වැස්ස

Share

හිරි පොද වැස්සෙ සීතල බෝඩිමේ වහපු නැති ජනේලෙන් කම්මුල් සිපගන්නකොට මට මගේ පුංචි පැල්පත යන්තම් වගේ මතක් උනා. මේ වගේ වෙලාවක ගෙදර හිටියනම් ගොම මැටි වල සුවඳ විඳගෙන පන් පැදුර උඩට වෙලා දිරපු පොල් අතු අස්සෙන් පේන නිල් අහස දිහා බලාගෙන දාහක් හීන බල බල ඉන්න තිබුන. පොල් අතු දිරල හැදුන  සිදුර කොච්චර ලොකු උනත් මුළු රෑ ම බලන් හිටියත් පුන් සඳ දකින්න බෑ කියල මන් දන්නවා. ඒත් අවාරෙට වගේ පායපු පුංචි තරු කැට දෙකක් තුනක් නම් ලාවට එලිය විහිදුවගෙන මාත් එක්ක හිනා වෙවී ඉන්නව මට අද වගේම මැවිල පේනව. හීන ලෝකෙක අතරමන් වෙලා දන්නෙම නැතුව හිරිකඩත් ඇරල තිබුණු ජනේලෙන් ඇවිත් මහන්සියෙන් ලියපු නෝට් ටික පොඟවන නිසා ඉක්මනට ගිහින් ජනේලෙ වහල ආයෙත් ඇදට පැන්නෙ වැඩක් කරන්න තරම් හිතක් නැති නිසා. හීනියට කෙඳිරි ගාපු වැහිපොද ලතෝනි දීගෙන අද වැටෙන්න ගත්තෙ මගේ හිත අයෙත් මගේ පුංචි පැල්පත ළඟ නතර කරල. දරාගන්න බැරිතරම් වලාකුළු අහසට එනකොට ඒවා වතුර වෙලා ඇද හැලෙන්නෙ ජීවිතේට තවත් එක නිදි නැති රැයක් එකතුකරගෙන. දිරපු පොල් අතු අස්සෙන් වැහි බින්දු එක දෙක වැටෙනකොට වැස්සත් එක්ක පුදුම තරහක් හිතට එන්නෙ. මොහොතකින් දෝරේ ගලාගෙන යන වැහිවතුර හිතට පොඩි සතුටක් ගේන්නෙ හෙට යාළුවොත් එක්ක වැවේ ඔරු පදින්න යන්න පුළුවන් කියල මතක් වෙනකොට. එක පාරටම ගහපු අකුණකින් මගේ දැහැන එක පාරටම බිඳිලා ගියේ මුළු කාමරේම එලිය කරගෙන. හීන බල බල හිටිය ඇති කියල තේරුණා නිසා කාමරේ ලයිට් එකත් එකත් දාගෙන පොතක් අතට ගත්තෙ මේ පාර නිවාඩුවට නම් කොහොම හරි ගමේ යනවමයි කියල හිතාගෙන.