මනුෂ්‍යත්වය පිරි හදවතක්

Share

මේ වෙසක් සමය නිසා හතර වටෙන් ම බණ , බොදු ගීත කන්වල දෝංකාර දෙනවා.මෙතරම්  බණ කියන රටක් බණ අහන රටක් ලෝකෙ කොහේවත් නැතුව ඇති.ඒත් ඒ කිසි ම දෙයක් ගැන අවබෝධයක් නැති තමන්ට ලැබුනු මිනිස් ජීවිතේ වටිනාකම දන්නෙ නැති අයෙක් වේ නම් ඔහුගේ ඇස් පෑදීම යි අද මගේ වෑයම.

අපි නිතර නිතර යාමට පුරුදු වුන හෝටලයක් තියෙනවා.එතන වැඩ කරන මුරකරු එක්ක එතනට යන හැම වෙලාවකම වචනයක් දෙකක් හුවමාරු කරගැනීමට අප්ප්ච්චි පුරුදු වෙලා හිටියා.වෙනද වගේ ම එදත් අප්ප්ච්චි ඔහුට කතා කලා.

“කොහොම ද ප්‍රියන්ත?” අප්ප්ච්චි ඇසුවේ සිනා මුසු මුහුනකින්.

“හෙට මගේ උපන් දිනය සර්” අහිංසක ලෙස ඔහු පැවසුවා.

අරුමයක් නැහැ.කොයි කවුරුත් උපන්දින සමරනවා.නමුත් මගේ කතානායකයට තිබුනෙ කාටත් නැති වෙනස් කතාවක්.

පෙනුමෙන් ඔහු සාමාන්‍ය මිනිසෙක්ට වඩා ටිකක් වෙනස්.ඇස් මදක් නෙරා ගියපු ඔහුට තිබුනෙ අසාමන්‍ය කොට ශරීරයක්.

“දැන් ඉතින් ප්‍රියන්ත උපන්දිනේට අම්මා තාත්තා බලන්න යනවද? ”
ඔහුගෙ කතාව එලි උනේ අම්මා නගපු ඒ ප්‍රශ්නෙන්.

“මගේ අම්ම යි තාත්ත යි දෙන්න ම නැහැ මැඩම්.මම ඉපදෙන්න ඉන්නකොට අම්ම ව ලිදකට වැටිලා.මාව එලියට අරන් තියෙන්නෙ දෙකෙන් එකේ විශ්වාසෙට”

ඔහුගෙ ජීවිතය පිලිබද වෛද්යවරුන්ගේ විශ්වාසය සියයට පනහක් බවයි එයි අදහස් කලේ.
මගේ ශරීරයම හිරිවැටිලා ගියා.අපි කොයි කවුරුත් නොකිව්වට ඉපදෙන්නෙ ස්තීර ජීවිතයක් අරන් නෙවේ නේද කියලා මට හිතුනා.

“අම්මා අවුරුදු දෙකක්ම එකතැන් වෙලා හිටියෙ ඉස්පිරිතාලෙ.මාව හදලා වඩලා තියෙන්නෙ එහේ ඉන්න මිසීලා.තාත්ත නැති වෙලා තියෙන්නෙ මට මාස තුනක් වෙද්දි සර්පයෙක් ගහලා”

“අම්ම වැටුන නිසා මගෙ ඇස් දෙකම හානි වෙලා.පස්සෙ පේන්නෙ නැතුව ගියත් ඔපරේශන් එකක් කරල දැන් ටිකක් පේනවා”

“අම්මගෙ දාල තිබ්බ ගල් ප්ලාස්ටරේට මකුණො ගහලා අම්මගෙ පිටේ තුවාල ඇවිත්.ඒ නිසා මාමලා අම්මවා ගෙදර ගෙනත් ප්ලස්ටරේ ගලෝලා.එදා ඉදන් මැරෙන තුරුත් අම්මගෙ කොන්ද පණ නැහැ”

“දැන් ප්‍රියන්ත ඉන්නෙ කවුරු එක්කද? ” මද නිහැඩියාවකින් පස්සෙ ඇහුවෙ අප්පච්චි.

