රෝමියෝ හමුවෙන්නට ගියෙමි……

Share

අඩ එළියකින් ආවරණය වී ඇති නාට්‍ය ශාලාවේ හැම ඉසව්වකින්ම පාහේ සුදු එළි මතුවේ. බොහොමයක් දෙනා යුහුසුළුව සෙල්ෆී ගනු රිසියෙනි. සමහරවිට තිර රෙදි කොයි මොහොතක හෝ ඈත් වී නාට්‍යය පටන් ගනිතැයි බිය ඔවුන්ගේ යුහුසුලුවට හේතු වන්නට ඇත. අවාසනාවට මගේ මිත්‍රයාට හදිසි කර්තව්‍යයක් පැවරුණු හෙයින් මා නෘත්‍ය ශාලාවට ඇතුලු වූයේ තනිවම ය. හේතුව නාට්‍යය බැලීමට ඇති ආශාවක් හෝ නාට්‍යය රසිකයකු වන නිසා නොව, හුදෙක්ම වැඩ ඉවරවීමෙන් පසුව හැමදාම මෙන් පාළු බෝඩිං කාමරයේ තනිවීම පුරුදු අමිහිරි කාරණයක් වන නිසා හා ප්‍රවේශ පත්‍ර සදහා කලින් මුදල් ගෙවා තිබූ නිසා ය.

ඊර්ෂ්‍යාව දනවන, දෑත් එක් කර ගත් ආදරවන්තයන් හා අසල සිටින උදවියගේ සෙල්ෆී කෙරුවාව නිසා කාමරයේ තනිකම මීට වඩා අගනේ දැයි හිතෙන්නට විය. මොහොතක් දෑස් පියගන්නට වීමි. රෝමියෝ ජුලියට් කුඩා කාලයේදී කියවා තිබුනත් එහි අභ්‍යන්තරයට යොමුවී නොතිබිණි. මගේ ජීවිත කතාවේ ද ජුලියට් චරිතට කෙනෙක් සිටියා ය. තවමත් මනෝ චෛතසිකය, ඇය රඟ  දක්වමින් සිටී දැයි මට ම සැකයක් ඇත. නමුත් සිතක මැවෙන සිතුවිලි වලින් එහා යතාර්ථය තුල ඇය ජුලියට් කෙනෙක් වූයේ නැත. එය අසාර්ථක ඒක පාර්ශ්වික ආදරයක් බවට පත්වූයේ, මාද මගේ මිත්‍ර කැළද තැබූ බලාපොරොත්තුව වෙනුවට ”බැහැ” යන උත්තරය ඇගෙන් ලැබීමෙනි. එතැන් පටන් ජුලියට් කෙසේවෙතත් ඇය නපුරු මායාකාරි චරිතයට කදිමට ගැලපෙන්නට ගති.
තිරය මෑත් වූයේ කුමන වෙලාවේ දැයි නිච්චියක් නැත. මනස, මීට මාස කීපයකට පෙර සිදු වූ අමිහිරි මතකයක අභ්‍යන්තරයට කුරිරු ලෙස සිතුවිලි ඇදගෙන ඇති සෙයකි. කෙතරම් කුරුරි වුවත් එයින් අත් මිදීමට සිත ද අකමැති බව දනිමි. විප්‍රලම්බ ශෘංගාරය ද රසවත්ය.

නොයෙක් රංගනයන් ආදරණීය වදන් තුලින් නාට්‍යය දිවයයි. සභා තමෝ ප්‍රමෝදයට පත්වූවා සෙයකි. ජුලියට් ගේ සිහින් සිරුර, දිගටි නීල නෙතු, මනලෝලි බැල්ම නපුරු මායාකාරිට සම ය. වරක මා රෝමියෝ කියවන්නට වූවෙමි. එය ෆැන්ටසි නාට්‍යයක් කියවීම ට වඩා ප්‍රතිඵල දායක වනු ඇත. ජුලියට් කියවීම කෙලෙසක වත් කළ නොහැක. මනසේ සෛලයන් ජුලියට් කියවීම නපුරු මයාකාරිට සාපේක්ෂව සිදුකරයි.

