කූඹියෝ…

Share

“පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී

කන්න දේ රැස් කරයි කූඹියෝ

උන් ඉතා ඉක්මනින් යන්නෙ මේ කඩිසරෙන්

කම්මැලී නෑ කිසිත් කූඹියෝ

කූඹියෝ…”

මේ දවස්වල, දෙසවනේ නිතරම ඇසෙන,ඔයාටත් නොදැනීම මේ ගීත ඛණ්ඩය කියවෙනවා නම් ඔයාත් මන් වගේම කථාව බොක්කටම වැදිච්ච කූඹියෝ Fan කෙනෙක්.වයස් භේදයකින් තොරව සෑම කෙනෙකුගේම සිත් පැහැරගත්, විශේෂයෙන් අපේ කොල්ලො කෙල්ලො ගොඩාක් ආසාවෙන් නරඹන මෙය ලක්මාල් ධර්මරත්නයන්ගේ අධ්‍යක්ෂණයේත්, අසංක දොඩංතැන්නයන්ගේ නිෂ්පාදනයේත් අපූරු සුසංයෝගයකි මේ කූඹියෝ ටෙලි කථා මාලාව.

ඇත්තටම මේ කථාව මෙපමණ ආකර්ෂණයක් දිනා ගන්න, අපේ භාෂාවෙන් කිව්වොත් Hit වෙන්න හේතුව මොකද්ද? මං දකින්නේ නම් එක හේතුවක් නෙවේ හේතු කීපයක්ම ම තිබෙනවා. පළවෙනි දේ තමා තාත්වික සිද්ධි නිරූපණයක් තිබීම.ඒ කිව්වෙ මේක පොළොවේ පය ගහල ඉන්න මිනිස්සුන්ගේ කථාවක් වීම.සරලවම කිව්වොත් අපි එදිනෙදා දකින මිනිස්සුන්ගේ ජීවන රටාවත් එක්ක මුසු වෙන විදියට යි මේ කථාව ගලාගෙන යන්නේ. ඒ වගේම කතාව ආරම්භයේ සිට අවසානය දක්වාම එකසේ පවත්වා ගන්නා කුතුහලය. එක් කථාංගයක විකාශන කාලය වන විනාඩි 20 ප්‍රේක්ෂක කුතුහලය සංසිඳුවීමට කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. සරලවම කිව්වොත් ජෙහාන් ගේම් play කරලා,ඒක සිදුවෙන ආකාරය බලන් ඉඳලා ගන්න ආතල් එක වගේම ආතල් එකක් කථාව බලන අපේ Fans ල ට ලැබෙන අයුරින්ම කථාව සකස් වී තිබෙනවා.සාමාන්‍යයෙන් රූපවාහිනියේ විකාශය වෙන කථාවන්ට වැඩි නැඹුරුතවයක් නොදක්වන අපේ කොල්ලො කෙල්ලො කූඹියෝ දෝතින් වැළඳ ගන්නේ එහි බටහිර කතා මාලාවන්හි අඩංගු යම් යම් ලක්ෂණ අඩංගු නිසා බව හැඟී යනවා.

ජෙහාන් ප්‍රනාන්දු(නමේ ගතිය එන්නේ නම් Fernando  කියල කිව්වම) හෙවත් ජයලත් ආරච්චිලාගේ දොන් සුසන්ත සාගර චන්ද්‍රසිරි තමයි මෙහි ප්‍රධාන චරිතය වන්නේ.අපේ භාෂාවෙන් කිව්වොත් ලෝකෙ කාලා වතුර බීපු මිනිහෙක්.පොදු මිනිස් ක්‍රියාකාරකම් දිහා උපහාසයෙන් බලන්නෙක්. තුමිඳු දොඩංතැන්නයන් විසින් අති දක්ෂ ලෙස මේ චරිතය නිරූපණය කරනවා. කොතරම් අනික් මිනිසුන්ට වඩා වෙනස් බව පෙනුනත් ඔහු තුළත් සාමාන්‍ය මිනිසෙකු ජීවත් වෙනවා. ඒ බවට සාක්ෂියක් වන්නේ හිරුණි හමුවේ ඔහුගේ හැසිරීම. අපේ භාෂාවෙන් කිව්වොත් කොල්ලෙක් කෙල්ලෙක්ට Line දාන විදිය. ඇයගේ සිත් ගැනීමට කරන පොඩි පොඩි දේවල්. සාමාන්‍ය තරුණයෙක්ගේ හැසිරීම ඔහු තුළිනුත් දකින්නට පුළුවන්. ඔහුගේ ක්‍රියාවන් පිළිගත හැකි වූවත් නොහැකි වූවත් ඔහු තම ගේම් එක උදෙසා සියල්ල කැප කරනවා. ප්‍රේක්ෂකයා ට ඔහු කවරෙක් ද යන වග අවසානය දක්වාම තේරුම් ගත නොහැකි වනවා.

