අලුත් පිටුවක් !

Share

සමල් හරි හපනා පාඩම් වැඩ වලට වගේ ම පිටියෙ වැඩවලටත්. සමල් හරි දක්ෂයි. හැබැයි කොච්චර හොඳට ලකුණු ගත්ත ත්, පන්තියේ පළවෙනියා වුණ ත් සමල්ගෙ හිතේ කිසිම සතුටක් තිබ්බෙ නෑ.

සමල්ට හැමවෙලේ ම ලොකු බයක් තිබ්බා තමන්ට ලැබිලා තියෙන හැකියාව කවදා හෝ තමන්ට නැතිවෙලා යාවි කියලා. සමල්ගෙ මේ බය නිසා ම සමල් කොච්චර දක්ෂ වුණත් කවදාවත් කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කියලා දුන්නෙ නෑ. සුමාලි සමල් ව දැන අදුනගෙන ටිකක් කල් වුණත් මොනාහරි ඉගෙනීමට සම්බන්ධ දෙයක් ඇහුව ම සමල් හරි සැහැල්ලුවෙන් “මං දන්නෙ නෑ ඔයා වෙන කාගෙන් හරි අහන්න” කියල කියන්නෙ කොහොමද කියන එක සුමාලිටත් ලොකු ප්‍රශ්නයක් වුණා..

සමල්ගේ තාත්තා සමල් වැඩවලට දක්ෂ නිසා ම සමල්ට හොද ලැප්ටොප් එකක් අරන් දුන්නා. හැබැයි සමල් නරක පාරෙ යන්නෙ නැතුව හැමවෙලෙ ම තමන්ගෙ දැනුම වැඩිකරගන්න පුළුවන් උපක්‍රම අන්තර්ජාලය පීරලා හෙව්වා. තව හොඳට දුවන්න වේගය පවත්වාගන්නෙ කොහොමද, අලුත් ක්‍රීඩා තොරතුරු හොයලා බලලා සමල් ඒවා තවත් හොඳට පුරුදු පුහුණු වුණා. කබඩ් එකේ තියෙන කුසලාන, පදක්කම් ගණන වැඩිවෙන තරමට ම සමල්ගේ හිතේ තියෙන අමුතු බයත් එන්න එන්න ම වැඩිවුණා.

සමලුයි සුමාලියි ඉස්කෝලෙ හිටියෙත් එක ම පන්තියේ. දෙන්නගෙ ම ආසාවට දෙන්නම කලේ ගණිත විෂය. සමල් පන්තියෙ පළවෙනියා වෙනකොට සුමාලි පන්තියේ දෙවෙනියා වුණත් සුමාලි හැමදාම ඒ ගැන යටි හිතෙන් ආඩම්බර වුණා. ඒත් සමල්ට හැමවෙලේ ම හිතුණේ ‘සුමාලි ඊළඟ පාර මට වඩා හොඳ ලකුණු ගනී ද? මට හොඳට වැඩ කරන්න බැරිවෙයි ද? එහෙම ලකුණු අඩුවුණොත් පන්තියේ ළමයි මට හිනාවෙයි ද?’ වගේ දේවල් තමයි. එහෙම හිතනකොට සමල්ගෙ බය තවත් වැඩිවුණ නිසා සමල් නිදාගන්න වෙලාව පවා අඩු කරල වැඩි වැඩියෙන් පාඩම් කළා. ඒක නිසා ම සමල් ටිකෙන් ටික පන්තියේ අනිත් යාළුවොන්ගෙන් වගේ ම සුමාලිගෙනුත් ඈත් වෙලා හුදකලා වෙන්න ගත්තා. අනිත් අයට මේ වෙනස එච්චර තේරුණේ නැති වුණත් සුමාලිට නම් මේක තදින් ම දැණුනා.

කාලය ටිකෙන් ටික ඔහොම ගෙවිලා යනකොට සමල් පාසල් එන එක නවත්තලා ගෙදර කාලය ගත කරන්න ගත්තු නිසා ඉස්කෝලෙ ගුරුවරු මේ ගැන හොයන්න ගත්තා. සමල්ගෙ අම්මා කුමාරි ඉස්කෝලෙ ම ඉන්න ටීචර් කෙනෙක් නිසා සමල්ගෙ පංතිභාර ගුරුතුමා ජිනේන්ද්‍ර සර් දවසක් කුමාරි ටීචර්ට කතා කරන්න හිතුවා.

