නිරෝෂාගේ දෛවය… (සත්‍ය සිදුවීමක් ඇසුරිනි)

Share

” ආ ගන්න”

ඔහු තම අත වූ පත්තර ගුලිය නිරෝෂා වෙත පෑවේය. කිසිත් නොකීවූ නිරෝෂා තරහින් අහක බලා ගත්තාය. සුගත් නැවතත් තම හඬ අවදි කලේ හැඩුම් ස්වරය මුසු පරාජිත හඬකිනි.

“මම ඔයාටමයි මේක ගත්තේ”

මම සෙමින් නිරෝෂාගේ කනට කොඳුරා “ඕක ගත්තා කියලා උඹ එයත් එක්ක යාළු උනා  වෙන්නෙ නෑනේ බං. ඒ නිසා ගන්න” කියූ නිසාම එය අතට ගත්තාය.

ආදරණීය හැඟීමෙන් මද සිනාවක් නංවා සුසුමක් පිට කළ සුගත් ප්‍රීතියෙන් කොර ගසමින් අප වාඩි වී සිටි මාර ගස අසල බංකුවෙන් නික්ම යන අයුරු මම නිහඬවම මොහොතක් බලා සිටියෙමි. සුගත් අපගේ විශ්ව විද්‍යාලයේ අප පීඨයේම අප සමඟ එකට උගත් ශිෂ්‍යයෙකු වූ අතර පාදයේ වූ ආබාධයක් නිසා ඔහුට කොර ගසමින් ගමන් කිරීමට සිදු වුණි. ඇඳුමෙන් පැළදුමෙන් වුවද  මුදල් හදල් තිබූ බවක් පෙනෙන්නට තිබුනේ නැත. දහඩියෙන් පෙගී ගිය, නිතර ඇඳීමෙන් දිය වී ගිය වර්ණයෙන් යුතු වූ එකම අළු පාට කමිසය හා කළු පාට කලිසම ඔහුගේ දුක්මුසු ස්වරූපය තවත් ඉස්මතු කිරීමට සමත් විය. දුප්පත් ඔහු වතුර කරාමයෙන් කුස පුරා වතුර බී තම කුස ගින්න නිවා ගන්න අයුරු බොහෝ විට මා දැක ඇත්තෙමි.

“ඕක ඇරලා බලපන් මොනවාද තියෙන්නෙ කියලා” පත්තරයෙන් ඔතාගෙන ආවේ කුමක්දැයි දැන ගැනීමට වූ නොනිමි ආශාවෙන් පෙලුනු මගේ ඇවටිල්ල නිසාම නිරෝෂා පත්තර කොලය ඈත් මෑත් කළාය. එහි වූයේ විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවෙන් ගත් ‘මසල වඩයකි’. මුතුවන් අකුරෙන් පත්තරේ කොනක ලියා තිබූ වගන්ති පෙළ අතර මෙලෙස විය.

“නිරෝෂා මං ඔයාට ආදරෙයි. ඔයා කැමති නම් මේක කන්න. මට මීට වඩා දෙයක් ඔයාට අරන් දෙන්න බැරි වුණාට මට සමාවෙන්න.”

එම වදන් පෙළ අතරේ සැඟවුණු ඔහුගේ නිර්ව්‍යාජ ආදරය පිළිබඳව මට ඉතාමත් සන්වේගයක් ඇති වුණි. නමුත් නිරෝෂාට නම් ඇති වූයේ කෝපයකි.

“මේකා හිතන් ඉන්නේ ම0 කවුරු කියලද දන්නෙ නෑ. ඩොටේ කොල්ලො කැම්පස් ලැගලා  අපේ කරේ නගින්ඩ එනවා.  කාටද මේ ජරාව කන්න පුළුවන්. උගේ අතේ තිබුණ දාඩියත් මේකෙ ගෑවිලා ඇති.ෂික්! සකූ ඔයා අයේ නම් කියන්න එපා  මේකා දෙන මුකුත්ම ගන්න කියලා නම්” කියමින් මසල වඩයත් එය ඔතා තිබූ ඔහුගේ ආදර හසුනත් ගුලි කොට අසල තිබූ කුණු බක්කියට විසි කලාය.

