සදාකාලික සෙවණ

Damithri 0 Comments

මම වයසින් අවුරුදු විස්සක් වෙන්නැති ඒ වෙද් දී, අපේ අම්මා මට කීවා “ලොකු දූ අද මගෙත් එක්ක සති පොළට ගිහින් එමු ද?” කියලා. ඉතාමත් ම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් නිසා බැහැ නොකියා මම එක පයින් ම “හරි අම්මා” කීවා.

සති පොළ තමයි මට නැති බැරි කම් ගැන ජීවිත පාඩම කියාදුන්න තැන. මම මගේ අම්මගේ පිරිසිදු ලස්සන ඔසරියත් එක්ක අම්මාගේ ඇඟේ හැප්පි හැප්පී එහා මෙහා ගිය අනිත් අම්මලාගේ කිළිටි වෙච්ච රෙද්ද හැට්ටා සන්සන්දනය කළා. අම්මගේ කකුල් දෙකේ තිබුණ හරීම ලස්සන සෙරෙප්පු කුට්ටමත් එක්ක කුණු වැදුණු කකුල් වල තිබුණ කැඩුණු සෙරෙප්පු සන්සන්දනය කළා. අපේ අම්මා විවිධ එළවළු කිලෝ ගණනින් මිලදී ගනිද්දී අපිට වඩා ලොකු පවුල් තිබුණ අය කේවල් කර කර අඩුවෙන් මිලදී ගත්ත හැටි මට අද වගේ මතක යි. මම ඒ හැම දෙකින් ම ඉගෙන ගත්තා ජිවිතේ කියන්නේ නැති බැරි අඟ හිඟ පිරුණු තැනක් කියලා. මගේ අම්මා පොළේ හිටිය හැම වෙළෙන්දෙක්ට ම “මහත්තයා” කියලා කතා කළා. ඒ විදිහට ම “අපේ මහත්තයා” කියලා අපේ අප්පච්චීට කතා කළා. මම ඉගෙන ගත්තා මිනිසුන්ට ගරු කරන්න, සීමා විරහිතව. සති පොළ මට හිතවත්වූ නිසා ම, අවස්ථාව මග හැරෙන්නට නොදී හැකි ඉක්මණින් සූදානම් වුණා පොළට යන්න.

උඩරට ඔසරිය, ගෙඩි මාලේ අගස්ති ඇට තෝඩු, අම්මගේ ලස්සන වචනයෙන් කියලා ලියලා ඉවර කරන්න අමාරුවුණා. මම පුරුදු විදිහට ළමා සාරියක් ඇඳලා කොණ්ඩ කරල් දෙකක් ගොතලා අම්මා ළඟින් ම ඉඳගෙන හිටියා බබානිස් සීයා එනකල් පාරදිහා බලාගෙන. බබානිස් සීයා හරීම කරුණාවන්ත කෙනෙක්. මගේ අම්මා වගේ ම යි.

අම්මා ඇඳි පුටුවෙ වාඩිවෙලා පොකට් පර්ස් එකේ තිබුණ කාසි ගැණ ගැණ හිටියා. අප්පච්චි හාන්සි පුටුවේ වාඩිවෙලා ඇස් දෙකත් පියාගෙන නිවී සැන්සිල්ලේ නිදාගෙන හිටියා.

විනාඩි දහයක් විතර ගත වෙන්න ඇති. බබානිස් සීයා ටැන්ටු කරත්තෙ ගොන්නු දෙන්නා දක්කාගෙන ආවා. අපි ගිහින් එන්නම් “අපේ මහත්තයා” කියලා අපේ අම්මා මගේ අතත් අල්ලගෙන පොළට යන්න පිටත්වුනා.

පුරුදු විදිහට ම අප්පච්චී “හ්ම්ම්ම්” කියල උත්තර දුන්නා.

මම හරීම කැමැත්තෙන් ටැන්ටු කරත්තෙට ගොඩ වුණා පොළට යන්න. වල ගොඩැලි මුකුත් ම තිබුණෙ නැති පාරක අපි සන්සුන් මනසින් ගමන් කළා. ඒ ගමන ගතට සහ හිතට ගෙනාවේ සතුටක් ආශ්වාදයක්. අපි විනාඩි පහළවක් විතර ගමන් කරන්න ඇති. අම්මා එක පාරටම කීවා, “බබානිස් අපි අද පොළට යන්න කළින් වෙන ගමනක් යන්න ඕනා. මේ ළඟ පාත තියනවා පැළ තවානක්, එතන එක එක විධි වල මල් පැළ තියනවා. මට මල් පැළයක් අරගෙන දෙන්න ඕනා ලොකු දූට ඒ නිසා ඉස්සරහ තුම්මන් හන්දියෙන් පාර අහගෙන අපි සිරිපාලගේ මල් තවානට යමු” කියලා.