“කුමාරි මිස්…”
” ආ! මේ ජිනේන්ද්‍ර සර් නෙ. සමල්ට මොකක්හරි පණිවිඩයක් දෙන්නද සර්?”
“සමල් ගැන කතා කරන්න තමයි මං මේ ආවෙ මිස්. ඇයි මේ දරුවා ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ?”
“පුතා ගෙදර ඉදන් පාඩම් කරනවා සර්. නැත්නම් එයාට වෙලාවක් නෑනෙ.”
“ඒත් අපිත් මේ උගන්නන ඒවා සමල් කවර් කරගන්නෙ කොහොමද ?”
“ආ! එයා ඒවා සේරම වෙලාවට කරනවා. සර් ඒ ගැන බය වෙන්න එපා.”
“ඒත් මට හිතෙන්නේ ඒ ළමයා පාඩම් කරනවා වැඩියි. ඒ ළමයට විවේකය අවශ්‍යයයි.”
“ජිනේන්ද්‍ර සර් ඇයි මේ වගේ කතා කියන්නෙ? මගේ ළමයා එහෙම මහන්සි වෙලා හොඳට වැඩ කරන්නෙ හොඳ රිසාල්ට් එකක් ගන්න නෙ. ඉතින් ටිකක් වැඩිපුර මහන්සි වෙලා වැඩ කළා කියලා මොකද වෙන්නෙ?”

කුමාරි මිස්ට ටිකක් තරහා ගියා කියලා සර්ට තේරුණ නිසා සර් මොකුත් නොකියා එතනින් මාරුවෙලා ගියා.

ඔය අතරෙම තමයි සමල් තදට ම අසනීප වෙලා කියල ආරංචිය ඉස්කෝලෙ පුරා පැතිරුණෙ. මේ දවස් වල උණ කැස්ස හෙම්බිරිස්සාව වගේ ලෙඩ හැමතැන ම තියෙන නිසා පන්තියේ හැමෝම හිතුවෙ සමල්ටත් ඒ වගේ ලෙඩක් මොකක්හරි හැදිලා ඇති කියලා. ඒත් කුමාරි මිසුත් සතියක් නිවාඩු දැම්මා කියලා සුමාලිට අහන්න ලැබුණ නිසා සුමාලි තීරණය කළා සමල් ව බලන්න යන්න.

පන්තියේ සමල් එක්ක හිටපු සමල්ගෙ යාළුවෝ ප්‍රියංකරයි, විපුලයි එක්ක සුමාලි ඉස්කෝලෙ ඇරිලා සමල් ව බලන්න ගියා. සමල්ගෙ අම්මා එයාලව ආදරෙන් පිළිගත්තා.
සමල්ව දැක්ක ගමන් සමල් ගොඩක් වෙනස් වෙලා කියලා තුන්දෙනාට ම හිතුණා. මේක නම් එසේ මෙසේ ලෙඩක් නෙමෙයි කියලා සුමලිට තදින් ම දැනුණා.

සමල් ඇදෙන් නැගිටින්න හැදුවත් විපුල ඉඩ දුන්නෙ නැහැ. සුමාලි සමල් ගාවින් ඇඳේ කොනක ඉඳගත්තා. විපුලත්, ප්‍රියංකරත් පුටු දෙකක් ඇඳ ගාවට ළං කරගත්තා. මුලින් ම කතා කරේ ප්‍රියංකර .

“මචං, මොකක්ද බං උඹට වුණේ?”
සමල් කතා කරන්න කට ඇරියත් වචන පිට වුණේ නැහැ. ඒ වෙනුවට ලොකු කදුළු කැට දෙකක් වැටුණා.
කියාගන්න බැරි තරම් වේදනාවක් තුන්දෙනාට ම දැණුනා.
සමල්ව වැඩිය මහන්සි කරවන්න හොද නෑ කියලා හිතුණ නිසා විපුල යන්න නැගිට්ටා.
“සමල් උඹ දිගට ම රෙස්ට් කරපං. ඉක්මනට හොඳ වෙයි. අපි යන්නම් මචං.  බුදු සරණයි.”

ප්‍රියංකරත් සමල්ගෙ උරිස්සට තට්ටුවක් දැම්මා.
සුමාලිත් යන්න නැගිට්ට ම සමල් සුමාලිගෙ අතින් අල්ලාගත්තා.
සමල්ට කියන්න ලොකු දෙයක් තියෙනවා කියලා ඉවෙන් වගේ දැනුණ සුමාලි විපුලටයි, ප්‍රියංකරටයි ඔළුවෙන් දුන්න සංඥාව නිසා ඒ දෙන්නා එළියට ගියා.
සුමාලි ආයෙත් සමල් ගාවින් වාඩිවෙලා සමල්ගේ අත අල්ලාගත්තා.

