මගෙ ඔළුව ඇතුළෙ රහස් මාළිගාවක්!

Share

මතක මන්දිර – මනෝ මන්දිර කියන්නේ මතක තබා ගැනීමේ ක්‍රමයක්. මේ ක්‍රමය ගැන මම මුලින් ම දැනගත්තෙ ෂර්ලොක් හෝම්ස් පොත්වලින්. මම ඒක හරියට ම මොකක්ද කියල දැනගත්තෙ Sherlock TV Series එකෙන්. මම ජීව විද්‍යාව විෂය ධාරාවෙන් උසස් පෙළට මුහුණ දුන් කෙනෙක් විදියට විවිධ මතක තබා ගැනීමේ ක්‍රම අත්හදා බැලුවා. Mind Maps, Flash Cards, Spaced Repetition වගේ උපක්‍රම අතර මම ආසම ක්‍රමයක් වුණේ Mind Palace! උසස් පෙළින් පස්සේ Mind Palace එක අතහැර දැමූවත් ආයෙත් මතක තබා ගැනීමේ ක්‍රම ගැන සිත විමසනවා.

මම මතක මන්දිර භාවිත කළේ විභාග අරමුණකින් වුණත් ඒක විභාග සඳහා සුදුසු නෑ කියන මතය එක්ක මට සෑහෙන්න දුරකට එකඟයි. මම සෑහෙන්න දුරට එකඟ වුණත් සම්පූර්ණයෙන් ම එකඟ නොවෙන්නෙ ඇයි කියලා ලිපිය අන්තිමට ඔබට තේරුම් යයි. මුලින් ම කියන්න ඕන , ඔබට මේ ලිපිය මතක මන්දිර ක්‍රමය ගැන සෛද්ධාන්තික පැහැදිලි කිරීමක් නොවන බව. මම මගේ අත්දැකීම් තමයි ඔබත් එක්ක බෙදා ගන්නෙ.

මතක මන්දිරවල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 5 වන සියවස දක්වා ඈතට දිවයන්නක්. පුනරුද සමයේ බහුල ව භාවිත කළ මතක උපක්‍රමයක්. Method of Loci ලෙස හඳුන්වන්න‍ෙත් මෙයම යි.

මතක මන්දිර ක්‍රමය තමන්ට ම ආවේණික ව දියුණු කරගන්න පුළුවන්. සමහරවිට ඔබ නොදැනුවත් ව මතක තබා ගන්න භාවිත කරන්නේ මේ ක්‍රමය වෙන්නත් පුළුවන්. මගේ මතක මන්දිර ෂර්ලොක් පන්නයේ එකක්. නිවසක්, ශාලාවක්, ගබඩාවක් වගේ “මන්දිර“ කියන රාමුවෙන් පිට මම තාම උත්සාහ කරලා නෑ. ඒ නිසා මගේ මතක මන්දිර බොහෝ විට මම ඇත්තට ම ආපු ගියපු තැන්. මම භාවිත කරපු පළමු සහ සාර්ථක ම මනෝ මන්දිරය ‘මගේ නැන්දාගේ නිවස’. මම එහි දී මතක තබා ගත්තේ ‘ජෛව විවිධත්වයේ පරිණාමය’ කියන කුඩා කොටස යි. එය තමයි මා භාවිත කළ සාර්ථක ම මතක මන්දිරය. ඊට හේතු වුණේ මම ඒ නිවසේ හැම අස්සේ මුල්ලක් නෑර ම දැනගෙන සිටීමයි.

ඔව් මං දන්නවා! ඔබට අහන්න ඕන දැන් මගෙන් “ඇයි ඔයාගේ ගෙදර භාවිත කළේ නැත්තෙ” කියල. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක තමයි මම මගේ ගෙදර ගැන දැනගෙන වැඩියි. මම යම් කිසි පාඩම් ටිකක් මගේ ගෙදර කාමරවල මනසින් තැන්පත් කරල ආයෙ ඒවා මතක් කරගෙන යද්දී ඒ පාඩම් අභිබවා වෙන මතකයන් එන එක හරිම බාධාවක්! මට එහෙම වුණාට ඔබට එහෙම නොවෙන්න පුළුවන්. ඒ හින්දා උත්සාහ කරල බලන්න!