මට හිතා ගන්නවත් බැරි වුණා මේ හදිස්සියේ අපේ අම්මා මට මල් පැළයක් අරගෙන දෙන්නේ ඇයි කියන කාරණාව. මම ඒ නිසා ම වෙන්නැති අම්මගෙන් අහන්න ඇත්තේ “මට මොකටද අම්මා මල් පැළයක්”. උත්තරයක් නුදුන්න අම්මා මගේ දිහා හිනා වෙලා බැලුවා…………..

විනාඩි කීපයකින් අපි ඒ මල් තවානට ලඟා වුණා. මාව කරත්තෙන් සීරුවෙන් බස්සා ගත්ත අම්මා ආදරෙන් මගෙ අතත් අල්ලගෙන ඒ මහා විසාල මල් තවානට ඇතුළට ම ගියා. ඇත්තට ම ඒ තවාන පිරිලා තිබුණා එක එක ජාතියේ පැල වර්ග මගේ දිහා බලලා හිනා වුණා අම්මා කිව්වා “මගේ දුව දුවට කැමති ඕනෑ ම වර්ගයක පැළයක් තෝරා ගන්න. පුංචි පැළේ මහා විසාල ගහක් වෙනකල් පොහොර වතුර දාලා ඒ ගහ ලොකු කරගන්න. නියඟ ඒවී. වැස්සට මුල් කුණු වේවී. සතුන් ඒවී කොළ ටික කාල යන්නට යාවී ඒත් දවසක පුංචි පැලේ විසාල ගහක් වේවී.”

මම අම්මගේ මූණ දිහා බලලා ඈතින් ඈතට ගියා මගේ හිත ගන්නා මොකක් ම හරි පැළයක් තෝරාගන්න. මට හිතුනේ මම මහා ගස් ගොඩක් මැද්දේ තනිවුණා වගේ. හැම පැත්තෙ ම මල් ගස්. පළතුරු ගස්. අනේ මන්දා… මට ඔක්කොට ම හිතයි. ඒ නිසා මම පැළ වර්ග කීපයක් ම තෝරාගෙන ගියා අම්මා ළඟට.

අම්මා කීවා “එක පැළයක් තොරාගන්න දූ” කියලා. ඔක්කෝ ම පැළ වලට හිත ගිය නිසා ම මම එක පැළයක් වත්  නොගන්නට තීරණය කළා.

එත් මම හදිසියේ ම දැක්කා තවානෙන් පිට අපේ අම්මා උන්න හරියේ තිබුණා, කිතුල් ගහක් වෙටේ එතුන මහා විසාල වැලක්. ඒ වැලේ තිබුණා. පාට පාට ඇට පිරුණු කරල්. හරී ම ලස්සන යි. මම ඈත ඉඳලා කෑගහලා කීවා “මට අම්මේ අම්මත් එක්කම තියන වැලෙන් පැළයක් අරගෙන දෙන්න කියලා” එක ඇහුණ බබානිස් සීයා හිනා වෙන්න පටන්ගත්තා “ලොකු බබා ඒ ගම්මිරිස් වැලක් නොවැ” කියලා.

කරුණාවන්ත අම්මා අදහස් නොකියා ම මට මා ඉල්ලූ වස්තුව මිලදී ගත්තා.

මම එදා ගෙදර ගියේ මට ලෝකේ තිබුණ වටිනා ම වස්තුව ලැබුණ සතුටින්. මම එදා ම ගෙදර ගිහින් බබානිස් සීයට කිව්වා මට පුංචි වලක් කපලා දෙන්න කියල ගම්මිරිස් වැල සිටුවන්න.

මට ලැබුනු ඉතාමත් ම වටිනා වස්තුව මහා විශාල වැලක් වී ඵල දරනු දකින්නට මම දැඩිසේ ඇලුම් කලා. ඉතාමත් සන්සුන්ව මම සිතන්නට පටන්ගත්තා මා මේ ගම්මිරිස් වැල කොහේ කොතනක සිටුවන්නද කියලා.