“සමල්….”
“ම්….”
“මට කියන්න සමල්, ඔයාට මොකද වුණේ?”
“මං…මං..දන්නෙ නෑ….සුමාලි”
“ඔයා ගොඩාක් කෙට්ටු වෙලා සමල්, මට හරි දුකයි ඔයාව මෙහෙම දැක්ක ම. ඇයි මේ සමල්? ඔයාට මට කියන්න බැරි මොකුත් නෑ නේ ද?”
“මට…සමාවෙන්න…සුමාලි…”
“හරි මං සමාව දෙනවා. ඒත් මට කියන්න ඇයි ඔය ඉස්කෝලෙ එන එක නැවැත්තුවේ. මං කතා කළාට ඔයා ආන්ස්වර් කළෙත් නෑ. මගෙ අතින් මොනාහරි වැරැද්දක් වුණා ද?”
“නෑ…”
“එහෙනම්?”
“මං දන්නෙ නෑ…සුමාලි…මට…මතක නෑ..”
“මතක නෑ කිව්වෙ?”
“මං ඉගෙන ගත්ත දේවල්…මට…මතක නෑ”

ලොකු කරන්ට් එකක් පිට දිගේ යනවා වගේ සුමාලිට දැණුනා.

‘දෙවියනේ! මොනාද මෙයා මේ කියන්නෙ?’
“සමල්, මට හරියට ම කියන්න මොකක් ද වුණේ කියලා”
“සුමාලි මට ගොඩක් ම බය හිතුණා..මට හොදට පාස් වෙන්න බැරි වෙයි කියලා..ඉතින් මං…ගොඩක් වැඩ කළා. මං හරියට නිදාගත්තෙත් නෑ. ඒත් සුමාලි…මට ටිකෙන් ටික..හැමදේම අමතක වෙන්න ගත්තා. මං පාඩම් කරපු දේවල්…මතක හිටියෙ නෑ හරියට…මං ඒ ගැන ගොඩක් කල්පනා කළා. අම්මා මාව…ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් ගියා..එයා බලලා කිව්වා..ඔළුවට විවේකයක් නැති නිසා මොළේට ගොඩාක් ඩැමේජ් වෙලා කියලා..අනේ සුමාලි මට මේ මොකක්ද වුණේ?”

සමල්ගෙ කතාව අදහාගන්න බැරුව වගේ සුමාලි සමල් දිහා බලන් හිටියා. ‘පන්තියේ හිටපු දක්ෂ ම ළමයට මෙහෙම දෙයක් වුණේ කොහොමද ?’

සමල්ගෙ සංඥාවට සුමාලි සමල්ට දුන්න වතුර වීදුරුව සමල් එක හුස්මට බීගෙන ගියා.

“සුමාලි ..ආයෙ මට ඉගෙනගන්න බැරිවෙයි ද?”
සමල්ගෙ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් සුමාලි ළග තිබ්බෙත් නැහැ.
“ඔයා දුක් වෙන්නෙපා සමල්, අපි හිමීට බලමුකො.”

සුමාලි එදා මුළු රෑ ම කළේ සමල් ට මෙහෙම වෙන්න හේතු හොයපු එක අන්තර්ජාලය පීරල එකතු කරගත්තු තොරතුරුවලින් සුමාලි පුංචි සැලැස්මක් ඇන්දා.
ඊළග දවසෙත් ඉස්කෝලෙ ඇරුණු ගමන් සුමාලි දිව්වෙ සමල් ව බලන්න.
සමල්ට ඊයෙට වඩා ලොකු සැහැල්ලුවක් දැණුනා.
ඒත් සුමාලි තමන් වෙනුවෙන් මොන තරම් කැපවෙනවා ද කියලා හිතපු සමල් සුමාලිව නොසලකා හැරිය එකට එයා ම දොස් පවරගත්තා.

“සමල්,දැන් ඔයාට කොහොමද ?”
“දැන් නම් ටිකක් හොදයි සුමාලි ඒත් මට ආයෙ පරණ තත්ත්වයට එන්න බැරිවෙයි ද?”
සුමාලි දිග කතාවක් කියන්න වගේ පුටුවෙ හරිබරි ගැහිලා වාඩි වුණා.

