ශ්‍රී ලාංකික පර්යේෂණ කණ්ඩායමක් විසින් ග්‍රාහක වළල්ලේ පිහිටි නව ග්‍රාහක හතක් අනාවරණය කර ගනියි

Share

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ අභ්‍යවකාශ විද්‍යා කවුන්සිලය(United Nations Space Generaton Advisory Council (SGAC) ), අන්තර්ජාතික තාරකා විද්‍යා පර්යේෂණ එකමුතුව(International Astronomical Search Collaboration(IASC)) සහ ටෙක්සාස් හි Hardin-Simmons විශ්වවිද්‍යාලය එක් ව “Find an Asteroid 2016” නමින් සංවිධානය කරන ලද අන්තර්ජාතික ඇස්ටරොයිඩ සහ භූ සමීප වස්තු සෙවීමේ කඳවුර(International Asteroid and Near Earth Objects Searching Campaign) පසුගිය දා පැවැත්වුණා. ඒ සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික පර්යේෂණ කණ්ඩායම විසින්, සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු හා බ්‍රහස්පති ග්‍රහලෝක අතර පිහිටා තිබෙන ප්‍රධාන ග්‍රහක වළල්ලෙහි(Main Asteroid belt) පිහිටි, මෙතෙක් අනාවරණය කර නොගත් නව ග්‍රහකයන් 7ක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

සෞරග්‍රහ මණ්ඩලයේ වූ ප්‍රධාන ග්‍රහක වළල්ල පිහිටා තිබෙන්නේ, අඟහරු හා බ්‍රහස්පති ග්‍රහලෝක අතරයි. මුල් අවදියේ දී විද්‍යාඥයන් අතර වූ මතය වූයේ, විශාල ග්‍රහ වස්තුවක් පිපිරී යාමෙන් ඇති වූ පාෂාණ කැබලි වලින් මෙම ග්‍රහක වළල්ල නිර්මාණය වී ඇති බවයි. මේ පිළිබඳව වර්තමානයේ පිළිගනු ලබන මතය වන්නේ, අපගේ සෞරග්‍රහ මණ්ඩලය ඇති වීමට හේතු වූ සූර්ය නිහාරිකාව(Solar Nebula) සංකෝචනය වීමේදී ග්‍රහලෝකයක් බවට පත් වීමට අවශ්‍ය ඝනත්ව සීමාව කරා එළැඹීමට අපොහොසත් වූ පාෂාණ කොටස් වලින් ග්‍රහක වළල්ල නිර්මාණය වී ඇති බවයි.

International Asteroid and Near Earth Objects Searching Campaign කඳවුරේදී ග්‍රහක වළල්ලේ පිහිටි නව ග්‍රහකයන් 7ක් අනාවරණය කර ගැනීමට කැළණිය විශ්වවිද්‍යාලයේ එරංග තිළිණ ජයශාන්ත(නායක), යසිත් ලක්මාල් රාමවික්‍රම, අයෝධ්‍ය තේජසිරි, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ  ජූඩ් විජයංග විජේසේකර සහ කොළඹ ඇමරිකානු උසස් අධ්‍යාපන ආයතනයේ මෙරීෂා රුචිනි ෆොන්සේකා යන ශ්‍රී ලාංකික පර්යේෂණ කණ්ඩායම සමත් වී තිබෙනවා. කණ්ඩායම් නායක එරංග ජයශාන්ත සහ යසිත් රාමවික්‍රම යන විද්‍යාර්ථීන් ඒ පිළිබඳව FOS Media අප සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා.

පර්යේෂණ කණ්ඩායම

[one_fifth]

Eranga Jayashantha (Team Leader)

[/one_fifth]

[one_fifth]

Yasith Ramawickrama

[/one_fifth]

[one_fifth]

Jude Wijesekara

[/one_fifth]

[one_fifth]

Ayodhya Thejasiri

[/one_fifth]

[one_fifth_last]

Meriesha Fonseka

[/one_fifth_last]

මේ කඳවුර පිළිබඳව හැඳින්වීමක් කළොත්?