බබානිස් සීයා මගෙන් ඇහුවා කොතන ද සුදු මැණිකේ මම වලක් කපලා දෙන්න ඕනා කියලා.

මම කීවා වත්ත පහළ තිබුන වතුර වල ළඟින් මට වලක් කපලා දෙන්න කියලා. මොකද ඒ පුංචි දවස් වල මගේ මතකයට ආවේ ගහක් හරි වේවා වැලක්  හරි වේවා සුවිසල් ගසක් හරි වැලක් වන්නට අවශ්‍ය කරන්නේ දිය සීරාවක් පමණ යි කියලා.

ඒ මඩ වල ලඟ තිබුනා ගහක් මම ඒ දවස් වල ඒ ගහ දැක්කේ මහා විශාල කලුවර ගහක් වගේ.

මට මතක යි බබානිස් සීයා හිනාවුණා මඩ වලක ගම්මිරිස් හිටවනවා දැක්කම යි කියලා. මම මගේ යටි හිතින් හිතුවා මඩ වලත් මගේ නම් පැළෙත් මගේ නම් බබානිස් සීයාට අරුමයක් වෙ ද කියලා. වලත් හාරලා පැළෙත් සිටුවලා ඒ ලඟින්ම පුන්චි කෝටුවක් හිටෙව්වා වැලට ආධාරකයක් විදිහට.

දවස් දෙක තුනක් යද්දී හරීම ලස්සනට පුංචි පැළේ පුංචි කොළ දළු එක එක මතු වෙන්න පටන් ගත්තා. මට දැණුනු සතුට ඉවරයක් නැති එකක් වුණා. ඒත් අපේ අම්මා මගේ දිහා බැලුවේ අනුකම්පාව පිරුණු මුහුණකින්…

මේ විදිහට සති දෙකක් විතර ගත වෙන්න ඇතී. දවසක් මම උදේ පාන්දරින්ම පුරුදු විදිහට මගේ ගම්මිරිස් පැළේ බලන්න ගියා. කොළ ටික ඔක්කෝ ම වගෙ කහ පාට වෙලා තිබුණා. ඇත්ත ම යි මම එදා නම් ඇඬුවා. ඒ ජීවිතයේ පළමු වතාවට දැඩිසේ ඇලුම් කළ යමක් මාගෙන් ඈත් වන්නට වැයම් කරන වගක් මට දැණුන නිසා වන්නට ඇතී.

මම එයට පොහොර එක් කලා. ආධාරක සවිකලා. පැළය වටා පිරිසිදු කළා. නමුත් එ සියල්ල ඵල රහිත වූවා. අවසානයේ අම්මා හා බබනිස් සීයාගේ උපදෙස් මත මම මගේ පැළය මඩවලෙන් ගලවන්නට තීරණය කළා. එහි මුල් කුණු වී තිබුනා. තව දිනක් හෝ එය එතන තිබුණා නම් සත්ත යි එය මිය යණු ඇති.

පසුකාලීනව මගේ ගම්මිරිස් පැළේ කුණුවුනු මුල් සුවපත් වෙන්නත් කලින් ම අගමුල්ල නැති වැලක් ඒ මඩ වලත් තුතිරි පැළෙත් වසාගෙන වැවුණා. වසර ගණනක් ගතවූ අද මම මට සාපෙක්ෂව ඒ බිම දකින්නේ මුඩු බිමක් ලෙසකට ම පමණ යි.

මට අයෙමත් හිතන්න වුණා මම කොහෙ ද කොතන ද මුල් කුණු වුණු ගම්මිරිස් පැළේ සිටුවන්නේ කියලා, මගේ අවධානය යොමු වුණේ අපෙ වත්තේ කමතට.

ගොයම් අස්වැන්න නෙළන්නේ නැති කාලෙට කමතේ එළදෙනක් බඳිනවා. ඒ එළදෙන පිට කරන ගොම වසුරු නිසා ඉතාමත් ම හොඳින් ගව පොහොර එකතු වුනා කමතට. ඒ වගෙ ම කමත අද්දරින් ගලා ගෙන ගියා පුංචි දොළ පාරක්. ඒ නිසා දිය සීරාවත්  තිබුණා. ගම්මිරිස් වැලට එතෙන්න ප්‍රමාණවත් තරම් උස හල්මිල්ල ගහකුත් තිබුණා. ඒ නිසා ම මම මගේ ගම්මිරිස් පැළය සිටුවන්න තීරණය කළා කමතේ.