සුගත් අප අසලින් පිටව ගියත්, නිරෝෂාගේ හඬ නෑසෙන දුරකට ගොස් නොසිටියේය. නිරෝෂා සිතා මතාම ඔහුට ඇසෙන්නට මෙය කියූ බවනම් මට සහතිකය. අනපේක්ෂිතව එල්ල වූ තම ආදරවන්තියගේ දැඩි වාග් ප්‍රහාරය හමුවේ සිටි තැනම මොහොතක් ගල් වූ ඔහු ආපසු හැරී නොබලාම නැවතත් කොර ගසමින් තම ගමන ඇරැඹූවේය. ඒ අහිංසක ඇස් දෙකට නිරෝෂාගේ උල් කටු වන් වචන හමුවේ කඳුළෙන් තෙමී යන්නට ඇත. ඔහුගේ හදවත කඩා වැටෙන්නට ඇත. දුප්පත් වුවත් ඔහුගේ ආදරය අහිංසක නිර්ව්‍යාජ එකක්ම බව නම් මම හොඳින්ම දනිමි. නිරෝෂා විශ්ව විද්‍යාලයේ යන එන සෑම තැනටම ඔහු ඇය පසු පසින්ම කොර ගසමින් පැමිණ දුරින් හිඳ ඇය දෙස බලා සැනසෙන අයුරු මම කොතෙක් දැක ඇත්තෙමි. ඔහු ගොලු හදවතේ සුගත් මෙන් වුවත් , මට ඔහුගේ දම්මී විය නොහැක. සුගත් ආදරේ නිරෝෂාටය. විටක මට නිරෝෂා පිළිබඳව ඊර්ෂ්‍යා සිතේ. පොහොසත් වැදගත් පවුලක එකම දියණිය වූ මගේ හොඳම යෙහෙළිය නිරෝෂාට අසීමිතව ආදරය කරන සුගත් සිටීම  මේ ඊර්ෂ්‍යාවට හේතුවයි. නිරෝෂාට නම් සුගත් සහ ඇය යනු කාළගෝල හා දිත්තලා මෙන් ය.

මෙම සිදුවීමෙන් දින කිහිපයක් යන තුරුම ඔහු විශ්ව විද්‍යාල භූමියේ දකින්නටවත් නොසිටියේය. ඔහු සෑම දිනයේදීම වාඩි වී සිටින දේශන ශාලාවේ ඉදිරි පෙළ අසුන හිස් වීම මගේ සිත නොසන්සුන් කිරීමට සමත් විය. මට නිරෝෂා පිළිබඳව ඇති වූයේ කෝපයක්. සුගත්ගේ අහිංසක සිතට මෙතරම් දරුණුවට පහර දීමට තරම් වරදක් ඔහු නොකලේය. ඔහු කල එකම වරද පොහොසත්, ලස්සන කෙල්ලකට ආදරය කිරීම පමණි.

“ආදරය සුන්දර වරදකි – කිසිදා සමාවක් නම් නැතේ

මට පෙන්වලා ආලේ හැටී – ඔබ දුන්න දුක හොඳටම ඇතී”

සුගත්ටත් මෙලෙසම සිතෙන්නට ඇතී. දින කිහිපයකට පසු යලිත් ඔහු දේශනා ශාලාවේ දොරෙන් ඇතුලු වන ආකාරය දැක මම නිරෝෂාට වැළමිටෙන් ඇන්නෙමි. වෙනදාට ඔහු  කොර ගසමින් දේශනා ශාලාවට ඇතුළු වන්නේ නිරෝෂා කොතැන සිටිනවාදැයි වට පිට බලමින්‍ ය. නමුත් එදින ඔහු බිමට නැඹුරු කර ගත් මුහුණින් යුතුව තම සුපුරුදු අසුන වෙත පිය මැන්නේය. ඔහුගේ ශෝකය මුසු වේදනාබර මුහුණ තව තවත් මගේ සිත අනුකම්පාවෙන් පිරවීමට සමත් විය. නිරෝෂාට හොරෙන් ඔහු ලඟට ගොස් ඇය වෙනුවෙන් මමවත් සමාව ගත යුතු බව සිතා ගත්තෙමි. වාසනාවකට නිරෝෂාට මෙදින වේලාසනින් ගෙදර යාමට සිදු වූයේ ඇයගේ පියා විදෙස් රටක සිට නිවසට පැමිණීම හේතුවෙන් තිබූ උත්සවයකට ඇයට සහභාගි වීමට සිදු වූ නිසාය.