“සමල්…ඔයා මට ඊයෙ කිව්ව නේද ඔයාට ලොකු බයක් තිබ්බ කියලා ඉගෙනගත්ත දේවල් අමතක වෙයි කියලා..”
“ම්.. ඔව්..”
“ඇයි ඔයාට ඒ වගෙ බයක් තිබ්බෙ?”
“මං දන්නෙ නෑ සුමාලි…ඒක මට හැමවෙලේම තදට ම දැනුණා.”
“හරි, දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. අපේ සර් ජිනේන්ද්‍ර සර් අපිට උගන්නන්නෙ කොහොමද?”
“ඒ ඉතින් එයා ඉගෙනගත්තු දේ නෙ අපිට කියලා දෙන්නෙ”
“ඒකනෙ. දැන් එයා අපිට ඉගැන්නුවා කියල එයා දන්න දේවල් එයාට අමතක වෙලා යනවද”
“නෑ…”
“අන්න ඒකයි. දැන් බලන්න දොස්තර කෙනෙක් ලෙඩෙක්ට බෙහෙත් දුන්නා කියලා ඊළග පාර ලෙඩ්ඩුන්ට මොන බෙහෙත්ද දෙන්නෙ කියලා එයාට අමතක වෙනව ද?”
“නෑ”
“ඒකනෙ..බොහොම සරල යි.”

සුමාලි සමල්ගෙ අතින් අල්ලාගත්තා
“සමල්,ඔයාට දැන් තේරෙනවා නේද? එහෙම අපි ඉගෙන ගත්ත දේවල් අපිට ලේසියෙන්ම අමතක වෙන්නෙ නෑ. හැබැයි ඒ දේවල් මතක තියාගන්න අපේ මොළේට විවේකය අවශ්‍යයි. කෝ මට අර පොත දෙන්න.”

සුමාලි පොතේ කුරුටු ගෑවෙ මොකක්ද කියලා බලන්න සමල් ටක්ගාල පොත ඇදලා ගත්තෙ අකුරු ටික පොතෙන් පැනලා යාවි කියන බයට වගේ.

‘සාර්ථක වීම සදහා රහස් තුනක්:

1.හැමදේම කළමනාකරණය කරගන්න.
2.තමන්ගෙ හැකියාවලින් තමන්ටත්, අනුන්ටත් උදව් කරන්න.
3.මාව අමතක කළත් උඩ උපදෙස් දෙක අමතක කරන්න එපා.’

කියලා සමාලිගෙ මුතු අකුරු වලින් සමල්ගෙ පොතේ පිටුවක් හැඩවෙලා තිබ්බා.

සුමාලි ගියාට පස්සෙ සමල් ලැප්ටොප් එක අරන් YouTube එකේ ගොඩක් Videos බැලුවා. තමන්ගෙ දවසෙ වැඩ ටික බෙදලා Excel Sheet එකක පුංචි කාලසටහනකුත් ඇන්දා. භාවනා වැඩසටහන්වලටත් සවන් දුන්නා.

සතියකට විතර පස්සෙ සමල් ආයෙ ඉස්කෝලෙ එනකොට සමල්ගෙ කැපී පෙනෙන වෙනසක් වෙලා තියෙනවා කියල බැලු බැල්මට කාටත් පෙනුණා. ප්‍රියමනාප විදිහට ඉඳල තමන්ගෙ දවස ලස්සනට ගත කරන්නෙ කොහොමද කියලා සමල් දැන් හොදට දන්නවා. ඉස්සර කාටවත් කිසිම දෙයක් කියල දීපු නැති කොල්ලා දැන් දැන් පාඩම් කරන කෙටි ක්‍රම ගැන කියලා Tik Tok එකේ පුංචි Video Clips දාන්නත් පටන් අරගෙන.

දැන් සමල් විශේෂඥ වෛද්‍යවරයක්. ඒ වගේම මනෝ උපදේශකයක්. සමල් ගාවට එන තරුණ ළමයින්ට සමල් මෙන්න මෙහෙම වටින උපදෙසක් දීලා තමයි යවන්නෙ.

“හොදට ඉගෙනගන්න. හැබැයි මුලින්ම තමා ව කළමනාකරණය කරගන්න. ඒ වගේ ම කාටවත් කිසිම දෙයක් කියලා දෙන්න පැකිලෙන්න එපා. ඔයා වැය වන තරමට ඔයාට ගොඩක් දේවල් ලැබෙයි”.

 

Image Courtesy: https://bit.ly/3uGJycF

 
Tagged : / /