“මම කසාද බැදලා පොඩි පුතෙක් ඉන්නව සර්.අවුරුදු 2 යි.නෝනට තව ළමයෙක් හම්බවෙන්න.ඒත් එයාට උදවු වෙන්නවත් කවුරුත් නැහැ.එයාටත් කාත් කවුරුත් නැහැනෙ”

මේ ලෝකෙ තනිවෙච්ච පිරිමියෙක් තනිවෙච්ච ගැහැනියක් සමග යෙදෙන ජීවිත අරගලය ගැන මට ඇති උනේ සාණුකම්පිත හැගීමක්.දරුවෙක් කුසේ දරාගෙන සිටින තමන්ගෙ බිරිද චූටි පුතු සමග තනිව රැය ගෙවද්දි තුන් වේල පිරිමසාගන්න මේ මිනිසා රාත්‍රියේ නින්ද සමග සටන් කරනවා.

ආයෙත් දවසක එතන්ට අපි ගිහාම අපි ආසවෙන් හිටියෙ ප්‍රියන්තගෙ අලුත් උපන් දරුවගෙ සුව දුක් අහන්න.

“ආහ් කොහොමද සර්? “ඔහු ඇසුවේ සිනා මුසු මුහුනකින්.ඒත් ඒ සිනාවෙ සැගවුන යමක් තියෙනවා කියලා අපි කාටත් තේරුනා.
“කොහොමද ? බබා ලැබුනද?”
“දැන් සතියක් වෙනවා සර් වයිෆ් ට සිහිය නැහැ.බබා බේබි කාමරේ.”

ඔහුගේ ඇස් වලින් කදුලු රූරා වැටෙනවා.

“මම මෙහෙ රෑ වැඩ කරනකොට වයිෆ් වැටිලා.වතුර බෑග් එක කැඩිලලු.මම පහුවෙනිදා ගෙදර ගිහාමනෙ දන්නෙ.එවලෙ තමයි ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ.දරුව වේලිලා.දෙන්නටම විසබීජයක් ගිහින්.දොස්තරලා කිව්වා උපරිම උත්සහා දරනවා කියලා”

අපේ හදවත මොහොතකට නතර වුනා වගේ දැනුනා.එක් මිනිසෙකුට මෙතරම් කරදර වෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ මගේ හිතේ දෙදරුම් කෑවා.
“දැන් අනිත් දරුවා කොහෙද? ”

“එයා එහා ගෙදර.මාත් නැති නිසා අම්මා ඕනෙ කියලා නිතරම අඩනවලු.”mඔහු ගොත ගසයි.

දරු දුක සිතේ මිරිකෙද්දි ස්වාමියක් විදිහට තම අසරණ බිරිදගෙ ජීවිතය ගැන භියත් සිතෙ දරාගෙන සිටින මේ මිනිසාට අපිට කල හැකිව තිබ්බෙ මුදලින් කරන උදව්ව්ක් විතරයි.

ඔහු අස්වසා ගෙදර එන්න පිටත් උනත් අපි අතරෙ විසිරී තිබුනෙ මහා ශෝකාන්විත නිහඩ බවක්.

“කෝ සැපතා මේ සන්සාරේ දුක කෙලවර වේ නිර්වානෙ”එහෙම කිව්වෙ චූටි මල්ලි.

නොදන්න කමට කිව්වත් එයා කිව්ව දේ තමයි හරිම ඇත්ත කියල හිතුනෙ මට විතරක් නෙවෙයි.

ගෙදර ආපු අපි හැමෝම දුවගෙන ගියේ බුදුගෙට.ඒ අසරණ වුන මිනිසා වෙනුවෙන් සත්ය ක්‍රියාවක් කරන්න.වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න අපිට බැරි උනත් වෙන සියල්ල තෙරුවණ් බලෙන් යහපත් විදිහට වෙන්න කියලා අපි ප්‍රාර්තනා කලා.මොකද අපි හැමෝම මහ ඉහලින් තෙරුවන් ගුණ විශ්වාස කරන නිසා.

ගම්පහ රෝහලේ හිතවත් දොස්තර කෙනෙක් ඔවුන්ට යොමු කරන්න අප්පච්චිට පුලුවන් උනා.
පහුවෙනිදා දෙගිඩියාවෙන් නැගිට්ට අපි නැවතත් පිරිත් කියල ඔවුන් වෙනුවෙන් සෙත් පැතුවෙ අපිට වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා.
ටිකක් දවල් වෙලා වෛද්යවරයාට දුරකතන ඇමතුමක් දුන්නෙ හදවතේ දෙදරුම එලියටත් ඇහෙද්දි.
“අම්මයි දරුවයි සනීපෙන් ඉන්නව.අම්මාට අද උදේ සිහිය ආවා”
අපිට ඇති උනේ කියාගන්න බැරි සතුටක්.සතියක් තිස්සෙ සිහි එලවාගන්න නොහැකිව සිටි ඇය අපේ සත්ය ක්‍රියාවෙන පස්සෙ පියවි සිහියට පැමිනුණා.
තෙරුවණ් ගුන බලය අත් දුටු පළමු අවස්ථාව මෙය නෙවෙයි.ඒත් මේ මොහොතක අපි හැමෝටම ඉතාම සන්වේදී උනා.