ලද අවසරයෙන් මම ඔහු සොයා ගියෙමි. බැස යන මළානික හිරු දෙස බලමින් අනන්තයට යන පාර සොයන සුගත්ව මට හමු වූයේ විශ්ව විද්‍යාලයේ පෙර දිනයක ඔහු නිරෝෂාට මසල වඩය දෙද්දී අප වාඩි වී සිටි බන්කුවේ සිටියදීමය.

“සුගත්, අපට සමාවෙන්න.එදා නිරෝෂා හිතලා නෙමේ ඔයාට එහෙම කිව්වේ”

මගේ වදනින් ඔහුගේ සමවැදීමට බාධා වූ නිසා තිගැස්සී මා දෙසට හැරී , “කමක් නෑ සකුන්තලා.මම තේරුම් ගත්තා හැමදේම” පවසමින් ගැඹුරු සුසුමක් හෙලීය. තව දුරටත් කතාව ඉදිරියට ගෙන යාමට වචන අහුලා ගැනීමට මට නුපුලුවන් විය. නමුත් මගේ සිත දැන් සැහැල්ලුය. මම ඔහුගෙන් සමාව ඉල්ලුවෙමි. ඔහු එයට සමාව දී ඇත.

“මම එහෙනම් යන්නම් සුගත්” කියා මම ගෙදර දිව්වෙමි.

පසු දිනයේදී පැමිණි නිරෝෂා පැවසුවෙ ඇයටත් ඇයගේ පවුලේ සියළු දෙනාටම ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා අවසරය ලැබී ඇති හෙයින් මාස 2කට පසුව ඔවුනට එහි යාමට සිදු වන බවත්‍ ය. ඒ ඇයගේ විශ්ව විද්‍යාල ජිවිතයේ මා සමඟ ගෙවූ අන්තිම දිනයයි. ඇමරිකාවට ගිය පසු ඇයට එහි ඇති උසස් විශ්ව විද්‍යාලයකට ඇතුළු විය හැක. මගේ හොඳම යෙහෙළිය අහිමි වී යාම ඇත්තටම මට දුකක් විය. නමුත් මට ඇයව වැළක්විය නොහැක. ඇය මාස 2 කට පසු ඇමරිකාවට ගිය අතර මම විශ්ව විද්‍යාල භූමියේ තනි වූවෙමි.

මා දකින විට සුගත් මා සමඟ යන්තමින් සිනා වූවත්, මා සමඟ කතා කලේ නම් නැත.ඔහු මහන්සි වී පාඩම් කලේය. දේශනා පවතින කාලයෙන් පසුව ඔහුව දකින්නට පුළුවන් වූයේ පුස්තකාලය තුල පාඩම් කරමින් සිටිනවා පමණි. කාළය ගත වුණි. පළමු සෙමෙස්ටරය අවසානයේ වූ විභාගයට ඔහු ඉහළම ලකුණු ලබාගෙන තිබුණි. සුගත්ට සුභ පැතීමට මට අවශ්‍ය වූවත් මට ඔහුව සොයා ගැනීමට නොහැකි විය. නිකමට මෙන් මම මාර ගස අසල බ0කුවේ ඔහු සිටීදැයි බැලීමට ගියෙමි. පත්තර කොළයක් අතේ ගුලි කරගෙන සිටින සුගත්ව මට එහි සිටිනු දැකීමට හැකි වුණි. කඳුළු පිරි දෑසින් ඔහු බර කල්පනාවකට වැටී සිටියේය. මෙවරවත් ඔහුගේ දුක මම බෙදා ගත යුතු යැයි සිතුවෙමි.

“සුගත්, ඔයාට මගෙන් සුභ පැතුම්” කියමින් මම බ0කුවේ අනික් කෙලවරේ වාඩි වූවෙමි. තිගැස්සුන ඔහු කඳුළු පිසදා අසීරුවෙන් අහිංසකව මා හා සිනාසී “ස්තූතියි” කීවේය.ඔහු තවමත් පත්තර කැබැල්ල අතේ ගුලි කරගෙනය.