මෙම කඳවුර සංවිධානය කළේ United Nations Space Generaton Advisory Council එකට අනුබද්ධInternational Astronomical Search Collaboration එක විසිනුයි. ඔවුන්ගේ researches වල කොටසක් වශයෙන් වසර පුරා මේ ආකාරයේ campaigns සංවිධානය කරනවා. අපි අයදුම් කළේ  International Asteroid and Near Earth Objects Searching Campaign කියන කඳවුරටයි.  මේ සඳහා ඉල්ලුම් කරන කණ්ඩායම් අතරින් ඔවුන් විසින් තෝරා ගනු ලබන කණ්ඩායම් 20 කට පමණයි කඳවුර සඳහා ඉදිරිපත්වීමේ හැකියාව තිබෙන්නේ. කණ්ඩායමකට සාකජිකයින් 3-5 අතර සංඛ්‍යාවක් ඇතුළත් විය හැකියි. මෙම කඳවුර වාර්ෂික ව පැවැත්වෙනවා. මේ සඳහා 2013 වසරේ සිට ම අපි අයදුම් කළා. 2013 සිට ම කණ්ඩායම් සිය ගණනක් අතරින් හොඳ ම කඬායම් 20 අතරට පැමිණෙමින් කඳවුර සඳහා ඉදිරිපත් වෙන්නට අපට අවස්ථාව ලැබුණා. මෙවර මේ කලාපයෙන් ම මේ සඳහා සුදුසුකම් ලැබුවේ අපගේ කණ්ඩායම සහ  ඉන්දියානු හා පකිස්ථානු පර්යේෂකයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පමණයි.

මෙම සොයාගැනීම සිදු කළ ආකාරය පිළිබඳව විස්තර කළොත්?

මෙම අධ්‍යයනය සඳහා අපි හවායි දූපතේ පිහිටා තිබෙන මීටර 1.8 ක විවරයක් සහිත Pan-STARRS (Panoramic Survey Telescope and Rapid Response System-PS1) කියන පරාවර්තක දුරේක්ෂය භාවිත කර ලබා ගත් ඡායාරූප භාවිතා කළා. මෙය හවායි හි තිබෙන විශාලම දුරේක්ෂයයි.  මෙම දුරේක්ෂය විශේෂයෙන් ම භාවිත කරන්නේ ඇස්ටරොයිඩ පිළිබඳ අධ්‍යයනයන් සඳහායි. මෙම දුරේක්ෂය භාවිත කර image sets 21ක් අප විසින් ලබා ගත්තා. ගිගා පික්සල 1.4 ක CCD කැමරාවක් භාවිත කරමින් ලබා ගත් CCD ඡායාරූප 4 බැගින් මෙම කට්ටල වල අඩංගු වුණා. මෙම CCD කැමරාව ලෝකයේ ඇති විශාලතම CCD කැමරා අතරින් එකක්. මෙම ඡායරූප අධ්‍යයනය සඳහා සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 21 අතර කාලය ඔවුන් විසින් ලබා දුන්නා.  මෙම ඡායරූප අධ්‍යයනය සඳහා නොයෙකුත් තාරකා විද්‍යාත්මක මෘදුකාංග භාවිතා කළා. Astrometrica මෘදුකාංගය ඉන් එකක්. අපි ලබාගත් CCD ඡායරූප reductions වලට භාජනය කරනු ලැබුවා. ඒ ආශ්‍රයෙන් ග්‍රහ වස්තුවේ field  එකේ තිබෙන reference stars ලබා ගන්න පුළුවන්.  ඉන් ක්ෂේත්‍රයේ තිබෙන moving objects හඳුනාගත හැකියි.  නමුත් හැම moving object එකක්ම asteroid නොවෙයි.  ඒ අතරින් possible moving objects සොයා ගැනීමයි සිදු කරන්නේ. CCD ඡයාරූප වල photometric analyses  සිදු කර photometric parameteres  වල අගයන් සොයා ගන්නට පුළුවන්. ඒ පරාමිතීන් වලට ගතහැකි අගය පරාසයක් තිබෙනවා. එම පරාමිතීන් අප විසින් අධ්‍යයනය කරනු ලැබුවා. එම ග්‍රහ වස්තු වල කක්ෂීය චලිතය ද මෙහිදී සලක බැලුණා.

[one_half]


P10x0Lt
[/one_half]

[one_half_last]


P10xe28
[/one_half_last]

