හරිත වර්ණයෙන් හැඩවුණු ගහකොළ, පොළෝ තළය මතින් ගලන ජලධාරා, තෙරක් නොපෙනෙන මහා සාගරය, කඳු ශීඛර වලින් සමන්විත සශ්‍රීක ප්‍රදේශ, කනට මිහිරි නාද රටා මවන නේක වර්ණ පක්ෂීන්, ජෛවවිවිධත්වයෙන් අනූන වනාන්තර සහ ඔබ මොබ සැරිසරන සතා සිවුපාවුන් ආදී ස්වභාවික සුන්දරත්වයෙන් අනූන අපගේ සිරිලක් දිවයින ඉන්දියන් සාගරයෙන් වටවුණු පුංචි පාරාදීසයක් වැනිය. එය ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැදින්වෙන්නේද ලොවක් මනබැඳි අපූරු සුන්දරත්වයක් එය සතුව පවතින බැවින් විය හැකිය.

මෙවැනි වූ සුන්දරත්වයකට හිමිකම් කියන්නට අපි වාසනාවන්ත වුවද අපගේ නොමනා ක්‍රියාකාරකම් නිසාම ජෛවවිවිධත්වයෙන් අනූන අපගේ පරිසර පද්ධති වලට ඇති බලපෑමද මෙතෙකැයි කියා කිව නොහැකි තරම්ය. එබැවින් අපගේ උරුමය ආරක්ෂා කරගැනීමේ මූලික පරමාර්ථය ඇතිව 1949 වර්ෂයේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙරට ස්ථාපිත කර ඇත. අප රටේ පවතින වනජීවි සම්පත් සංරක්ෂණය කිරීමේ මූලික කාර්යභාර්‍ය් එය සතුව පවතින අතර එම කර්තව්‍යය නිසියාකාරව සිදු කිරීමේ බලතල හිමිවන්නේ වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීන්ට සහ අඩවි වන නිලධාරින්ටය ( Wildlife rangers and Forest Rangers ).

අඩවි ආරක්ෂක නිලධාරින්, මිහිමවගේ ජීවය චිරාත්කාලයක් පවතීවායැයි අපේක්ෂාවෙන් ඒ වෙනුවෙන් තම දහඩිය, ශ්‍රමය, මහන්සිය කැපකරන තවත් විටෙක ජීවිත පූජාවෙන් හෝ එය රැක ගැනීමට පසුබට නොවෙන අභීත විරුවන් ලෙස කිව හැකිය.

මෙම අඩවි ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන්ගේ රාජකාරිය මනා කලමණාකාරිත්වයකින් සිදුකර ගැනීමට වනජීවි ආරක්ෂිත ප්‍රදේශයන් පවත්වා ගෙන යන අතර එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 13% ක් පමණ වේ. වනජීවි සම්පත් ආවරණය වන පරිදි හා ඒවායේ දිගු කාලීන පැවැත්ම තහවුරු වන පරිදි මෙම රක්ෂිත ජාලය පවත්වා ගෙන යනු ලැබේ. එම ජාලය තුළ විවිධ සංරක්ෂණ මට්ටම් යටතේ රක්ෂිත ප්‍රකාශයට පත් කර ඇත. තවද වනජීවි රක්ෂිත කලාපයේ ඇති වනජීවි රක්ෂිත තුලදී, ආගමික හා සංස්කෘතික වශයෙන් වටිනාකමක් ඇති උරුමයන් ආරක්ෂා කිරීම, ආවේණික හා දුලබ සත්ත්ව විශේෂ මෙන්ම සුවිශේෂි පරිසර පද්ධති ආරක්ෂා කිරීමද සිදු වේ. තවද රක්ෂිත වලින් බැහැර ප්‍රදේශ වල සිටින සත්ත්ව විශේෂ වල ආරක්ෂාව තහවුරු කිරීමද අඩවි ආරක්ෂක නිලධාරින් මගින් සිදු වේ.