“කෝ දෙන්න බලන්න. මෙයා පත්තර කොලයකට මොකද මෙච්ච්ර අඩන්නේ කියලා බලන්ඩ” කියමින් මම ඔහු අත වූ පත්තර කොළය බලෙන්ම උදුරා ගත්තෙමි. පිළිණු වූ කෑම ගඳකින් යුත් වූ එය දිග හැරිය විට මට දැක ගත හැකි වූයේ එදා නිරෝෂාට මසල වඩය ඔතා දුන් පත්තර කොලයේ ඔතා තිබූ වගන්ති පෙළමය.

“මේ…මේ..අ..ර..කොළය නේද? ” පුදුමයට පත් මම ගොත ගසමින් ඔහුගෙන් ඇසුවෙමි. හිස සැලූ ඔහු “එදා ඔයාලා ගියාට පස්සේ මම කුණු කූඩෙන් ආපසු මේ කොලය හොයලා ගත්තා. මේ කොලය තමා මාව විභාගයෙන් පාස් කලේ. මට තව දුරටත් ඩොටේ කොල්ලෙක් වෙලා ඉන්න බෑ සකුන්තලා.මට ඉහලටම යන්න ඕන. මට එතකොටවත් නිරෝෂාව ලැබෙයිනේ” යයි හැඩූ කඳුලෙන් පැවසීය. ඔහු තවමත් නිරෝෂාට ආදරේය. මගේ දෑසින්ද කඳුළු කැට එක දෙක කඩා හැලෙනු මට දැනුණි. ඒ ඔහුගේ අසීමිත ආදරය මට නොලැබෙන්න තරම් දෛවය රුදුරු වූ බැවිණ. මගේ වේදනාව යටපත් කර ගනිමින් ඔහුගේ දුක නිවන්නට වාක්‍යයකට වචන අමුනන්නට තැත් දැරුවෙමි.

……………………………………………………………………………………

“සකූ, ඔයා ලෑස්ති වෙලා ඉවරද?”

අතීත මතක සටහන් තුලින් මම වර්තමානයට පැමිණියෙමි. ඒ කතා කලේ සුගත්. අද මගේ දයාබර ස්වාමිපුරුෂයා ඔහුය. විශ්ව විද්‍යාලයේ නිරෝෂාගෙන් පසුව මට සිටි හොඳම යහළුවා වූයේ සුගත්‍ ය. ඒ පළමු සෙමෙස්ටරයේ විභාග ප්‍රතිඵල පැමිණි දිනෙන් පසුවය. දින, සති, මාස, අවුරුදු ගෙවෙද්දී අපි පෙම්වතුන් වූවෙමු. දැන් අපට දරුවන් දෙදෙනෙකුද සිටී. නිරෝෂාගේ අයිතිය මම ලබා ගත්තෙමි. මම කුහක , කපටි කෙනෙක් ලෙස ඔබට සිතෙන්නට පුළුවන. නමුත් මට නම් සිතෙන්නේ නිරෝෂා ඔහුට අකමැති වූ නිසා මම ඔහුව ලබා ගැනීම සාධාරණ බවය. සුගත් දැන් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකි. ශල්‍යකර්මයකින් ඔහුගේ පාදය සුව කර ඇත. පෙර මෙන් ඔහු කොර ගසන්නේ නැත.

අප යන්නට සූදානම් වූයේ නිරෝෂාගේ අවමඟුලට සහභාගි වීමටය.

ඇමරිකාවට ගිය ඇයට හමු වූ අපාය සහයක මිතුරන් නිසා මත්පැනට හා හෙරෝයින් වැනි මත් ද්‍රව්‍ය වලට ගොදුරු වීම නිසා එහි විශ්ව විද්‍යාල ගමනත් අඩාල කර ගත්තාය. මේ නිසා ඉක්මනින්ම ඇගේ දෙමව්පියන් ඇයට ඉහළ පෙලේ පොහොසත් ලාංකික තරුණයෙකුට යෝජනා වශයෙන් විවාහ කෙරෙව්වාය. ඇයගේ දේපල මිල මුදල් සියල්ල ඔහු විසින් කපටිකමින් තමන්ගේ නමට ලියවාගෙන ඇය අතහැර වෙනත් ගැහැණියක හා ගියේය. හදිසි අනතුරකින් වාහනය අනතුරකට ලක්වී ඇයගේ දෙමව්පියෝද ඇය අතහැර දා ගියෝය.ඇමරිකාවට ගිය පසු ඇය මාත් ඇයත් අතර තිබූ මිතු දම අමතක කල නිසා මේ කිසිවක් ලඟක් වන තුරුම මට දැන ගත නොහැකි විය.