අධ්‍යයනයෙන් අනාවරණය කර ගත් දෑ අප විසින් වාර්තා කළ යුතුයි. එම වාර්තා සකස් කළ යුතු සම්මත ආකාරයක් තිබෙනවා. ඒ ආකාරයෙන් සෑදූ වාර්තා දුරදක්න වලින් කියවා අදාල වස්තුව එයට ග්‍රහණය කර ගත ගැකියි. අප විසින් යවන වාර්තා ඔවුන් වැඩිදුර අධ්‍යයනය කරනවා. මෙතෙක් සොයා ගත් සියළුම වස්තු පිළිබඳ වර්තා ඔවුන්ගේ දත්ත ගොනු වල තිබෙනවා. මෑතකදී සොයාගත් තවමත් දත්ත ගොනු වලට ඇතුළත් නොවුණු වස්තු ද තිබෙනවා. අපගේ වාර්තා එම වාර්තා සමග සංසන්දනාත්මක අධ්‍යයනයකින් පසුව, අප විසින් සොයා ගත් වස්තු අතරින් 7ක් මෙතෙක් අනාවරණය කර නොගත් නවතම වස්තු බව ඔවුන් විසින් තහවුරු කරනු ලැබුවා. අළුතින් asteroid  එකක් හඳුනාගත් අවස්ථාවක ඔවුන් ඒ පිළිබඳ අවුරුදු 3ක් පමණ වැඩිදුර අධ්‍යයන කටයුතු සිදු කරනවා. අප විසින් සොයාගත් ග්‍රහක 7 main belt asteroids ලෙස තහවුරු කර P10xd2w, P10xcZK, P10xe62, P10xe28, P10x0Lt, P10x0Li,P10x0Mk ලෙස කේතයන් ලබා දී තිබෙනවා. දැනට එම වස්තූන් පිළිබඳ දත්ත අපගේ නමින් IASC හි Main belt asteroids preliminary discovery database දත්ත ගොනුවට ඇතුළත් කර තිබෙනවා. වැඩිදුර අධ්‍යයන කටයුතු වලින් පසුව එම වස්තූන් පිළිබඳ දත්ත International Minor Planet Center Orbit (MPCOBR) දත්ත ගොනුවට ඇතුළත් කිරෙමට නියමිතයි.

list-of-discoveries-page-001
වැඩිදුර විස්තර සඳහා http://iasc.hsutx.edu/iasc/discover.html

මෙවැනි අධ්‍යයනයන්වල වැදගත්කම කුමක් ද?

වල්ගාතරු (comets) ග්‍රහක වළල්ල ආසන්නයෙන් ගමන් කරන විට, එම වස්තූන්ගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ බලපෑම නිසා ග්‍රහකයන්ගේ කක්ෂය (orbit) වෙනස් වන අවස්ථා තිබෙනවා. ඇතැම් විට ග්‍රහකයේ කක්ෂය සම්පූර්ණයෙන් ම වෙනස් වී සූර්යයා වටා කක්ෂයකට වැටෙන්නටත් ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවලදී ග්‍රහකයේ කක්ෂය පෘථිවියේ කක්ෂය සමග ඡේදනය වන ස්ථාන වලදී එම ග්‍රහකයන් පෘථිවිය සමග ගැටීමට හැකියාව තිබෙනවා. එම නිසා ඇස්ටරොයිඩ පිළිබඳ අධ්‍යයනය වැදගත් වනවා. එවැනි අවදානමක් සහිත වස්තූන් හඳුන්වන්නේ Potentially Hazardous Objects යනුවෙන්.

පසුගිය වසර වලදී මෙම කඳවුර සඳහා සහභාගි වී ලබා ගත් අත්දැකීම් සඳහන් කළොත්?

මෙම campaign එක සඳහා අපි ඉදිරිපත් වූයේ 4 වන වරටයි. ග්‍රහක ප්‍රධාන වළල්ලෙන් බාහිරව ද පිහිටිය හැකියි.  ප්‍රධාන වළල්ලේ ග්‍රහක පිළිබඳ මෙන් ම වෙනත් භූ සමීප ග්‍රහක පිළිබඳවත් මෙහිදී අධ්‍යයනයන් සිදු වෙනවා. පසුගිය වසරේ මෙම කඳවුර සඳහා ඉදිරිපත් වී කලින් අනාවරණය කරගෙන තිබූ භූ සමීප ග්‍රහකයන් 3ක් අප විසින් නැවත තහවුරු කළා. පෙර වසර වලදී අපට CCD images සමග කරන අධ්‍යයන කටයුතු පිළිබඳ අත්දැකීම් තිබුණේ නැහැ. CCD ඡායාරූප වල ප්‍රකාශමිතික (photometric) අධ්‍යයනයන් මෙතෙක් ලංකාවේ කිසිවෙක් විසින් සිදු කර නැහැ. අත්දැකීම් අඩු කම නිසා පසු ගිය වසර වලදී අපට අපහසුතා මතුවුණා. පසුගිය වසරේ තායිලන්තයේ පැවති IAU සමුළුවට සහභාගි වන්නට මට (එරංග ජයශාන්ත) අවස්ථාව ලැබුණා. එහිදී South East Asia හි විශාලතම දුරේක්ෂය භාවිත කිරීමට අවස්ථාව ලැබුණා. එම ක්‍රියාකාරකම් සහ එහිදෙ ලැබූ අත්දැකීම් අපගේ සොයා ගැනීම් සඳහා ඉවහල් වුණා.

img_4462

මේ අවදියේ ශ්‍රී ලාංකික සිසුන් අතර තාරකා විද්‍යාව පිළිබඳ ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා. ඔවුන් වෙනුවෙන් යමක් ප්‍රකාශ කළොත්?

