ශ්‍රී ලංකාවේ හමුවන මකුළුවන් “මාරාන්තික විෂ‍ සහිත” ද?

Share

මකුළුවන් යනු ලොව සෑම පරිසර පද්ධතියක ම ජීවත් වන සතුන් කොටසකි. නිවස තුල, ගෙවත්තේ, වනාන්තරවල පමණක් නොව දිය යට මෙන්ම කාන්තාරවල පවා ජීවත්වීමට අනුවර්තනය වූ මකුළුවන් සිටී. මෙසේ විවිධ පරිසර පද්ධතිවල ජීවත් වීමේදී ඔවුන්ගේ විලෝපික ජීවන ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා උදව් වූ ප්‍රබල අනුවර්තනයක් ලෙස විෂ නිපදවීමේ හැකියාව සැලකිය හැක. නමුත් සියළු ම මකුළුවන් විෂ සහිත නොවන අතර විෂ සහිත මකුළුවන්ගෙන් ද බහුතරයක් මිනිසුන්ට සුළු වශයෙන්වත් හානියක් සිදු නොකරයි.

මකුළුවන්ගේ ජීව විද්‍යාත්මක වර්ගීකරණය සලකා බැලීමේ දී බොහෝ දෙනා මකුළුවන් කෘමි වර්ගයක් ලෙස වරදවා සිතා සිටියද සැබවින්ම ඔවුන් කෘමි වර්ගයක් නොවේ. නමුත් මකුළුවන් අයත් වන්නේ කෘමීන් ඇතුළු වෙනත් සන්ධිපාදිකයන් විශාල ප්‍රමාණයක් අයත් වන ආත්‍රපෝඩා වංශයටයි. මෙම වංශයේ සතුන් තවදුරටත් වර්ගවලට (Class) බෙදා ඇති අතර කෘමීන් අයත් වන්නේ ඉන් එක් වර්ගයක් වන ඉන්සෙක්ටා වර්ගයටයි. මකුළුවන්, ගෝණුස්සන්  සහ කිනිතුල්ලන් වැනි සතුන් ඇරැක්නිඩා වර්ගයට අයත් වේ. ඇරැක්නිඩා වර්ගය තවදුරටත් ගෝත්‍ර වලට බෙදා දක්වා ඇති අතර ඉන් Araneae නම් ගෝත්‍රයට සියළුම මකුළුවන් ඇතුලත් කර ඇත. කුළයන් 114කට අයත් මකුළු විශේෂ 45756 ක් මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති අතර සෑම පරිසර පද්ධතියකම පාහේ ඔවුන් දැකගත හැක. මකුළුවන් බහුතරයක් ඉතා කුඩා වන නමුත් ඇතැම් දිවිමකුළුවන් සෙන්ටිමීටර් 10 පමණ දක්වා වැඩේ.