සුගත් සහ මම අ0ගොඩ මානසික රෝහලට ආධාර ලබා දීමට ගොස් සිටියදී අපට ඇයව මුණ ගැසුණි. පෙර තිබූ සුන්දර, කෙලිලොල් මුහුණ එහි නොවීය. වියපත්, ජීවිතෙන් හෙම්බත් වූ විඩාබර මුහුණෙන් යුතු නූතන පටාචාරාවක්ව සිටි නිරෝෂා අප දෙදෙනාව දැක ඉකි ගසා හඩන්නට වූවාය.ඇයගේ වාසනාවට ඇය විසින්ම පයින් ගැසුවා නේදදැයි ඇයටම සිතෙන්නට ඇති. සුගත් මා සමඟ සිටීම ඇයට දරා ගන්නට නොහැකි වෙන්නට ඇති.

මානසිකරෝහලේ සුවය ලබමින් සිටි ඇයට සුව වූ වහාම අප සමඟ විසීමට මම ඇයට ආරාධනා කලෙමි. අවුරුදු 60 ඉක්මවුණු සැඳෑ සමයේ සිටි අප හට සැනසීමෙන් පිනක් දහමක් කරමින් විසීමම දැන් සෑහේ. මගේ ආරාධනාවට කිසිවක් නොකීවූ ඇය අසල වූ ජනේලයේ කම්බි දැලෙන් එල්ලී අහස දෙසම බලා සිටියාය.

දින දෙකකට පසුව ඇය මොළයේ ලේ කැටියක් සිර වීමෙන් මිය ගිය බව අපට ආර0චි වුණි. අප දැකීමෙන් ඇය කම්පනයට පත් වන්නට ඇත. අසරණ මගේ යෙහෙළිය. ඇය සිහිවන විට මගේ හදවතේ ශෝකය පිරී ඉතිරී යයි.  මානසික රෝහලේ ඇයව නැවැත්වීමත් සමඟම ඇයගේ සියළුම ‘ඉහළ පෙළේ’ නෑදෑයින් ඇයව අමතක කර දැමූ නිසා ඇයගේ මිනිය බාර ගැනීමට කිසිඳු නෑයෙකු ඉදිරිපත් නොවීය. සුගත් සහ මම ඇයගේ අවසන් කටයුතු කිරීමට භාර ගත්තේ ඇය සුගත්ගේ පරණ ආදරයත් මගේ පරණ මිතුරියත් වූ නිසාම නොව, සුගත් සහ මාව ආදරයෙන් බැඳවීමට මූලික පුරුක ඇය වූ නිසාය..

දයාබර මිතුරිය, ඔබට නිවන් සුව ලැබේවා!

*නිමිත්ත :- 2013 වසරේ එක් දිනයකදී මම විශ්ව විද්‍යාලයේ එක්තරා පීඨයක අවන්හලකට වී දිවා ආහාරය ගනිමින් සිටියෙමි. මා සිටි මේසයට අසලින් වූ මේසයේ සිදු වූ සිදු වීමක් පදනම් කරගෙන මෙම කතාව ලිව්වෙමි. කොර ගසමින් පැමිණි දුප්පත් තරුණයෙකු , එම මේසයේ සිටි සුන්දර පොහොසත් පෙනුම ඇති යුවතියකට පාර්සලයක් ලබා දුන් අතර, ඇයගේ යෙහෙලියගේ පෙරැත්ත නිසාම ඇය එය තම දෑතට ගත්තාය.ඔහු එතනින් ගිය පසු ඇය එය කුණු කූඩයට විසි කළාය. එතනින් පසු සිදු වූ කිසිවක් මම නොදනිමි.අදටත් එම තරුණයාත්, තරුණියත්,ඇගේ යෙහෙළියත්  එම පීඨයේ සිටියි. නමුත් තවමත් ඔහු තනිකඩය. ඔහු කෙරෙහි ඇති වූ අනුකම්පාවෙන්, ඔහුව වීරයෙකු කරන අටියෙන් , ඔහුට ජීවය ලබා දීමට මම මගේ තෙළි තුඩින් ඔහුගේ දෛවය මෙළෙස  ලියා තැබුවෙමි. නම් මනඃකල්පිතය.

පින්තූරය :- upload.wikimedia.org