පරාගනයට දායකවන සතුන් අතරින් සමනලුන්ට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී තැනකි. ඔවුන් ගෙවත්ත අලංකාරවත් කරනවා මෙන්ම අපගේ මනසටද සහනයක් ගෙනෙන සත්ව කාණ්ඩයක් ලෙස සැලකිය හැකිය. Talicada nyseus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන Red Pierrot හෙවත් රතු පියරෝවා ද එවැනි අලංකාරවත් සමනල විශේෂයකි.

දේහ ලක්ෂණ

රතු පියරෝවාගේ අත්තටුවල ඉහළ පෘෂ්ඨය (එනම් අත්තටු විහිදා සිටින විට) කළු පැහැයක් ගන්නා අතර පසුපස පියාපත් යුගළය තැඹ්ලි පැහැතිය. පියාපත්වල යටි පෘෂ්ඨය දේහයට ආසන්නව සුදු පැහැයකුත් අග කෙළවර ආසන්නයේ කළු සහ තැඹ්ලි ලෙස වෙන්වූ පැහැයන්ගෙනුත් යුක්තවන අතර මෙලෙස පවතින සුදු කලාපයේ කළු පැහැ පුල්ලි සලකුණුත් අනෙක් කලාපවල සුදු පැහැ පුල්ලි සලකුණුත් විසිරී පවතී. දේහය සුදු පැහැති වන අතර එහි කළු පැහැ වලලු රටා දැකිය හැකිය. දේහ ප්‍රමාණය ගත් කළ කුඩා ප්‍රමාණයේ සමනලුන් (එනම් සෙන්ටිමීටර 3 – 5 අතර) ගණයේලා සැලකිය හැකිය.

රතු පියරෝවා පැති පෙනුම
පිංතූරය 01 – රතු පියරෝවා පැති පෙනුම
රතු පියරෝවා ඉහළ පෙනුම
පිංතූරය 02 – රතු පියරෝවා ඉහළ පෙනුම

ව්‍යාප්තිය හා වාසස්ථාන


රතු පියරෝවා ගිණිකොණ හා දකුණු ආසියාව පුරා විසිරී පවතින අතර ශ්‍රි ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය සැලකූවිට ගෙවතු පරිසරවල ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකි අතර වනාන්තරවල නම් ගල්තලා ආශ්‍රිතව හොඳ ව්‍යාප්තියකුත් දකින්නට හැකිය.

දිවාචර සත්ව විශේෂයක් වන මොවුන් විශේෂයෙන්ම සන්ධ්‍යාභාගයේ අඳුර වැටෙන අවස්ථාව දක්වා ක්‍රියාශීලී වේ. පොළවට ඉතාම ආසන්නයේ පියාසර කරයි. වැඩිවශයෙන්ම පදුරු හා තෘණ වැස්මක් සහිත එලිමහන් බිම් වල වාසය කරනමුත් හිරු එළිය සහිත් විවෘත බිම්වල කිසිසේත්ම පියාසර කිරීමක් සිදු නොකරයි.

අක්කපානවල වැදගත්කම

රතු පියරෝවා පෝෂක ශාකය ලෙස භාවිතා කරන්නේ අක්කපාන ශාකය පමණයි.
පිංතූරය 03 – අක්කපාන ශාකය

සමනලුන් පිලා අවධියේ එනම් දළඹුවා අවස්ථාවේදී ආහාරයට ගන්නා ශාකය බොහෝවිට සමනල් විශේෂයෙන් විශේෂයට ආවේණික වේ. රතු පියරෝවාද එවැනිම සමනලයෙක් වන අතර පෝෂක ශාකය ලෙස භාවිතා කරන්නේ අක්කපාන ශාකය පමණයි.