හරි. ආයෙ මාතෘකාවට ආවොත් මතක මන්දිරයක මතක තබා ගන්න හොඳ ම විදිහ විදිහට ඒකෙ ප්‍රවීණයෝ දකින්නේ Visualization. මම ඒක පරිවර්තනය කරන්න කැමතියි පරිකල්පනය කියල. අපිට මනසින් සිද්ධි මවාගන්න පුළුවන් නම් ඒක තමයි හොඳ ම විදිහ. ඔයාලට මතක නම් Sherlock TV Series එකේ Mary හෙවත් වොට්සන් බිරිඳ එක අවස්ථාවක හෝම්ස්ට වෙඩි තියනවා. එතකොට අවම හානියක් වෙන විදිහට බිමට වැටෙන්න ඕන පැත්ත මතක් කරගන්න ෂර්ලොක් මතක මන්දිරයට ඇතුළු වෙනවා. ඒ සෛද්ධාන්තික කාරණය ඔහු මතක තියාගෙන තිබුණේ මොලී හූපර් තමන් ට කනේ පාරක් ගහල කියන විදිහට. ඒක තමයි හොඳ ම පැහැදිලි කිරීම.

මගේ අත්දැකීමෙන් ඒක කියනවා නම් “ප්‍රොටිස්ටාවන් විවිධාංගීකරණය වීම හා සියලු ප්‍රධාන අපෘෂ්ඨවංශී වංශ ඇතිවීම වර්ෂ බිලියන 0.7 කට පමණ පෙර සිදුවිය” කියන වාක්‍ය මම මතක තියාගත්තෙ නැන්දා කුස්සියෙ කරාමය යට ඉන්න විවිධ ජාතියෙ  ඇල්ගී, ඇමීබාවො පහතට නැමිලා සුද්ධ කරන ගමන් බනිනවා “කොන්දක් නැති උන් ටිකක් ඉන්නෙ මේ ගෙදර! මගෙ කොන්ද දශම හතෙන් බේරුණේ” කියල. වර්ෂ බිලියන 0.7, අපෘෂ්ඨවංශීන් (කොන්දක් නැති), විවිධාංගීකරණය වූ ප්‍රොටිස්ටාවන් ( විවිධ ඇල්ගී, ඇමීබා) මතක තියාගත්තෙ එහෙමයි. මං මෙහෙම ලිව්වට මේක ඇත්ත ම සිද්ධියක් විදිහට යි මට මතක.

ගෙදර සාලෙ බිත්තියට එක එක ජාතියෙන් කොළ පාට ගාලා, මම ඇතුළු වෙන කොට මල්ලි ගේ ඇතුළෙ ක්‍රිකට් ගහනවා. එතකොට ම විකට් එකක් ගියා. මම කිව්වා 27ට විකට් 7යි කියල. ඒක තමයි “ප්‍රභාසංස්ලේෂක ජීවීන් විවිධාංගීකරණය වර්ෂ බිලියන 2.7-0.7ත් අතර සිදුවිය” කියන එක මතක් තියාගත්තා විදිහ.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ වගේ සරල දේවල් ටිකක්වත් මතක තියාගන්න බැරිද කියල.

