මතක මන්දිර (සයවන කොටස)

Share

1961-1962 වසර දෙක මගේ දිවියේ තවත් රසබර අවදියකි. ඒ සුන්දර අතීතාවර්ජනය තෙලිතුඩින් සටහන් කිරීමට සියොතුන් ගුවන පුරා පියඹා ඇදෙන  සැන්දෑ යාමයක මම මගේ ලියන මේසයේ පුටුව මත හිඳ ගත්තෙමි.

ඒ පොල්ගොල්ල ගුරු විදුහලේ පුහුණුව ලැබූ සමයයි. අපේ වෑබඩ ගමේ හෝ කච්චිගල ගම් පියසේ නොතිබුණ මනරම් දැකුම්කළු බවක් එවකට පොල්ගොල්ල පුරා විය. අතු පතර විහිදා වැඩුණු රූස්ස මැයි ගස් අතර තවමත් නම නොදන්නා දම් පාට, කහ පාට, රෝස පාට මල් ඇති ගස් වැල් වලින් පිරුණ නේවාසිකාගාර පෙදෙස ඉතා සුන්දර විය. රත් පැහැ ගත් සැන්දෑ හිරු මැයි ගස් අතරින් බැස යන විට මවන්නේ අමුතුම දැකුම්කළු සිතුවමකි. නේවාසිකාගාරය වටා මනරම් රබන් ඔය කුඩා ගල් කුළු අතරින් සිහින් සිලි සිලි හඬක් නංවමින් ගලා යයි. දෙවැනි ලෝක යුද සමයේ කඳවුරක් වූ අපේ නේවාසිකාගාර, ලෑලි පොළවකින් යුතු තරමක් පරණ ඒවා විය. එහි වූ බිත්තිද සාමාන්‍ය බිත්ති වලට වඩා වෙනස් ඒවා විය. එහෙත් එය අපට අඩුවක් නම් නොවීය. ඇවිදින විට තරමක් දිරා ගිය ලෑලි පොළවෙන් මතු වන “කිරි..කිරි..” හඬ ගුරු විදුහලට ඇතුලු වූ මුල් දින වල  රාත්‍රි කාල වලදී නම් බියගුළු සිතුවිලි අවදි කිරීමට සමත් වුවත් කල් යෑමේදී එය අපට අමුත්තක් නොවීය.

පරිසරයේ චමත්කාරය රස විඳින අතරේ ජීවිතය පිළිබඳව අත්දැකීම් සම්භාරයක් අපට ලබා දෙන්නට ඒ අවදිය සමත් විය. මගේ වයසේ දෙතුන් දෙනෙකු හැරෙන්නට අවුරුදු 45 පමණ වූ ගුරු මහත්මීන් රාශියක් වූහ. අප සොම්නසින් විහිළු තහළුවෙන් කල් යවද්දී ඔවුහු දරුවන් සැමියන් සිහිකරමින් හැඩූ කඳුළින් පසුවූහ. සමහර ඉරිදා දිනක සැමියෝ දරුවන් සමඟ බිරිඳ බැලීමට පැමිණෙති. ඔවුන් ආපසු යන විට සියලු දෙනාම හඬා වැළපෙති.

කවදත් පොත් ගුල්ලෙකු වූ මම පුස්තකාලයේ ඇති කියවිය හැකි සෑම පොතක්ම කියවන්නට පුරුදු වුනෙමි. මට “දුවේ” යයි අමතන හේරත් අම්මාට නැටුම් උගන්වන මම, කවදත් අකමැති මැහුම් කෑලි ඇය ලවා මස්සවා ගත්තෙමි. ඉරිදා දිනවල අප බැලීමට කිසිවෙකු නාවත් එදින හමුවන පෙම්වතුන් හා පෙම්වතියන් දෙස බලා විනෝද වීමට මමත්, ශ්‍රියාත්, ඩොලීත් පුරුදු වී සිටියෙමු. පෙම්වතුන් විසින් ගෙන ආ ලේන්සු, පුයර ටින් වැනි කුඩා කුඩා තෑගි දැකීමෙන් අපට ඊරිසියාවක් සිතට නොදැනුනාමත් නොවේ.

මල්ගස් සෙවනේ අප විභාගයට පාඩම් කරද්දී අප වටා දැවටෙමින් නන් පැහැති සමනළ රෑන්පිටින් පියඹා යති. සීතල සුළං රැල් හමන විට රෝස, දම් , කහ , රතු ආදි නොයෙකුත් පාට වල මල් පෙති අප දෙපා අසල වැතිරෙයි. ඇතැම් විට රබන් ඔය අසල ඇති කුඩා ගල් කුළු මතට වී පාඩම් කල අවස්ථාද ඇත. එක රිද්මෙට ගලා යන රබන් ඔය අපගේ සිත් සන්සුන් කර ගැනීමට මහඟු පිටිවහලක් විය. සිහින් පින්නෙන් නැහැවෙමින් පාඩම් කිරීම නිසා කම්මැලිකම අහලකටවත් පැමිණියේ නැත.

හිමිදිරි උදයේ අවදිවන අප පෙ.ව. 6.00 වන විට සුදු ගවුම් හැඳ, සුදු සපත්තු හා මේස් පැළඳ කොණ්ඩය ගොතා පිට්ටනියට පැමිණ ව්‍යායාම කළ යුතු විය.එය මිනිත්තු 30කින් අවසන් කර ආපසු නේවාසිකාගාරයට දුවවිත් සුදු සාරි ඇඳ, කොණ්ඩය බැඳගෙන පෙ.ව.7.00 වන විට පන්තියට යා යුතු විය. සාරිය ලිහා ආපසු ඇදුම් මාරු කිරීමට අවසර ලැබෙන්නේ ප.ව.5.00ටය. එතෙක් 1 වසර සිට 9 වසර දක්වා ඉගැන්විය යුතු සියළුම විෂයන් (සිංහල, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, ඉතිහාසය, භූගෝලය, පරිසරය, සංගීතය, නැටුම්, චිත්‍ර ආදී…) පිළිබඳව සාර්ථක දැනුමක් අපට ලබා දෙන ලදී.

ඇත්තෙන්ම එය වචනයේ පරිසමාප්තියෙන්ම මනා පුහුණුවකි. එමෙන්ම වඩා වැදගත් වන්නේ කාල සටහනක් අනුව ජීවිතය හැඩ ගස්සවා ගන්නටත්, විවිධ අදහස් වලින් පිරි සංකීර්ණ සමාජයක් හා ගැටෙන්නට හැකියාවක් එයින් ලැබීමය.

පින්තූරය:- ගුරු විදුහලේදී ගත් ඡායාරූපයකි.

අත්තම්මාගේ දිනපොතේ තවත් රසවත් කොටසකින් නැවත හමුවෙමු…