මකුළුවන් විසින් නිපදවන විෂ ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරන  (Neurotoxin) හෝ දෂ්ඨ කල ස්ථානයේ පටක වලට හානි කරන (Necrotic) විෂ ලෙස ප්‍රධාන වර්ග දෙකකට බෙදා දැක්විය හැක. ලොව වඩාත්ම විෂ සහිත යැයි සැලකෙන මකුළු විශේෂ පහෙන් the black widow, Brazilian wandering spider, සහ Sydney funnel web spider යන විශේෂ ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකරන විෂ නිපදවන අතර ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපන වීම හේතුවෙන් හදවතේ පේෂි වලට හානි වීම නිසා හෝ පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපන වීම නිසා මෙම මකුළුවන්ගේ දෂ්ඨ කිරීමකින් පුද්ගලයෙකු මිය යා හැකිය. එසේම Brown recluse spider සහ South African sand spider යන දෙදෙනා දේහ පටක වලට හානි කරන විෂ නිපදවනු ලබන අතර ඇතැම් විට රුධිර සෛල වලට හානි සිදුකිරීම නිසා ඉතා හානිදායක තත්වයන් ඇති වේ. නමුත් මෙම විශේෂ පහෙන් කිසිඳු විශේෂයක් මෙරටදී හමුවන්නේ නැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තත්වය සලකා බැලීමේදී මකුළුවන් පිළබඳව සාමාන්‍ය ජනතාව තුල ඇත්තේ ඉතා අල්ප දැනුමකි. එනිසාම නොයෙකුත් මිථ්‍යා විශ්වාස සමාජගත වී ඇත. ඇතැමුන් සිතන්නේ සෑම මකුළුවෙකුම විෂ සහිත සහ ඉතාමත් හානිදායක බවයි. ශ්‍රී ලංකාවේදි හමුවන මකුළුවන්ගෙන් දිවිමකුළුවන් හැරුණු විට වෙනත් කිසිඳු මකුළුවකු විෂ නැත. ශ්‍රී ලංකාවේ දිවි මකුළු විශේෂ 9ක් වාර්තා වී ඇති අතර ඉන් 8ක්ම අප රටට ආවේනික විශේෂයන්ය.  Chilobrachys nitelinus, Plesiophrictus tenuipes, Poecilotheria fasciata, Poecilotheria ornate, Poecilotheria pederseni, Poecilotheria smithi, Poecilotheria subfusca, සහ මෑතක දී හඳුනාගත් Poecilotheria rajaei යන විශේෂ අප රටේදී පමණක් ස්වභාවිකව හමුවන අතර ඉන්දියාවේදී හමුවන Poecilotheria hanumavilasumica විශේෂයද මෑතකදී උතුරු පළාතෙන් වාර්තා විය (රනිල් නානායක්කාර මහතා විසින් මීට අදාල පර්යේෂණ පත්‍රිකාව 2014 වසරේදී ඉදිරිපත් කරන ලදී.). එසේම Poecilotheria amarasekarai නමින් විශේෂයක් මැතකදී විස්තර කළද එය වෙනම විශේෂයක්ද එසේත් නැත්නම් Poecilotheria rajaei විශේෂයේම වෙනස් රූපාකාරයක්ද යන්න තවමත් තහවුරු වී නැත.  දිවිමකුළුවකු දෂ්ඨ කිරීමෙන් කිසිඳු අවස්ථාවක පුද්ගලයෙකු මිය ගිය බවට වාර්තා නොමැත. දිවිමකුළුවාගේ විෂ සනායු පද්ධතියට බලපෑම් ඇති කරන අතර දෂ්ඨ කල ස්ථානයේ දැඩි වේදනාවක් සමඟින් පේෂි ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති වුවද මාරාන්තික බලපෑම් ඇති නොවේ. එක්සත් ජනපදයේ Burke කෞතුකාගාරයේ ඇරැක්නිඩාවන් පිළිබඳ විශේෂඥයකු වන Rod Crawford මහතා පවසන ආකාරයට දිවිමකුළුවකුගෙන් නිවසේ ඇති කරන සුනඛයෙකුගෙන් තරම්වත් හානියක් නැත. ඇතැම්විට මාධ්‍ය මගින්ද මකුළුවන් පිළිබඳව සාවද්‍ය පුවත් පළකරන අවස්ථා අප දැක ඇත. පසුගිය දිනක එක්තරා ප්‍රමුඛ පෙළේ පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක වෙබ් අඩවියෙහි පළකර තිබු පුවතක එක්තරා දිසාපතිවරයෙකුගේ නිවසක සිටි දිවි මකුළුවෙකු අල්ලා ගැනීම පිළිබඳව සඳහන් කිරීමේදී  “උග්‍ර විෂ සහිත දිවි මකුළුවෙකු” ලෙස යොදා තිබුණි. මාධ්‍ය මඟින් මෙවැනි පුවත් බෙදාහැරීම සැබැවින්ම විශාල වරදකි. මෙසේ නොදැනුවත්කම සහ නොමඟ යැවීම් හේතුවෙන් මිනිසුන් මකුළුවන් දුටු විට ඔවුන් මරා දැමීමට පෙළඹේ. ශ්‍රී ලංකාවේ දිවි මකුළුවන් බහුතරයක් අන්තරායට ලක්වූ විශේෂ වන අතර (ඇතැමුන් දත්ත හීන විශේෂ වන අතර ඔවුන්ද අන්තරායට ලක්වූ විශේෂ වීමට බොහෝදුරට ඉඩ ඇත) මෙවැනි නොදැනුවත්ව සිදුවන ක්‍රියා නිසා මෙම විශේෂ සදහටම වඳවී යාමටද ඉඩ ඇත.