පිරිමි සතකු සමඟ සංසර්ගයේ යෙදුනු ගැහැණු සත්වයා වරකට එක් බිත්තරයක් අක්කපාන ශාක පත්‍රයක් මත හෙලයි. මෙයින් පිටතට පැමිණෙන පිලවා අක්කපාන පත්‍රය තුළ එනම් පත්‍රයේ උඩු හා යටි පෘෂ්ඨයන්ට අතරමැදිව පිහිටන මාංශලමය පටක කොටසේ හිඳිමින් එම පටක කොටස් අහාරයට ගනී. මෙලෙස පත්‍රය තුළම හිඳීම මගින් එම සත්වයාට ආරක්ෂාවක්ද සැලසේ. මෙලෙස ආහාරයට ගත් ප්‍රදේශ සහ ගමන් කළ මාර්ගය ලා පැහැති කලාප ලෙස ආලෝකයට ඇල්ලූවිට හොඳින් ඔබට නිරීක්ෂණය කළ හැකිය. මෙලෙස අක්කපාන පත්‍රය ආහාරයට ගනිමින් සිටියදී පටක කොටස් අවසන් නම් එම ශාකයේම වෙනත් පත්‍රයක් තුළට ගොස් සිය ආහාර භුක්තිය නැවත ආරම්භ කරයි. මෙලෙස පිලා අවධිය සාමාන්‍යයෙන් දින් 14ක් පමණ ගත කොට නැවත පිටතට පැමිණෙන්නේ කෝෂ අවස්ථාව ගත කිරීමටයි. එහිදී අක්කපාන පත්‍රයේ යටි පැත්තේ බූව වැනි වියුහ සහිත කෝෂයක් සාදාගනී. මෙය සැලකිය යුතු තරම් ශක්තියකින්ද යුතු වන අතර එහි ආකෘතිය අනෙකුත් සතුන් භියට පත්කිරීමට සමත්ය. කෝෂ අවධිය සාමාන්‍යයෙන් දින 4-6 ක් වැනි කාලයක් වන අතර එම වේශාන්තරණ කාලයෙන් පසු සුහුඹුල් සමනලයෙක් මෙලොව සිය ප්‍රථම පියාසැරිය අරඹයි.

අක්කපාන පත්‍රය තුළ සිටින රතු පියරෝවා පිලවා
පිංතූරය 04 – අක්කපාන පත්‍රය තුළ
සිටින පිලවා.
අක්කපාන පත්‍රය ආලෝකය දෙසට යොමුකළ විට නිරීක්ෂණය වන රතු පියරෝවා පිලවා සිටින ස්ථානයක්
පිංතූරය 05 – අක්කපාන පත්‍රය ආලෝකය
දෙසට යොමුකළ විට නිරීක්ෂණය වන
පිලවා සිටින ස්ථානයක්.

වැඩිහිටි රතු පියරෝවා පැතිලි පෙති සහිත පුෂ්පවල පැණි ආහාරයට ගන්නා අතර සමූහ වශයෙන් නොවන මඩ තැපීම ද සිදු කරයි. ඇතැම් ලයිකන විශේෂ මතද ඔවුන් යැපේ.

අක්කපාන පත්‍රය මත සෑදූ කෝෂයක්
පිංතූරය 06 – අක්කපාන පත්‍රය මත සෑදූ කෝෂයක්.
අක්කපාන පත්‍රය මත සෑදූ කෝෂයක්
පිංතූරය 07 – අක්කපාන පත්‍රය මත සෑදූ කෝෂයක්.
ශුණ්ඩාව දිගුනකාට පැණි බොන වැඩිහිටි රතු පියරෝවෙක්
පිංතූරය 08 – ශුණ්ඩාව දිගුනකාට පැණි බොන වැඩිහිටි රතු පියරෝවෙක්.

තර්ජන


කොණ්ඩ කුරුල්ලා, කහ කුරුල්ලා, පාන්කිරිත්තා වැනි කුඩා පක්ෂීනුත්, කටුස්සනුත් මොවුන්ට ඇති ස්වභාවික සතුරන් වේ. නාගරීකරණය නිසා පෝෂක ශාකය වන අක්කපාන දුලබ වීම මිනිසා විසින් මොවුනට ඇතිකරන තර්ජනයි.

Written By:

Pasindu Rajapaksha W.M.D.A.L.B. Tilakaratna
3rd Year Undergraduate (Molecular Biology and Biochemistry Honors),
Department of Chemistry,
Faculty of Science,
University of Colombo.

Reference:
  • Jayasinghe H.D.,2015, Common Butterflies of Sri Lanka, 2019
Image Courtesy:

2 Comments

Susanthā Dasanayaka · June 17, 2021 at 6:59 pm

Nice

Kushlani Deshapriya · June 17, 2021 at 8:30 pm

Nice work Pasindu?

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *