හැමදාම මගේ ශක්තිය ඔයා …….

Share

දැන් මම ලොකු ළමයෙක්… විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නේ… නමුත් තවම අම්මගේ තාත්තාගේ රැකවරණයේ තමයි ජීවත් වෙන්නේ… මාව මේ තත්වයට ගේන්න අම්මා ලොකු කැප කිරීම් කළා… පුංචි කාලේ මං කරපුව මට මතකත් නැහැ… අම්මා නම් කියන්නේ මම ඉස්සර හරිම දඟයි කියලා. මට මගේ කුඩා කාලයේ මේ වගේ දේවල් වෙන්න ඇති කියලා හිතුනා… ඔයාලටත් රස විඳින්න කියලා මම ආරාධනා කරනවා.

මේ කාලේ ගැන මට පුංචි මතකයක් වත් නැහැ
එත් ඔයාට අකුරක් නෑර හැම දෙයක්ම මතක ඇති
ඒ ඔයා දස මාසයක් මාව කුසේ තියා ගෙන
මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මා නිසා

කිසිම මතකයක් නැති වුනත්
මේ කාලේ මෙහෙම වෙන්න ඇති කියලා මට හිතෙනවා

මේ කාලේ මම හුඟාක් අඬන්න ඇති
මම අඬන්නේ බඩගිනි වෙලා කියලා ඔයාට හිතෙන්න ඇති
ඔයාට ගොඩක් දුක හිතෙන්න ඇති
ඒ දුකට ඔය රතු ලේ සුදු පාට කිරි වලට හැරෙන්න ඇති
ඒ කිරි ආදරෙත් එක්ක එකතු කරලා මට පොවන්න ඇති
ඔයා දන්නවද අම්මේ
අදත් මම තියන තියන හැම අඩියකටම
ශක්තිය ලැබෙන්නේ ඒ කිරි වලින්
අදත් හෙටත් හැමදාටම ඒ මගේ ශක්තිය

තවත් වෙලාවක මම අඬනකොට
මම අඬන්නේ නිදිමත වෙලා කියලා ඔයාට හිතෙන්න ඇති
ඔයා මාව කකුල් දෙකේ දාල නලවන්න ඇති
ලස්සන නැලවිලි ගීතත් කියන්න ඇති
ඒ නැලවිලි ගීතත් අහගෙනම මට නින්ද යන්න ඇති
ඔයා දන්නවද අම්මේ
අදත් මම නින්දට යන හැම මොහොතකම
ඒ නැලවිලි ගීත හීනෙන් වගේ මට ඇහෙනවා

තවත් වෙලාවක මම අඬනකොට
මම අඬන්නේ සීතලට කියලා ඔයාට හිතෙන්න ඇති
ඔයා මාව උණුසුමට තුරුළු කරගන්න ඇති
ඒ උණුසුමට තුරුළු වෙලා මමත් සැපට නිදා ගන්න ඇති
ඔයා දන්නවද අම්මේ
අදත් මහා වැස්ස වෙලාවක සීතලක් දැනෙන වෙලාවක
මට ඔයාගේ උණුහුම දැනෙනවා
සීතලක් දැනෙන හැම වෙලාවකම
මට ඔයාගේ ලොකය ළඟට දුවගෙන එන්න හිතෙනවා
පුංචි දවස්වල වගේ ඔයාට තුරුල් වෙන්න හිතෙනවා

මම හිනාවෙනකොට මම දඟ කරනකොට
ඔයත් හිනා වෙන්න ඇති
මම අමාරුවෙන් අම්මා…. අම්මා ….
කියලා කියනකොට ඔය ඇස් වලට කඳුළු එන්න ඇති
දුකට නෙමෙයි සතුටට

මම දණ ගගා ඇවිදින්න හදනකොට
ඔයා මට සුලඟිල්ල දෙන්න ඇති
මම ඔයාගේ සුලඟිල්ල අල්ලා ගෙන
නැඟිටින්න ඇති
ජීවිතයේ පලවෙනි පියවර තියන්න ඇති
ඔයා හිනා වෙන්න ඇති
සතුට වැඩිකමට තාත්තාටත් කතා කරන්න ඇති

ඔයා දන්නවද අම්මේ
ඔයාගේ සුලඟිල්ල තමයි මට ඉස්සෙල්ලම
පොළවේ පය ගහලා නැගිටින්න උදව් කලේ

ඉතින් හැමදාම මගේ ශක්තිය ඔයා
මගේ ලෝකේ පලවෙනි පෙම්වතිය ඔයා
මගේ ලෝකේ වීරවරිය ඔයා

Image : assets.inhabitots.com