සදාකාලික නොවූ ලෝකේ

Share

ජීවිතයේ තේරුම් ගන්න මහා ගොඩක් ගැඹුරු දේවල් තියෙනවා. ඒ අතරින් ලොකු ම දේ තමයි මිනිස්සුන්ව තේරුම් ගන්න එක. මොකද කතාවක් තියෙනවනෙ “සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා” කියලා. ඒක ඇත්ත ම ඇත්ත කියලා මට තේරුම් ගියේ අද වෙනකන් ගෙවපු කැම්පස් ජීවිතෙන්. 1st year එකේදි එක බත් එක කාපු පණ දෙන්න හිටපු සමහර යාලුවො ගොඩක් ඈත් වෙලා ගිහිල්ලා. මම විතරක් නෙවේ මේ සිද්ධිය සමාජයේ ඕනම කෙනෙක් අත් විදිනවා.

මුලින්ම කැම්පස් එකට ආවහම හැමෝට ම තිබ්බෙ එක ම අරමුණක්. ඒ තෙලෙන් බේරිල ඉන්න එක. ඒ කාලෙ නම් හැමෝට ම හැමෝ ම උදවු වුනා. ටික ටික academics පටන් අරන් exam results එන්න ගත්තම ගොඩක් කට්ටියගෙ හිත් ඇතුලෙ තිබ්බ ඊරිසියා එලියට එන්න ගත්ත එක කාටත් පෙනුණ දෙයක්. ඒ අතරේ තමන්ගෙ යාලුව වත් ගොඩ දාන්න මහන්සි වුන කට්ටිය නැතුව නෙවේ. කොහොමින් කොහොම හරි ටික ටික කාලය ගෙවිල යද්දි තමයි මේ වෙනස්විල්ල හැමදාමත් තියෙන එකක් කියල මට තේරුම් ගියේ. අවුරුදු දෙකක් ගෙවුන තැන මුලින් තිබ්බ වටපිටාව හාත්පසින්ම වෙනස් වෙලා. සමහර යාලුවො හතුරො වෙලා. සමහරුන් ට මුල අමතක වෙලා. සමහරු වෙනස් ලෝකෙකින් ඇවිත් වගේ. ඉගෙන ගනිද්දි ඉගෙන ගනිද්දි ගුණ ධර්ම පිරිහෙනවා දෝ කියලා මට හිතුන වාර අනන්තයි. සමහර විට තියන තරගකාරිත්වය නිසා වෙන්න ඇති. ඒත් හැමොටම අමතක වුන දෙයක් තමයි අපි මේ හැම දෙයක්ම කරන්නෙ ජීවත් වෙන්න කියන එක. සතුටින් ජීවත් වෙන්න.

බුදු හාමුදුරුවො කිව්වා වගේ හැම තත්පරයකම හැම දෙයක් ම වෙනස් වෙනවා කියන එක මම කැම්පස් එකෙන් ඉගෙන ගත්ත ලොකුම ජීවිත අත්දැකීමක්. ඒ වෙනස් වෙන ලෝකෙ මිනිස්සු වෙනස් වෙනවා කියන එක තව පොදු කාරණයක් විතරයි.

කොච්චර උගත් වුනත් මිනිස් කමින් තොර උගත් කමට කිසිම වටිනාකමක් නැහැ.

ගිය අවුරුද්දෙ අපි උදවු කරපු අසරණ මිනිසෙක් ගැන කතාවක් මම මීට කලින් කිව්වා. හරියටම අවුරුද්දකට කලින් එ තැනැත්තගෙ නෝනාට දරුවෙක් ලැබෙන්න ඉඳලා ගොඩක් අසරණ වුන වෙලාවක තමයි අපි උදව් කලේ. ඒ තැනත්තා අද අපිට කතා කරලා දරුවගෙ පළවෙනි උපන්දිනේ අපිට මතක් කරල ගොඩක් පින් දුන්නා. කොච්චර දුප්පත් වුනත්, කොච්චර උගත් කමින් අඩු උනත් අද කාලෙ අඩුවෙන්ම දකින්න ලැබෙන පෝසත් ගති ගුණයක් මම ඒ මනුස්සයගෙන් දැක්කා. එ තමයි කෙළෙහි ගුණ දන්න කම.

මනුසත්කම කියන්නෙ මොකද්ද කියල තේරුම් අරන් ඉන්න කෙනෙක් මිනිසුන් අතරින් උසස් මිනිසෙක් බවට පත් වෙනවා. මොකද අපි ජීවත් වෙන්නෙ සදාකාලික නොවූ ලෝකයක නිසා. ඒ වගේම තමයි අපි හැම තිස්සෙම අඩු බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න ඕන. මොකද මිනිස්සුගෙන් දෙයක් බලාපොරොත්තු වෙන එක විශ්වාස කරන්න අමාරු දෙයක් නිසා. ජීවත් වෙන කෙටි කාලය තුල ගුණධර්ම දියුණු කරගෙන හැම දේකටම ශක්තිමත්ව මූණ දෙන්න පුලුවන් නම් එ තැනැත්තා තමන්ගෙ ජීවිතයේ උපරිම සතුට අත්විදීවි. මඩෙහි ඉපදී, මඩ නොගෑවුණ මඩෙන් උඩට ඇවිත් සුවද විහිදුවන, බැබලෙන නෙලුම් මලක් වගේ  මිනිස්සු අතර මිනිස්කමින් පිරි, උසස් මිනිසෙක් විදිහට ජීවත් වෙලා උසස් මිනිසෙකු ලෙස මිය යන්න.