඒ විශ්ව විද්‍යාලය පවතින රටෙහි අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 6-9ත් අතර කාළය තුළ ලැබෙන පරිදි email යැවීමෙන් හොඳ ප්‍රතිඵල අත් කර ගත හැක. සති අන්තයේ කිසි විටෙක යැවීම සිදු නොකරන්න. හැකි නම් පෞද්ගලික email ගිණුමකින් emails යැවීම නොකර විශ්ව විද්‍යාලය ලබා දෙන academic mail address එකකින් mails යැවීම සිදු කිරීම ද වැදගත් කාරණයකි.

මෙසේ email යැවීම ඔබ සිව්වන වසර මුල හෝ මැද සිට කළ හැක. බොහෝ විට GRE අවශ්‍ය නොවන නිසා IELTS පමණක් කර තිබීම ප්‍රමාණවත් විය හැක. මා හට එයද අවශ්‍ය නොවූ බව කිව යුතුය. ඔබ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළමු උපාධිය කර ඇත්නම් ඒ බව සඳහන් ලිපියක් අදාල පීඨයේ පීඨාධිපතිගෙන් ලබා ගෙන එය අදාල විශ්ව විද්‍යාල වලට යැවිය හැක. කැනඩාවට අයදුම් කරන විට මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට නම් එසේ IELTS කිරීමට අවශ්‍ය නොවන බව අයදුම් පත්‍රයේම සඳහන් ව ඇත. නමුත් අනෙක් ලංකාවේ විශ්ව විද්‍යාල සඳහා ද මේ අවස්ථාව ඉහත පරිදි ලිපියක් ලබා ගැනීමෙන් උදා කර ගත හැක. නමුත් සමහර විශ්ව විද්‍යාල මෙවැනි අවස්ථාවන් සිසුන්ට ලබා නොදේ. සාරංශ කලහොත් හැකි ඉක්මනින් අප්‍රමාද ව මෙසේ prospective principle investigator වරුන් සමඟ සබඳතා ගොඩ නඟා ගැනීම කළ යුතුය

මීළඟට අපි බලමු email එකක් ලියන ආකාරය

හොඳ mail එකක සංෂික්ප්තව සියළු තොරතුරු අඩංගු විය යුතුය. හෑලි නොලියා කෙටියෙන් අදාල කරුණු ඉතා පැහැදිලිව හා සරලව ලිවිය යුතුය. ඉතා ස්ථාවර හා ශක්තිමත් විය යුතුය. අනවශ්‍ය දේ නොලියා තමන් එක ස්ථාවරයක සිටින බව ඇඟවිය යුතුය.

Title

Title එක customized එකක් වීම ඉතා යහපත් ය. උදාහරණයක් ලෙස පිළිකා සම්බන්ධ පර්යේෂණ කරන කෙනෙකු නම් ඒ හා අදාලව title ලිවිය යුතු ය. e.g Looking for PhD/ M.Sc. opportunity in Cancer Genetics (mRNA stability in cancers)
Looking for PhD/ M.Sc. opportunity in Bioinformatics and Computational Biology

Salutation

අදාල supervisor වරයාගේ last name හා තනතුර මෙහි සඳහන් කළ යුතු වේ. e.g. supervisor වරයාගේ නම Thomas Nickson නම් ඔබට Dr. Nickson හෝ කැනඩාවේ නම් Dear Asst. Prof. Nickson හෝ Full professor කෙනෙකු නම් Dear Prof. Nickson ලෙස ද ආමන්ත්‍රණය කළ හැක. Dear Sir/ Madam යැයි පොදුවේ නොකියා මෙසේ ආමන්ත්‍රණය ඉතා වැදගත් ය.

Body

මෙය ඡේද වෙන් කර පැහැදිලිව කෙටියෙන් ලිවිය යුතු වේ. මුල් ඡේදයෙන් ඔබව හඳුන්වා (introduction) දිය යුතු වේ. ඔබගේ අධ්‍යාපන සුදුසුකම් කෙටියෙන් සහ සම්පූර්ණයෙන් පැහැදිලි කර යුතු වේ. දෙවැනි ඡේදයෙන් ඔබේ research interest එක හා ඔබේ undergraduate research එක ගැන විස්තර කිරීම හොඳය. තුන්වන ඡේදයෙන් ඔබ අදාල supervisor වරයාගේ research වලට දක්වන කැමැත්ත ඔහුගේ research හා සම්බන්ධ වී ඔබ කිරීමට කැමති දේ සහ ඔහුගේ research articles කියවීමෙන් ඇතිවූ ගැටළු කිහිපයක් විමසීම වැනි දේ කළ හැකි වේ. ඉන්පසු ඔබේ අනාගත බලාපොරොත්තු සහ මෙසේ උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් ඔබට අත්වන ප්‍රතිලාභ වැනි දේ කෙටියෙන් සඳහන් කිරීමද අවශ්‍ය නම් කළ හැක. එසේම ඔහුගෙන් ප්‍රති උත්තරයක් බලා සිටින බවත් ඔහු ලබා දෙන කාළය ඇගයීමත් කිරීම ද වටින්නේ ය. කෙසේ වෙතත් සියළුම දේ වචන 300කට අඩුවෙන් ලිවීම ද කළ යුතු වේ. (max 350).

