අලුත් අවුරුද්දේ හරි විදිහට අලුත් වෙමු!!

Share

අලුත් අවුරුද්ද අත ලඟටම ඇවිත්. ගහ කොලත් අලුත් මල් ,කොල, පලතුරු වලින් පිරිලා. අපේ විශ්ව විද්‍යාල භූමියත් මීට ටික දවසකට ඉස්සෙල්ලා රොබරෝසියා මලින් සැරසිලා තිබුනා. හැම සරසවියකටම මේ වසන්තයේදී පොදු ඒ සුන්දර දසුන අපේම කියලා  විඳ ගන්න මුල්ම වතාවට මේ බක් මහේදි අපිත් වාසනාවන්ත උනා.

පරිසරය ඒ විදිහට අලුත් වෙද්දි මිනිස්සු හැමොමත් ලහි ලහියේ ගෙවල් දොරවල් පිරිසිදු කරනවා, අලුතින් තීන්ත ගානවා. පහුගිය මාසෙක කාලෙක ඉඳන් ඇඳුම් කඩවල් වල මිනිස්සු පෝලිම් හැදිලා හිටියේ ඇඳුමෙන් පැලඳුමෙන් පවා අලුත් වෙන්න ඕන කියලා හිතන නිසා. ඒ වගේ පුලුවන් පුලුවන් හැම විදිහකටම හැම දේම අලුත් කරගන්න උත්සාහ කරන මිනිසුන් ලෙහෙස්ති වෙන්නේ සූර්යා මීන රාශියේ ඉඳල මේෂ රාශියට සංක්‍රමණය වෙන සුබ මොහොත අති උත්කර්ෂවත්ව සමරන්න.

ඒත් පොඩි ප්‍රශ්නයක්???  අපි මේ සුබ අවුරුද්දේ අලුත් වෙන්න ඕන බාහිරින් විතරද කියන එක, වැඩි දියුනු කරගන්න ඕන අපේ පිට ඔපය විතරද කියන එක අපි හැමෝම හිතල බලන්න ඕන දෙයක්. අපේ වැඩිහිටියෝ කියනවනේ පරණ තරහ මරහ පරණ අවුරුද්දෙම අතැරල නෑදෑකම්, යාලු මිත්‍ර කම් අලුත් අවුරුදෙදි අලුත් කරගන්න ඕන කියලා. භෞතික දේවල් වලින් විතරක් අලුත් වෙන එක හරිම ලේසි දෙයක්. ඒක අපේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර එක්ක සබැඳිලා තියෙන දෙයක් නිසා හැම අලුත් අවුරුද්දකම පුරුද්දට වගේ අපි හමෝම අතින් සිද්ද වෙන පිලිවෙතක්. ඒත් අපි කවදාවත් හිතනවද සිතිවිලි වලින් අලුත් වෙන්න ඕන කියලා. ඒත් අලුත් අවුරුද්දකදි සිදු විය යුතුම දේ සිතිවිලි අලුත් කරගන්න එක.

අලුත් අවුරුද්දේ ඔක්කොම චාරිත්‍ර පිලිවෙලකට නැකතට සිදු කරලා ගනු දෙනු කරන්න බැංකුවට යන අපේ මිනිස්සු පෝලිමෙදි පොඩ්ඩක් ලඟ ඉන්න මනුස්සයා ඇඟේ හැප්පුනත් රවලා බලනව, අශෝබන විදිහට බැනගන්න අවස්ථාත් දුලබ නෑ. බස් එකේදි අමාරුවෙන් හිටගෙන යන ආච්චි කෙනෙක් සීයා කෙනෙක් දැක්කොත් නැගිටලා වාඩි වෙන්න සීට් එකක් දෙනවද, පොඩි බබෙක් වඩාගෙන නගින අම්මා කෙනෙක්ට වාඩි වෙන්න සීට් එකක් ලබෙන්න කොච්චර වෙලා යනවද, හැමොම අහක බලාගන්න ගමන් හිතන්නේ එක අනිත් අයගේ වැඩක් කියලා. පාරේ යන ගමන් ටොෆියක් කෑවොත් කොලේ පාරේම අතරිනවා. පොඩි ලමයි නොදැනුවත් ඒ වගෙ දෙවල් කරන එක සාමන්‍යයි. නමුත් Be Green, towards  a green world කියලා ඉගෙන ගන්න කැම්පස් වල ලොකු ළමයිත් ඒ දේ අනන්තවත් කරනවා. හැමොටම ආදර්ශයක් වෙන්න ඕන පුද්ගලයෝ වැරදි කරද්දි ඒවා බලන් ඉන්න සෙසු පුද්ගලයන් වෙතින් හරි දේ බලපොරොත්තු වෙන්න පුලුවන්ද? ඒ වගේ හැම කෙනෙක්ම වැරදි දේ කරන්න ගත්තොත් අපි අද දැකලා සතුටු වුන රොබරෝසියා මල් වලට පූදින්න හෙට ඒ ගස් වලට මේ  මහ පොලොවේ ඉඩක් නැති වේවි. මිනිස්සු අතර විතරක් නෙවෙයි මිනිස්සු මේ පරිසරය එක්කත් හොඳ විදිහට ගනු දෙනු කරනවා නම් ඒවයේ ප්‍රතිපලත් සොබාදහම විසින්ම නිතැතින්ම අපිට ලබාදෙනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ කොහොමත් සොබදහම හා හිරුත් එක්ක එකට බැඳිලා තියෙන දෙයක්. මේ ගස් වලට පල දරන්න ,වැස්ස ලබාදෙන්න පරිසරයට ඉඩ දෙන්න අපිත් අපේ සහයෝගය ලබාදෙන්න ඕන.

හිතන්න මොලයක් ලැබිලා තියෙන මිනිස්සු විදිහට මේ සමාජයේ බැඳීම් ,සබඳකම් හා එකිනෙකා අතර සන්නිවේදනයන් යහපත් විදිහට වෙන එක රඳා පවතින්නේ සෑම පුද්ගලයෙක් අතින්ම වෙන් වෙන් වශයෙන් ඉටු විය යුතු යුතුකම්  හරි විදිහට සිද්ද උනොත් විතරයි කියන දේ හැම කෙනෙක්ම හිතනවා නම් ලෝකේ මීට වඩා ලස්සන වෙයි. අපි අනිත් අයගෙන් මේ දේවල් බලපොරොත්තු වෙන්න කලින් අපේ කාර්යය හරියට කරලා ඉන්න ඕන.මුලු ලොකේම හදන්න අපිට බැරිවෙන්න පුලුවන්, ඒත් ලෝකේ හැම පුද්ගලයෙක්ම  තම තමන් වෙන වෙනම හැදුනොත් මුලු ලොකේම කිසිම අයාසයකින් තොරව හැදිල තියේවී.

ඉදින් යහපත් සිතිවිලි වලින් අලුත් වුන පැණිම පැණි රස ,සුබම සුබ සිංහල දෙමල අලුත් අවුරුද්දක් වෙන්න කියලා කොලඹ විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨයේ අපිත් ,හැමෝටම සුබ පතනවා!!!