 ඒත් මහා සාගරයක් වගේ තියෙන ජීව විද්‍යා විෂය නිර්දේශය ම නිකන්ම කටපාඩම් කරලා මතක තියාගන්න අමාරුයි. “ජෛව විවිධත්වයේ පරිණාමය” කියන කොටස මට අදටත් සම්පූර්ණයෙන්ම මතකයි. ඒකට හේතුව මතක මන්දිර කියන්නේ දිගුකාලීන මතකයට සම්බන්ධ ක්‍රමයක් වීම. කෙටිකාලීන මතකයටත් භාවිත කරන්න පුළුවන් වුණාට මන්දිරයක් / ගෙයක් මනසින් මවලා නියමිත විදිහට Visualization කරලා ගබඩා කරන්න ටිකක් වෙලා යනවා කියල ඔයාලට තේරෙනවා ඇති. කෙටිකාලීන මතකයක් වෙනුවෙන් එච්චර දේවල් ඕන නෑ කියන එකයි මගේ අදහස.

ඒ වගේමයි තව අවුලක් තියෙනවා. මේක සිද්ධි දාමයක් වගේ බැඳිලා තියෙන්නේ. ඔයාට ජෛව විවිධත්වයේ පරිණාමයේ මැද කරුණක් බහුවරණ ප්‍රශ්නයකට මතක් කරගන්න ඕන වුණත් ඔයාට ගොඩක් වෙලාවට මතක මන්දිරයේ මුල ඉඳන් යන්න වෙනවා. ඒක කාලය අතින් ගත්තාම පාඩුයි.  මතක මන්දිර භාවිත කළේ විභාග අරමුණකින් වුණත් ඒක විභාග සඳහා සුදුසු නෑ කියන මතය එක්ක මම සෑහෙන්න දුරට එකඟ වෙන්න හේතුව මේක තමයි. ඒත් ජීව විද්‍යාව රචනාවක් වගේ දෙයක් දී – උදාහරණයක් විදියට ” ප්‍රභාසංශ්ලේෂණයේ අඳුරු ප්‍රතික්‍රියාව” වගේ රචනා ප්‍රශ්නයක දී අපිට අදාළ කරුණු දාමයක් විදිහට ලියාගෙන යන්න වෙනවා. ඒකට මතක මන්දිර තමයි කියාපු බෙහෙත.

ලෝකෙ මතකය සම්බන්ධ ශූරතා පැවැත්වෙනවා. තෙවරක් World Memory Champion ශූරතාව දිනපු Alex Mullen නම් ඇමරිකානු වෛද්‍ය ශිෂ්‍යයාගේ Mullen memory යූ ටියුබ් චැනලයේ මතක මන්දිර ගැන ප්‍රායෝගික පාඩම් කිහිපයක් තියෙනවා. මතක මන්දිර ගැන පර්යේෂකයෙක් වෙන Magnetic Memory Method නිර්මාතෘ Anthony Metvier මහතාගේ Podcast, Videos, Assignments තරමක් සාර්ථකයි කියල මට අත්දැකීමෙන් කියන්න පුළුවන්.

අවසාන වශයෙන් මම Memory Champion කෙනෙක් නොවනවා වගේ ම මම විස්තර කරපු අත්දැකීම් Mind Palace ගැන වැරදි සහගත ම භාවිතයන් වෙන්නත් පුළුවන් කියල කියන්න හිතුණා. ඒ වගේ ම Mind Palace මම භාවිත කළේ එය හොඳ ම ක්‍රමය නිසා නොව මම ආසම ක්‍රමය නිසා බවත් , මීට වඩා බොහෝ ඵලදායී ක්‍රම අද ලෝකයේ තියෙන බවත් කියන්න ඕන. Mind Palace කියන්නෙ හරියට Toolbox එකක එක මෙවලමක් වගේ. ඒකෙන් කරන්න පුළුවන් නිශ්චිත වැඩ කිහිපයක් තියෙනවා. හරියට අපි අඬුවෙන් ඇණ ගහන්නෙ නෑ වගේ. ඒකට මිටිය තියෙනවා. හැබැයි ඕන ම නම් ෂේප් එකේ ඇණයක් ගහගන්නත් අඬුවකට පුළුවන් .

Image Courtesy : https://bit.ly/3Qwv1Jt

 
Tagged : /