නිසි ලෙස මකුළුවන් හඳුනා ගැනීමට නොහැකි වීමත් ඉතා කණගාටුදායක තත්වයකි. නිවසේ සිටින කිසිදු හානියක් නොමැති පුළුන් කොට්ට මකුළුවා (Heteropoda venatoria) නම් විශේෂය පවා ඇතැම් විට දිවිමකුළුවන් යැයි ඇතැමුන් වරදවා වටහා ගනී. එසේම කිසිඳු හානියක් නොමැති මකුළුවන්ට නෑකම් කියන තවත් ඇරැක්නිඩාවන් කොටසක් වන Amblypigii ගෝත්‍ර‍යේ Whip Scorpion ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන සතුන්ද ඇතැම් විට හානිදායක මකුළු විශේෂයක් යැයි ඇතැමුන් සිතයි. එනිසා පළමුව සතෙකු දුටුවිට නිවැරදිව හඳුනාගැනීම වැදගත් ය.

Amblypigi ගෝත්‍රයටඅයත් Tailless Whip scorpion නම් සත්වයෙක්
Amblypigi ගෝත්‍රයටඅයත් Tailless Whip scorpion නම් සත්වයෙක්

කෙසේවෙතත් මකුළුවෙකු දුටුවිට ඒ දිවිමකුළු‍වෙකු යැයි නිවැරදිව හඳුනාගත්තේ නම් හෝ සැකයක් ඇත්නම් ඒ සතා මරා දැමීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැත. සැබවින් ම කලයුත්තේ වීදුරු බෝතලයක් හෝ කෝප්පයක් තුලට සත්වයා දමාගෙන නිවසෙන් දුර සත්වයාට ජීවත් වීමට සුදුසු වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමීමයි. දිවිමකුළුවන් කිසිඳු අවස්ථාවක ප්‍රවේගකාරී ලෙස මිනිසුන්ට දෂ්ඨ කිරිමට නොපෙළඹෙන අතර ඉතාමත් පහසුවෙන් ඔවුන් නොමරා ඉහත කී ආකාරයෙන් ඉවත් කල හැක. නිසි දැනුමකින් තොරව අනවශ්‍ය ලෙස මෙම සතුන් ඇල්ලීමට යාම සතුන්ට මෙන්ම අපටද අහිතකර විය හැක. පරිසර පද්ධතියේ පැවැත්මට ඉතා වැදගත් මෙම සතුන් වඳ වී යාමට නොදී සංරක්ෂණය කරගැනීම අප සියළු දෙන සතු වගකීමකි.

(Rainer Foelixගේ Biology of Spiders සහ රනිල් නානායක්කාරගේ An introduction to common Spiders of Sri Lanka යන ග්‍රන්ථ සහ Researchgate වෙබ් අඩවියේ පළවූ රනිල් නානායක්කාර මහතාගේ පර්යේෂණ පත්‍රිකා ඇසුරිණි.)

Salticidae කුළයට අයත් පිනුම් මකුළුවෙක් (A jumping spider)
Salticidae කුළයට අයත් පිනුම් මකුළුවෙක් (A jumping spider)
The giant wood spider (Nephila pilipes)
The giant wood spider (Nephila pilipes)

 

 

 

 

 

 

 

 

By Tharaka Wijerathna