නැවතත් වැදගත් චරිතය වන්නේ ප්‍රියන්ත මහෞල්පතගම. ගමේ ඉඳන් නගරයට රැකියාවක් සොයාගෙන ආපු බොහොම අහිංසක තරුණයෙක්. ජෙහාන් තමන්ගෙ මෙගා ගේම් එක play කරන්නෙ මොහු ප්‍රධාන ඉත්තෙක් බවට පත්කරගනිමින්. මුලින් කුඩා හෝ හොරකමකට විරුද්ධ වන මොහු පසුව ඒවා සාධාරණීකරණ අයුරු නිරූපණය කර තිබෙන්නේ ප්‍රේක්ෂකයා ගේ මුවට උපහාසාත්මක සිනහවක් ගෙන එමිනි. ජෙහාන්ගේ පාසලේ ශිෂ්‍යයා වන ප්‍රියන්ත ගමේ කොල්ලෙකුගේ සිට ඇමතිවරයෙක්ගේ තත්වයට පැමිණෙන්නේ ජෙහාන්ගේ ගේම් එකේ අනුග්‍රහයෙන්.

ටිරාන් ගේ චරිතය තුළින් නිරූපණය වන්නේ මැරයෙක්. එවැන්නවුන් තුළ පවා පක්ෂපාතිත්වය,ආදරය පවතින බව පෙනෙන්නේ ඔස්ටින් අයියා මිය ගියත් ටිරාන් තුළ ඔහුට ඇති පක්ෂපාතිත්වයේ අඩුවක් නොපෙනීම නිසා. හොඳ නරක භේදයකින් තොරව සෑම මිනිසෙකු තුළ ම යහපත් ගතිගුණ පවතින බව මින් පෙන්වා දෙනවා.

කුතුහලය සංසිඳවා ගැනීමට ම පමණක් නොව සමාජයේ නියම ආකාරය, රැවටිලිකරුවන්ගේ ස්වභාවය හා සමාජය තුළ පවත්නා සැබෑ තත්වය මනාව මේ තුළින් විදහා දක්වනවා. මෙය අපට වටිනා යමක් ඉගෙන්වීමට ද උත්සාහ දරා තිබෙනවා.

මෙම ටෙලි නාටකයේ නම කූඹියෝ. කූඹියන් සැලකූ කල විවිධ වර්ගවලට අයත් විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් සත්ව කොට්ඨාෂයක්. කුමන ආකාරයේ කූඹියන් වුනත් ඔවුන් සියල්ලටම ඇත්තේ එකම පොදු අරමුණක්. ඒ කෑම රැස් කිරීම.

මේ කථාව තුළත් ඇමති ලේකම්වරු, විවිධ පක්ෂවල සාමජිකයන්, සාමාන්‍ය සුළු සේවක ජනතාව, පාතාල සාමාජිකයන්, ඉහළ පන්තිය ආදි විවිධාකාර සමාජ ස්ථරයන් රාශියක මිනිසුන් නිරූපණය වනවා. ඔවුන්ද කූඹින් සේම අරමුණු කරන්නේ එකම අභිලාශයක්.

කොටස් 56 ක් විකාශය වී තවත් කොටස් දෙකක් පමණයි මේ කථා මාලාවේ අවසානයට ඇත්තේ.ඔබ මෙන්ම මමත් දන්නේ නෑ අවසානය කුමක් වේද කියලා.එය කිසිවෙකුත් නො සිතන අන්දමේ අවසානයක් ද විය හැක.සෙනසුරාදා රාත්‍රී 8 වනතෙක් නො ඉවසිල්ලෙන් බලා හිඳින කූඹියෝ  Fans ඔබ අතරට මාත් එක්වෙමින් නවතින්නම්.

image courtesy : http://www.hitnews.lk/kubiyoo

 
Tagged :