බොහෝ දෙනෙක් කරනු ලබන වරදක් වන්නේ එකම mail සාදාගෙන එය සෑම දෙනාටම යැවීම හෝ කාගෙන් හෝ කොපි කර ගත් mail එකක් යැවීම ය. මගේ අදහස අනුව මේ mail එක තනිකරම ඔබ විසින් නිර්මාණය කරන ලද unique mail එකක් විය යුතු ය. ආකර්ෂණීය වීම ද ඉතා වැදගත් ය. කියවන කෙනා නොනවත්වා ආසාවෙන් කියවන තැනට ලිවිය යුතුය. එසේ කියවා ප්‍රතිචාරයක් දැක්වීමට තරම් ඔබ ඔබව market කරගෙන ද තිබිය යුතුය. නිවැරදි ව පළමු mail එක ලියා ගැනීම මේ ක්‍රියාවලියේ ඉතාම වැදගත් සහ අවධානය වැඩියෙන්ම යොමු කළ යුතු පියවර ලෙස හැඳින්වේ. සමහර විට ඔබට මෙය ලිවීම සඳහා සති කිහිපයක් වෙහෙසීමට වුව ද සිදු වේ. පළමු mail එක යවා එයට ප්‍රතිචාර ලැබුණු පසු ඉතා හොඳින් ඔබගේ ප්‍රතිරූපය ගොඩ නඟා ගැනීම ඔබේ වගකීමකි.

අවසාන වශයෙන් ඔබ කැනඩාවට අයදුම් කරන විට ශිෂ්‍යත්ව හෝ TA හෝ RA නොකර Research grants මඟින් මුදල් ලබා දීම තුළින් යම් කිසි පහසුවක් උදා වීම සිදු වේ. එමෙන්ම තමන්ගේ සහකරුට/ සහකාරියට රැකියාවක් කිරීමට ද කාලය තිබේ නම් තමන්ට ද රැකියාවක් කිරීමට කැනඩාවේ දී හැකි ය. එමෙන්ම වසර තුනකට පසුව PR පහසුවෙන් ලබා ගත හැකි වීම ද තවත් වාසියකි. එමෙන්ම හොඳ රැකියා අවස්ථා ද එහි තිබේ. එසේම PhD එක වසර 4කින් පමණ අවසන් කළ හැකිය. නමුත් අවස්ථාවක් උදා කර ගැනීමට පොඩි කට්ටක් කෑම්ට ඔබට සිදු වේවි.

Updated on 2017-06-29

විශේෂ ස්තුතිය/ Special Thanks

Hiran Wijesinghe ( The Ohio State University, United States)
Vinavi Amindika (New Mexico State University, United States)
Sameera Liyanage (Université du Québec en Abitibi-Témiscamingue, Canada)
Pasan Fernando (The University of South Dakota, United States)
Hasitha Premathilake (The University of South Dakota, United States)
Lihil Uthpala (National University of Singapore, Singapore)
Hirushie Karunathilake (University of British Columbia, Canada)
Miyuraj Harishchandra (The University of South Dakota, United States)
Eranda Tennakoon (QUT (Queensland University of Technology, Australia)
Lakitha Wijeratne ( University of Texas – Dallas, United States)
Paboda Hettige (University of Massachusetts Lowell, United States)
Thilini Cooray (Singapore University of Technology and Design, Singapore)
Sineth Madushan (Ohio University, United States)
Dilangani Dissanayaka (University of Saskatchewan, Canada)
Piumi Gallage (University of Saskatchewan, Canada)
Shereen Anjela (University of Utah Department of Chemistry, United States)
Sudesh Jayashantha (원광대학교(Wonkwang University) 공식 페이스북, South Korea)
Praneeth Mendis (West Virginia University, United States)
Kasun Bandara (Monash University, Australia)