වංශවත්, තම පවුලට, වෛරක්කාරී පවුලක තරුණයෙක් හා ජුලියට් හාදවීම මට අදහාගත නොහැක. ෆැන්ටසියට එහා දෙයක් ඇය සමග සම්බන්ධතා ඉවත්වී යාමෙන් පසුව මා නිතරම බලාපොරොත්තු වෙන දෙයකි. ජුලියට් එසේ රෝමියෝ සමග හාදවූයේ නම්, ඇය මා හා හාද නොවීම වටහා ගත නොහැක. අපගේ පවුල් අතර පරතරයක් තිබිය නොහැක, කෙල්ලන් හැරී හැරී බලන කඩවසම් පෙනුමක් නොතිබ්බත් කණ්ණාඩියෙන් මුහුණ බලන විට අප්‍රිය තාවයක් මට නොහැඟේ. සමහරවිට ඇගේ, රෝමියෝ ට රගපෑ තරුණයා මා හට වඩා කඩවසම් වූවා ඇත. එම ප්‍රේමය බිදුණු කල්හි අවස්ථා වාදී වූ මා ඇගෙන් කැමැත්ත විමසුවේ සරසවියෙන් සමුගන්නට මාස දෙක තුනකට පෙර ය. එතකුදු දුරින් සිට ඈ දෙස බලනු විනා අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා මා අසමත් වූයෙමි.
බෙන්වොලියෝ නම් හාදයෙක් , රෝමියෝ නුඹගේ කාලය දික් වීමට කුමන ආකාරයේ වේදනාවක් බලපානේද කියා වරක් ඇසුවා. එය ආදරයද? නැහැ, හේතුව කාලය දික් කරන්නෙ නෑ, කාලය කෙටි කරනවා, ඇය නොමැති ආදරය මගේ කාලය කෙටි කරනවා… කවියන්, ගීත රචකයන් ආදරවන්තිය හෝ ආදරවන්තයා නැති මොහොතක් කල්ප කාලාන්තරයක් ලෙස උපමා කරත් රෝමියෝට මෙන් මටත් ඇය නොමැති වූවායින් පසුව කාලය කටු ඉක්මනින් කරකැවෙනවා මෙන් දැනේ.

ඒ අතින් අප දෙදෙනා සමානයි. නමුත් ආදරවන්තයන්ට රෝමියෝ ජුලියට් ෆැන්ටසිය ෆැන්ටසික් බව තේරුම් කිරීමට අපහසු විය හැකිවුවත් නපුරු මායාකාරියකට, කොටු වී සිටින මාගේ යතාර්ථය අහලකට, රෝමියෝ ගේ ෆැන්ටසිය නොවේ. නිර්මාපකයන් බිදුණු ඒක පාර්ශවික ආදරයන් ගැන නිර්මාණ කරනවා ඉතා අඩුය. සමහරවිට එය ‍රස ගන්නවන්නට නොහැකිව ඇති.
රෝමියෝ හමුවන්නට ආ මට, ඔහු හමුනොවිනි.
මට මා හමුවුණි. ආදරය නැමති ෆැන්ටසියේ ජීවත් වූ බොළඳ තරුණයා දුටුවෙමි. ඇය මට අදත් හමුවූයේ නැත. භෞතිකව සමහර දිනවල ඇය හමුවේ. නමුත් ඒ හමුවීම හිනාවකින්වත් කෙලවර වන්නේ නැත. අධ්‍යාත්මිකව ඇය මුණගැසීම අවශ්‍ය වෙතත් එය කවදා සිදුවේ දැයි නොදනිමි…

 

by Nipuna Gajasinghe