වනජීවි රක්ෂිත ආශ්‍රිතව සංචාරක කටයුතු ද සිදු වෙමින් පවතී. මින්නේරිය, කවුඩුල්ල, යාල, හෝර්ටන් තැන්න වැනි තෝරාගත් ප්‍රදේශ වල සංචාරක කටයුතු සිදු වන අතර එම ප්‍රදේශ නඩත්තු කිරීම, මාර්ග වැනි යටිතල පහසුකම් සැපයීම හා වෙනත් පහසුම්කම් සැපයීම මගින් සංචාරකයන්ගේ ආකර්ෂණය අඛණ්ඩව රඳවා ගනිමින් එම සියලු කටයුතු කළමනාකරණය කරමින් පවත්වාගෙන යාමට අඩවි ආරක්ෂක නිලධාරින් සමත්ය. සාමාන්‍යයෙන් ඔවුන් සංචාරකයන්ට මඟ පෙන්වීමේ ක්‍රියාවලියට දායක නොවන නමුත් ක්‍රියාකාරී අඩවි ආරක්ෂක නිලධාරියෙක් එම ක්‍රියාවලියටද තම සහයෝගය ලබාදෙයි. මෙලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මගින් ජාතික ආර්ථිකය නගා සිටුවීමට ඔවුන් දායක වේ.

නීතිවිරෝධී අයුරින් ලඟ තබා ගත් ඇල්බිනෝ ඉබ්බෙකු අඩවි ආරක්ෂක නිලධාරීන් විසින් මුදාගත් අවස්ථාවක්.
පින්තූරය 01 – නීතිවිරෝධී අයුරින් ලඟ තබා ගත් ඇල්බිනෝ ඉබ්බෙකු මුදාගත් අවස්ථාවක්.

එමෙන්ම ව්‍යාපෘති සැලසුම් කිරීමෙහිලා ඔවුන් දක්වන්නේ මහත් වූ දක්ෂතාවයකි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ වල දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීමට දැනටමත් ඔවුන් විශේෂ ව්‍යාපෘති සැලසුම් කර අවසන්. සාමාන්‍ය ජනතාව, රාජ්‍ය නිලධාරීන්  හා වෙනත් කණ්ඩායම් වල දායකත්වය සංරක්ෂණ කටයුතු වෙනුවෙන් යොදවා ගැනීමට වනජීවි සංරක්ෂණ අධ්‍යාපනික වැඩසටහන් සැලසුම් කරමින් පවතී. මෙවැනි වූ සැලසුම් අනාගතය සදහා වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය.

ජාතික වනජීවි පනත හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල අඩවි ආරක්ෂක නිලධාරින් සතු වන අතර වනාන්තර තුල නීතිවිරෝධි ක්‍රියා කරන්නන් අත් අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කිරීමේ සම්පූර්ණ බලතලද ඔවුන් වෙත ලබා දී ඇත. එනම් මෙවැනි අවස්ථාවලදි ඔවුන් සාම නිලධාරින් ලෙස කටයුතු කරන බව කිව හැකිය.  තවද ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ වල ජාත්‍යන්තර වෙළඳාම පිලිබඳ සම්මුතිය (CITES) , තෙත් බිම් පිලිබඳ සම්මුතිය (Ramsar)  හා සංක්‍රමණික සත්ත්ව විශේෂ වල සංරක්ෂණය පිලිබඳ සම්මුතිය ( CMS – Bonn ) යන සම්මුති ක්‍රියාත්මක කිරීම සඳහා අධිකාරි බලයද ඔවුන් සතුව පවතී.

ස්වභාවික සම්පත් සංරක්ෂණ අරමුණු ඇති වෙනත් ආයතන සමඟද අන්‍යොන්‍ය අවබෝධයෙන් හා සහයෝගයෙන් කටයුතු කිරීම මගින් සංරක්ෂණ ක්‍රියාවලිය තවත් ශක්තිමත් කර ගැනීමට ඔවුන් උපායශීලි වී ඇත. සමස්ත ලංකා වනජීවි අඩවි ආරක්ෂක නිලධාරීන්ගේ සංගමය, දැනට වැඩිම අඩවි ආරක්ෂකයන් ගණනක් සාමාජිකත්වය දරන වෘත්තීය සමිතියයි. එය ඔවුන් තම සේවය රට වෙනුවෙන් යෙදවීමට කණ්ඩායමක් වශයෙන් එකතු වීමක් නිරූපණය කරයි.

ශ්‍රී ලංකාවේ දකුණුදිග ප්‍රදේශයේ අලියෙකුට, අඩවි ආරක්ෂක නිලධාරීන් විසින් ප්‍රතිකාර කරනා අවස්ථාවක්.
පින්තූරය 02 – ශ්‍රී ලංකාවේ දකුණුදිග ප්‍රදේශයේ අලියෙකුට, අඩවි ආරක්ෂක නිලධාරීන් විසින් ප්‍රතිකාර කරනා අවස්ථාවක්.