පොහොරත් එක්ක දවසින් දවස මගේ ගම්මිරිස් පැළේ දළු දාල වැඩුනා හරී ම ලස්සනට. සියල්ලට වඩා කුණුවුනු මුල් සුවපත් වුණා.

ඒ නිසක් බයක් සැකක් නැතුව මම තීරණය කලා මගේ ගම්මිස් පැළේ වැලක් වෙලා දවසක ඒ හල්මිල්ල ගහේ එතෙන්න ඕනා කියලා. ඒ නිසා ම වෙන්නැතී හල්මිල්ල ගස වටකර සිටි එළදෙණුන් මට අමතක වෙන්න ඇත්තේ. සෙවනක පෝරත් එක්ක සරුවට වැවෙද්දී මම හිතුවා මම දැන් විවේකීව සිටිය යුතුයි කියලා.

මේ කාලය අතරතුර දවසක පුංචි අම්මා ලතෝනි දෙන්න පටන්ගත්තා.

“ළමයෝ අනේ මගේ අත කැපුණා මේ බළල් තඩියා මාළු කොරහට පැන්නා. නිදි කුම්බා අහුරක් ගෙනත් දෙන්න ලොකු දුවේ”

ඒ සද්දෙට මම අඩියට දෙකට දුවලා ගියා අල්ලපු වත්තට ඒ වත්තේ මහා විසාල නැදුන් ගහක් වටකරගෙන නිදිකුම්බා වැවිලා තිබුණා. මම කටු ඇණි ඇණී නිදිකුම්බා ගලවාගෙන ඇවිත් ඒ තුවාලෙට තිබ්බා. එදා මට හිතුනා මේ විසාල ගහ දවසක වට කරගෙන මගේ පුංචි පැළේට වැවෙන්න ඉඩක් තිබුණා නම් කියලා. කඩි මුඩියේ නැදුන් ගහ වටේ එතෙන්න බුලත් වැල් කීපයක් සූදානම් වූ නිසාම මම නැදුන් ගසක් නොදැක්කා නොදුටුවා සේ එන්නට ආවා නැවතත් මගේ ගෙදරට ම.

කැපුමක් නොවුණ නමුත් නිදිකුම්බා කඩන්න නැදුන් ගහ ළඟට යන පුරුද්දක් මගේ තිබුණා.

ඒත් එක දවසක උදේ……………………………………………………………………………………………………………

හල්මිල්ල ගහ වටේ එතුන ගම්මිරිස් වැලේ කොළ කන්න එළදෙනක් ඇවිත් හිටියා. මම තවත් පමා වෙන්නට එහි එකඳු කොළයක්වත් ඉතුරු නොවන්නට ඉඩ තිබුණා.

වහා ම ක්‍රියාත්මක වන පරිද්දෙන් අම්මාගේ උපදෙස් මත මා ගවයින් නිදන කමතෙන් මගේ ගම්මිස් පැළ ගලවා දමන්නට එක් සිත්ව තීරණය කළා…

වසර ගණනක් ගතවූ අද ඒ හල්මිල්ල ගස විශාල ගසක්වී ප්‍රතාපවත්ව නැගීසිටුණු දැකීමත් මගේ සිතට සහනයක්. එයට හෙතුව ඒ සුන්ඳර හල්මිල්ල ගස එදා මෙන් ම අදටත් මට හිතවත් නිසා. එදා මගේ ගම්මිරිස් වැලේ කොළ කා දැමූ එළදෙන සමඟින් ද මට කිසිඳු වෛරයක් අද ඉතිරිවී නැත. ඒ ඇය මගේ හිතාදර හල්මිල්ල ගසට පොහොර එක් කර නැගීසිටින්නට ශක්තිය දුන් නිසා. මට දැන් ඇය පෙනෙන්නේ රන් කිකිළියක සේ ය.

මම එදා තීරණය කලා ඒ ගම්මිස් පැළේ විසි කරලා දාන්න. බිම දිගේ දුවන්න. හිතුන ගහක එතිලා වැවෙන්න.

මම අපේ අම්මට කිව්වා අම්මා මම මේ ගම්මිරිස් පැළේ විසි කරනවා හිතුන තැනක හිතුන විදිහට එයා වැවේවී කියලා.

අම්මා හිනා වෙලා කිව්වා. පැළේ ඔයාගේ නම් තීරණ ගන්නෙත් දූ ඔයාම තම යි. මම නෙමෙ යි.