ආධුනිකයන් සඳහා මේ වන විට විශාල වශයෙන් අවස්ථා තිබෙනවා. ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සඳහා භාවිතා කළ හැකි online services තිබෙනවා. උදාහරණයක් කිව්වොත්, අපිට පුළුවන් අපේ researches සඳහා ලෝකයේ තිබෙන දුරේක්ෂ ප්‍රයෝජනයට ගන්නට. අප කරන්නට බලාපොරොත්තු වන අධ්‍යයනයේ research proposal එක සමග  IASC එකෙන් දුරේක්ෂය භාවිතා කිරීම සඳහා ඉල්ලීමක් කළ හැකියි. ඔවුන් අපගේ research එක සහ අපගේ තාරකා විද්‍යා පසුබිම සලකා බලා අප ඉල්ලුම් කරන දුරේක්ෂයේ මෙහෙයුම් පද්ධතිය හැසිරවීම සඳහා අවසරය ලබා දෙනවා. මේ සඳහා ගෙවීමක් කළ යුතුයි. ඒ ආකාරයෙන් ලෝකයේ ඇති හොඳ දුරේක්ෂ භාවිත කිරීමේ අවස්ථාව මෙරට සිටම ලබා ගත් හැකියි. අපේ අධ්‍යයනය සඳහා Pan-STARRS  දුරේක්ෂය භාවිත කළේත් මේ ආකාරයෙන්මයි.
SGAC හි ශ්‍රී ලංකාවේ national point of contacts ලෙස කටයුතු කරන්නේ මම (එරංග ජයශාන්ත) සහ යසිත්. අපි හරහාත් ආධුනික ශිෂ්‍යයන්ට අවශ්‍ය උපදෙස් ලබා ගත හැකියි.

අවසාන වශයෙන් ඔබලාගේ අනාගත අරමුණු සඳහන් කළොත්?

ලංකාවේ ප්‍රථම වරටයි මෙවැනි Asteroid study එකක් සිදු කර තිබෙන්නේ. අප විසින් සොයා ගත් වස්තු නම් කෙරෙන්නේ අපගේ නම්වලින්. මෙය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට විශාල අභිමානයක්. අපි හැමෝගෙම උත්සාහය තිබෙන්නේ ලංකාවේ තාරකා විද්‍යාව දියුණු තත්වයකට ගෙන ඒමටයි. අපි ඒ සඳහා විශාල වශෙයෙන් කැපවීම් කර තිබෙනවා. ලංකාවේ තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රබෝධයක් දක්නට ලැබුණත් ආධුනිකයන් ට තාක්ෂණ භාවිතය සඳහා ලැබී තිබෙන ඉඩකඩ අඩුයි.  ඒ වගේ ම දකින්නට තිබෙන දෙයක් වන්නේ සුදුසුකම් සහ දැනුම සහිත අයට නිසි අවස්ථාවක් නොලැබීම. ඒ තත්වය මත දැනුම සහ සුදුසුකම් සහිත පිරිස පසුබෑමකට ලක් වී ඇති බවයි පෙනෙන්නේ. ලංකාවේ තාරකා විද්‍යාව පමණක් නොවෙයි, අනෙකුත් ක්ෂේත්‍ර වුවත් දියුණු කිරීමට නම්, මේ තතවයන් පිළිබඳ සලකා බැලිය යුතු වනවා.  යම් කිසි ආධුනික ශිෂ්‍යයකු යම් ව්‍යාපෘතියක් සිදු කරනවා නම් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නටත් අපි කැමැත්තෙන් සිටිනවා.

මෙවැනි විශිෂ්ඨ සොයා ගැනීමක් සිදුකරමින් ඔවුන් සිය මව්බිමට ගෙන ආ ගෞරවය සහ අභිමානය ඉමහත්. ඔවුන්ගේ අනාගත අරමුණු සඵල කර ගැනීම සඳහා FOS Media අපිත් ඔවුන් වෙනුවෙන් උණුසුම් සුභාශිංසන එක් කරනවා.

විශේෂ ස්තුතිය එරංග තිළිණ ජයශාන්ත – කැලණිය විශ්වවිද්‍යාලය