මේ ආකාරයට අඩවි ආරක්ෂක නිලධාරින් විසින් මහත් වූ සේවාවන් රැසක් සිදු කරන  අතර එය ඔවුන්ට ලැබෙන වැටුපට කිසි විටෙකත් සම කල නොහැක්කකි. මන්ද ඔවුන් කරනා සේවය මිලක් නියම කල නොහැකි තරමට විශිෂ්ට එකක් වන බැවිනි. ඔවුන් තම සේවා කාලය අතරතුර කෙතරම් අත්දැකීම් ලබා ගන්නවාදැයි පැවසුවහොත් ඒ හා සමානව අභියෝග රැසකටද ඔවුන් මුහුණ පා ඇත. රැකියාවකට එහා ගිය සේවාව තුලින්, පුද්ගලයෙක්ට පහසුවෙන් ලඟා විය නොහැකි ස්ථාන වලට පවා ගමන් කිරීමට හැකිවීම තුලින්, තම රැකියාව පිළිබඳ මහත් ගෞරවයක් මෙන්ම සියුම් ආඩම්බරයක්ද ඔවුන්ට නිතැතින්ම ඇති වනවාට නම් සැක නැත. තව පැත්තකින් බැලූ කල වෙනත් පුද්ගලයන්ට ලෙහෙසියෙන් දරා ගත නොහැකි අභියෝග රැසකට මුහුණදෙන්නට සිදුවන බැවින් බැලූ බැල්මට මෙය අසීරු රැකියාවක් බව පෙනීයයි.

බොහෝවිට වනාන්තර තුළදී වන අලි තර්ජනවලට මුහුණදීම සුලබ සිදුවීමක් වන අතර එම අවස්ථාවලදී ඔවුන්ට තම ජීවිතෙන් පවා වන්දි ගෙවීමට සිදුවන අවස්ථා ද ඕනෑතරම්ය. එම අවස්ථාවලදී මියගිය පුද්ගලයාගේ පවුල වෙනුවෙන් රජය ලක්ෂ 5ක වන්දි මුදලක් ද ලබාදීමට කටයුතු කරයි. සාමාන්‍යයෙන් වන අලි ප්‍රහාරයක් හෝ වෙනත් එවැනි බලපෑමක් නිසා වසරකට අඩවි ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු මියයන බවට දැනට ඇස්තමේන්තු කර ඇත. වෙනත් කිසිදු රාජ්‍ය සේවයක මෙවැනි තත්වයක් නොපවතින බැවින් මෙය කෙතරම් අභියෝගාත්මකදැයි ඔබට මනාව වැටහේ. ඊට අමතරව අනවසර වගාකරුවන් හා දඩයක්කරුවන්ගේ තර්ජන හමුවේ වුවද නොබියව තම රාජකාරිය අකුරටම ඉටුකිරීමට ඔවුන් සමත්ව ඇත. මේ ලෙසට අභියෝගාත්මක ජීවන වෘත්තියක නියැලෙන ඔවුන් වෙනුවෙන් රජය විසින් අග්‍රහාර රක්ෂණයක් ද පවත්වාගෙන යයි.

අඩවි ආරක්ෂක නිලධාරින් සේවයට බඳවා ගැනීමේදි උසස්පෙළ ජීවවිද්‍යා අංශයෙන් සමත්ව තිබීම විශේෂ සුදුසුකමක් වන නමුත් එය අත්‍යාවශ්‍ය නොවේ. දැනට කොලඹ විශ්ව විද්‍යාලය හරහා ප්‍රදානය කරනු ලබන ඩිප්ලෝමා පාඨමාලාව සාමාන්‍යයෙන් සමත් විය යුතුය. තවද ක්‍රීඩා සුදුසුකම් හා කැඩෙට් හැකියාවන් පැවතීම විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලබයි. සාමාන්‍යයෙන් රැකියාවට නවකයන්ගේ හොඳ ඉදිරිපත්වීමක් දැකිය හැකි නමුත් රැකියාවේ අසීරුබව දරාගෙන රැදීසිටින පිරිස සීමිත වේ.  නමුත් එය සැලකිය යුතු අගයක් බව කිව හැකිය.