මම දැඩිසේ වේදනාවට පත්වී සිටියා. වේදනාවෙන් පීඩිතවී සිටියා. ඒ නිසා ම මම එය අත්හැර දැමුවා. එදා මම තීරණය කළා, කොළ ටිකෙන් එළදෙනකගේ කුස පිරෙව්ව මගේ ගම්මිරිස් පැළේ විසි කරලා දාන්න.

ඇය බිම දිග ඇදෙමින් වූවත් රළු පොළව හිරු රැසින් රැක ගත්තා. එහෙත් ක්‍රමයෙන් වියළී ගියා. මරණාසන්න මොහොතකට ආවා.

මේ සියල්ල අතරතුර නිදිකුම්බා කඩන්නට නැදුන් ගස යටට යන පුරුද්ද පෙරදා මෙන් එදා වන විටත් තිබුණා.

එක දෙසැම්බර් මාසෙක, මම තැන තැන දුව දුව, එහේ මෙහේ ගිය මගේ ගම්මිරිස් වැල පොළවෙන් උදුරලා ගලවා ගත්තා. විසි කරන්න ඈතට. ඒ වැල මුලෙන් ගලවද් දී මගේ අත මැරුණු වැලට කැපිලා ගියා. ඒ කැපුම් තුවාලෙට බෙහෙතට නිදිකුම්බා කොළ හොයන්න, මම පුරුදු විදිහට ගිය නැදුන් ගහ යටට මට ආයෙත් යන්න වුණා.

අතේ තිබුණු වේදනාවත් හිතේ තිබුණු වේදානවත් නිසා තැබූ පය තැබූ තැනින් ඔසවන්නටවත් ශක්තියක් නොවූ නිසා නැදුන් මුලක පැටලී මම බිම මත නතර වී සිටියා. අතින් ගිලිහුණු මැරුණු ගම්මිරිස් වැල විසිවී රැඳුනා දුර ඈත නැතුන් දෙබලක මටවත් අයිතියක් නැති අයුරකට.

ඒක දැක්ක අම්මා මගේ මුහුණවත් බලන්නේ නැතිව අපප්ච්චීගේ මුහුණ බැලුවා. ඒ නැදුන් ගස අයිතිව තිබුණේ අපි තරම් කුලවත් නොවූ එහෙත් කුලයෙන් හීන නොවූත් අයෙක්ගේ පිරිසිදු වතු යායක නිසා.

මට මතකයි අපේ අප්පච්චි කීවා “කමක් නෑ ඒක එහෙම වෙච්ච එකත් හොඳයි අපේ මැණිකේ. ඔය වගේ ගුණයෙන් උසස් වටිනාකමින් වැඩි, දවසක පළාතක් වහගෙන වැවෙන ගම්මිරිස් ගහක බර දරාගන්නත් පුළුවන්, ශක්තිමත් අරටුවක් තියන ඔය නැදුන් ගහට විතර ම යි. ඒකට කුල භේද අදාල නෑ නොවැ” කියලා.

මහා පරිමාණයෙන් දිය සීරාවක් නැතත් කිලෝ ගණනින් පොහොර නොවෙතත් ඒ දෙබලේ වූ සෙවන සහ සතුට මැද මැරීගිය ගම්මිරිස්  වැල පසු කාලයකදී නැදුන් ගස වස වට කර වැවී සිටියා. …………………………………………………………………………………………………………………………………………………

ඒ සෙවන දහසක් සිත් සැනසුවා පමණක් නොව ඒ මේ අත ගිය පක්ෂීන්ට සිය කැදලි තනා දුන්නා.

……………………………………………………………………………………………………………………………………………………………………

වසර හැට පහක් තිස්සේ නැදුන් ගස, දුබල ඒ ගම්මිර්ස් වැල දරා සිටි අයුර මට අදටත් කියන්නේ ඒ ආදරණීය කතාවට අගක් මුලක් නැති වගක්.

 

සදා දී සෙවණ සදාදර සුවය

නොසිතූ මොහොතක

මට සරණ වුණු ඔබ

බුදු බව ලබන මොහොතක

මා පැමිණ යශෝදරාවන් ලෙසට

පාරමිතා පුරන්නට සදා දී සෙවන

මියෙමි මම ඔබට පළමුව…..

අදට වසර හැට පහක පමණ නොවෙනස්ව එක සේ වෙලී සිට මේ අප මරණින් මතුත් මේලෙසින් ම මුණ ගැසේවී කියා මට සිතුනා…