යම් කිසි පිනකට පින්වන්තව අඩුපාඩු අඩු සැපවත් ආත්මයක් ඇතිව ඉපදිලා ඉන්න අපිටත් යම් හෝ දිනක මෙවන් සිද්දි වලට මුහුන දෙන්න සිදු නොවේ යැයි හිතන්න අමාරුයි.අද තියන සියල්ල සැනෙකින් වෙනස් වෙලා ජීවිත කොයි විදිහට පෙරලෙයි ද කියලා අපි කාටවත් කියන්න බැහැ.

අපි ඉපදිලා ඉන්නෙ ගොඩක් දුර්ලබ මනුස්ස ආත්මෙක.ඒකෙ දුර්ලබ බව බුදු පියානන් වහන්සේ උපමා කලේ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන සිද්දියට.
ඕගොල්ලන්ට හිතෙන්න පුලුවන් ඒක දුර්ලබ සිද්දියක් ද කියලා.

විය ගහ කියන්නෙ පැරැන්නො සීසානකොට හරක් දෙන්න ගැට ගහන ලීයට.මේකට පාවිච්චි කරන්නෙ ඉතාම ශක්තිමත් ලීයක්.වියගහ දිරන්නෙ ගොඩක් කාලෙකට පස්සෙ.එහෙම දිරපු විය ගහ ගොවියා දරට අරන් යනවා.මොකද පැරැන්නො හරිම අර පරිස්සමෙන් යමක් පාවිච්චි කරපු නිසා.එසේ අරන් නොගිය ගොවියෙක් මේක කැලේකට විසි කරනවා.ඒත් දරන ඇහිදින්න එන කාන්තාවො මේ විය ගහ දැක්කොත් අරන් යනවා.එයිනුත් බේරී දිරාපත් නොවුන වියගහක් තමයි මහා ධාරානිපාත වැස්සකට වතුරට ගහගෙන යන්නෙ.ඒත් එක මුහුදට ගහගෙන යනෑක ලේසි නැහැ.බාධක සියල්ල අභිබවා මුහුදට ගහගෙන ගියත් රළ තරණය කරලා  කැස්බෑවො ඉන්න මුහුද මැද්දට යන්නත් ඕනා.කණ කැස්බෑවෙකුට හමුවුනත් ඌ තමන්ගෙ පේන ඇහැ සිදුරට තිබ්බ වෙලාවක අහසෙ සඳපායලා තියෙන්නත් ඕනා.

හිතෙන තරම් මිනිසත් භවයක් ලබන එක ලේසි නැහැ.ඒත් එ ලබපු මිනිසත් භවේ අගේ දැනෙන්නෙ හරිම සුලු පිරිසකට.කාමයෙන් උන්මාද වෙලා තමන්ගෙ අම්මා නැති කරගන්න තන්හාවෙන් උඩගු වෙලා තමන්ගෙ සහොදරයා නැති කරනා මිනිසුන් සිටිනා සමාජයක් මේක.එහෙව් සමාජයක මනුෂ්යත්වයේ අගය වටහාගෙන මිනිස් කමට මුල් තැන දෙමින් ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕන.හරියට මඩේ පිපිලා මඩෙන් මිදිලා සුවඳ විහිදවන නෙලුම් මලක් වගේ.

අමතක කරන්න එපා අපිට ලැබිලා තියෙන්න ඉතාමත් දුර්ලභ අවස්තාවක් කියලා.ඉපදිලා මැරෙනා මේ ලෝකෙ උඩගුකම් ආඩම්බරකම් අනිත් අයට පෙන්න පෙන්න මායවක හිරවෙලා ජීවත් වෙලා මොකටද?ජීවත් වෙන්න තියෙන්නෙ සුලු කාලයයි.ඒ කාලය තුල අනිත් අයට උදවු වෙමින් මනුෂයත්වය උතුරන හදවත ඇතිව කාලය ගත කරලා උදාර මිනිසෙක් ලෙස මිය යන්න.