සේවයට බඳවාගැනීමෙන් අනතුරුව, ඉතුරු පුහුණුවීම් කටයුතු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ලබාදෙන අතර නීතිපති දෙපාර්තමේන්තුව මගින් නීතිමය පැහැදිලි කිරීම් හෙවත් අධිකරණ පුහුණුවීම් ලබාදෙයි. සාමාන්‍යයෙන් එලෙස සේවයට බඳවාගන්නා නවකයන් ප්‍රධාන නිල මට්ටම් 2ක් පසුකර අවසානයේදී අඩවි ආරක්ෂක නිලධාරි තනතුර හිමිකරගනු ලැබේ. එම නිල මට්ටම් තුන; වනසත්ත්ව නියාමක, අඩවි සහයක හා අඩවි ආරක්ෂක ලෙස වේ. එක් මට්ටමක සිට ඊට ඉහළින් ඇති අනිත් මට්ටමට ගමන් කිරීමට අවුරුදු 10ක සේවා කාලයක් සපුරා තිබීම අනිවාර්යය වේ. මේ අනුව අඩවි ආරක්ෂක නිලධාරිවරයෙක් යනු දැනුම හා අත්දැකීම් සහිත පරිණත පුද්ගලයෙක් බව පෙනේ.

ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ #SMARTcnsvtools සඳහා පුහුණු ධාරිතාව වර්ධනය කිරීම
පින්තූරය 03 – ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ #SMARTcnsvtools සඳහා පුහුණු ධාරිතාව වර්ධනය කිරීම.

අද වනවිට තාක්ෂණයත් සමග මුසු වී පවතින බැවින් දත්ත, තොරතුරු හා සාක්ෂි එකතු කරගැනීම පහසුවන අතර මෙය වනජීවි සම්පත් වල විද්‍යාත්මක කළමනාකරණයට ඉවහල් වේ යැයි කිව හැකිය. මෙලෙස දත්ත හා තොරතුරු රැස් කරගැනීම මගින් පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීමේ කාර්යය ද අඩවි ආරක්ෂකයන් විසින් මනාව සිදුකරගෙන යන බව පෙනේ.

මිහිමවගේ දරුවන් ලෙස ඉපද මිහිමවට ගරහන සමාජයක, මිහිමවගේ හුස්ම පොද රැකීමට තම හුස්ම පවා කැපකරන අඩවි ආරක්ෂක නිලධාරින් දෙවිවරුන්ට සම නොවන්නේද? වැටුප සම්බන්ධයෙන් පවා උද්ඝෝෂණ කරන බහුතරයක් අතර, ලැබෙන මුදල සතුටින් භාරගෙන තම උපරිම සේවාව රටට සපයමින් අපේ උරුමය ආරක්ෂා කිරීමෙන් පමණක් වුවත් තෘප්තිමත් වන මේ නිල දරුවෝ සැබැවින්ම උත්තමාචාරය හිමිවියයුතු ශ්‍රේෂ්ඨ පුද්ගලයන් පිරිසක් නොවන්නේද? එබැවින් ඔවුන්ගේ මෙම මහඟු සේවාව ඇගයීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්වය නඟා සිටුවීමට හැකි උපරිමය සිදුකිරීම බලයලත් පුද්ගලයන් ඇතුළු අප සැමගේම යුතුකමකි. වගකීමකි. ඉතින් ඔවුන් ස්වභාවධර්මයට කරනා සේවයට ඔබගෙන් සැලකියයුතු දායකත්වයක් ලැබෙන්නේදැයි හදවතට තට්ටු කර සිතා බැලිය යුතු කාලයයි මේ. කාටවත් දොස් නොනගා අපේ උරුමය රැකගැනීමට අපි කැපවෙමු. ඔවුන්ට සහය වෙමු. ඔවුන්ව රැකගනිමු.

Written By:

K.T.D. Nuwani Nadeeshani
1st year Undergraduate,
Biological Science,
Faculty of Science,
University of Colombo.

සැදහුම්:
  • Ministry of Wildlife and Forest Conservation. (2020). Ministry of Wildlife and Forest Conservation. https://msdw.gov.lk/home/
තොරතුරු:
  • වන සත්ත්ව අඩවි ආරක්ෂක – W. A. මහින්ද විජයසිංහ මහතා
  • වන සත්ත්ව අඩවි ආරක්ෂක – සමන් ලියනගම මහතා
Image Courtesy:

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *