අභින 2019

Share

දිවිතෙර ජයගැනුමට සොහොයුරු පෙමින

සිප්නැණ පුබුදන්නට දහිරිය දෙමින

කරුණා පිරි ලෙන්ගතු සුමිහිරි හදින

තම්මැන්නාගම පුරවරයට ‘අභින’

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන් අවුරුද්දකට වතාවක් දුෂ්කර පාසලක් මූලික කරගෙන සිදු කරන ‘අභින 2019’ අධ්‍යාපනික සමාජ මෙහෙවරේ පළමු අදියර ඔක්තෝබර් 18, 19 දවස් දෙකේ අනු/ගබි/ගබි/තම්මැන්නාගම විද්‍යාලයේදී පැවැත්විණි. පළමු ශ්‍රේණියේ ඉඳන්, එකොළොස්වන ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් එකසිය අසූවක් විතර, ගුරු මහත්ම මහත්මීන් දහ අටක් එක්ක අකුරු කරන මේ පාසල පිහිටලා තියෙන්නෙ බස් යන පාරෙ ඉඳලත් කිලෝමීටර් පහක්, හයක් ඇතුළට වෙන්න. පොඩි පුස්තකාලයක්, පොඩි පරිගණක විද්‍යාගාරයක් ඇතුළුව, මුළු පාසලටම ගොඩනැගිලි හතරයි තියෙන්නෙ.නැටුම් කාමරයක අවශ්‍යතාවය සපුරා දෙමින්, තවත් ගොඩනැගිල්ලක් පාසල වෙනුවෙන් නුදුරේදිම ඉදිකර දීමත් ‘අභින’ ව්‍යාපෘතියෙ තවත් ඉදිරි පියවරක්. ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයයන් තුනට අදාළව, මේ අවුරුද්දෙ අපොස සා.පෙළ විභාගයට ඉදිරිපත් වෙන සිසු සිසුවියන් වෙනුවෙන් තමයි සෙනසුරාදා, ඉරිදා දෙදින පුරාවට, විෂයයන් තුනට වෙන වෙනම ආදර්ශ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදෙමින් සම්මන්ත්‍රණ මාලාව පැවැත්වූයේ. දහය වසරෙ ඉගෙනුම ලබන සිසුසිසුවියන් හයදෙනාමත්, එකොළහ වසරෙ සිසුසිසුවියන් දහතුන්දෙනාමත්, විදියට ඒ දහනවදෙනාම සෙනසුරදා, ඉරිදා දවස් දෙකේම බොහොම උනන්දුවෙන් සහභාගී විය. පළමු වසර නියෝජනය කරමින් දෙදෙනෙක්, දෙවන වසර නියෝජනය කරමින් සිව්දෙනෙක්, තුන්වන වසර නියෝජනය කරමින් පස්දෙනෙක් විදියට ‘අභින 2019 පළමු අදියර’ වෙනුවෙන් වසර තුනම නියෝජනය වන පරිදි විද්‍යාර්ථීන් එකොළොස්දෙනෙක් සහභාගී වුණා.

කැම්පස් එකෙන් 17 සිකුරාදා දවල් 12:30ට විතර පිටත් වූ ‘අභින කණ්ඩායම’ පිටකොටුවෙන් කොටුව-ගලෙන්බිඳුනුවැව බස් එකට ගොඩ වෙද්දි 1:40 ට විතර.ගලෙන්බිඳුනුවැව හන්දියෙන් බැහැල ඉස්කෝලෙට එනකොට රෑ 9 විතර විය. පුස්තකාල ගොඩනැගිල්ල ‘අභින කණ්ඩායම’ වෙනුවෙන් වෙන්කරලා තිබුණා. සිකුරාදා තේවේල පටන් ඉරිදා දවල් කෑමවේල දක්වා ආහාරපාන ඔක්කොම පාසලේ දෙමව්පියන් අතින් බොහොම රසවත්ව ලෑස්තිකර තිබුණා. සිසු සිසුවියන්ට ලබාදෙන්න නියමිත මාස්ටර්ගයිඩ් ගණිතය, විද්‍යාව වැඩපොත්, Essential English වැඩපොත, කවකටුපෙට්ටිය ඇතුළත් වෙන විදියට පාර්සල් කරල ඉවරවෙලා පිරිස නිදාගන්න වුණා.

විදුහල්පතිතුමන්ගේ නියමය අනුව ළමයි හැමෝම උදේ අට වෙද්දි, පාසල් නිලඇඳුමින් පැමිණ සිටි අතර  විදුහල්පතිතුමන්ගේ හඳුන්වාදීමේ කතාවෙන් අනතුරුව තෑගි පාර්සල් ළමයි වෙත තිළිණ කරලා ඉක්මනටම ඉගැන්වීම් කටයුතු පටන් ගැනුණා. ගණිතය විෂයෙන් තමයි සම්මන්ත්‍රණ මාලාව ආරම්භ වුණේ. උත්සාහ කරන්නත් වෙලාව ලබාදීලා, බොහොම පුළුල්, පැහැදිලි ස්වරූපයෙන් ගණිතය I කොටස විස්තර කර නිමා කරනු ලැබුණා. කළුලෑල්ලේ ඉගැන්වීම් සිදුවෙන අතරෙම, ළමයි ලඟට ගිහින් අඩුපාඩු හොයාබලමින්, නොතේරුණු තැන් කියාදෙමින්, තිබුණු ගොඩක් අපැහැදිලි තැන් විසඳාදෙන්න හැකි වුණා. ඉක්මනට සුළු කිරීම් කරන ළමයි වෙනුවෙන් තව තව අමතර ගැටලු දෙමින්, සමබර විදියට සිදුකෙරුණා. මුලදි මුලදි බයෙන් වගෙ හිටපු ළමයි, ටික වෙලාවකින් නොබියව ගැටලු අහන තත්වෙටත් පත් වුණා. කොහොමහරි හිතපු විදියටම ගණිතකර්ම සියල්ලත් මතක් කරගෙන, ප්‍රශ්න සේරම කතා කරගෙනම දවල් 12 විතර වෙනකොට පළමු විවේකය දෙන්නත් පුළුවන් වුණා.

විවේකයෙන් අනතුරුව විද්‍යාව විෂය පටන්ගන්න එනකොටම.. මෙන්න වැඩක්..කලින් කොටස කොච්චර හිත් වලට වැදිලද කියනව නම්, You are very good teachers කළු ලෑල්ල පිරෙන්න ලියලා. ඒ විතරක්ද!හැම මුහුණකම අලුත් බලාපොරොත්තු, ඒ හයියත් එක්කම විද්‍යාව කෙටි ප්‍රශ්න සාකච්ඡා කරගෙන ඉදිරියටම ගියා.හැම ළමයෙක් ගැනම වෙන වෙනම බලමින්, ගැටලු තැන් විමසමින් කටයුතු කෙරුණා. ජීව විද්‍යාවෙ ආහාරජීර්ණ පද්ධතිය, භෞතීය විද්‍යාවෙ මූලික SI ඒකක, රසායන විද්‍යාවෙ ආවර්තිතාවගුව සාකච්ඡා කෙරුණා. ඔය විදියට විද්‍යාව කොටස සාර්ථකව නිම කෙරුණා, ඉංග්‍රීසි විෂය පටන් ගන්න කලින්, ළමයින්ට කම්මැලිත් ඇතිනෙ කියල, ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් රසවත් අගයකිරීමක් කරල, ආසාව ඇති කරල ආයෙම පන්තිය පාඩම පැත්තට හරවලා ගත්තා. My self  ලියන්න දීල, කට්ටියගෙ තත්වය හොයා බැලුවා. Sentence එකක් ගොඩනංවන විදිය, past tense, past participle එක්කම උගන්නල තනියම ගොඩනගාගන්න තත්වයට පත් කළා. වෙලාවත් හැන්දෑවෙ 6:45 වගෙ වෙලා නිසා ඒ විදියට පන්තිය ඉවර කෙරුණා. සෙනසුරාදා දවස  ඔය විදියට බොහොම සාර්ථකව ගතවෙලා ගියා.

ඉරිදා උදේම එන්න කියපු නිසා, ළමයි හරියට 7:00 වෙද්දි පන්තියෙ.ඉංග්‍රීසි විෂයෙන් පටන් ගත්තෙ present tense, past tense වෙනකල්ම continuous, perfect  තනියම ගළපාගන්න හැටි කියාදෙමින්. හෙමින් හෙමින් ගොඩනංවන්න සෑහෙන්න වෙලාවක් ගත වුණා. ඔය අතරෙදි විදුහල්පතිතුමා දෙමව්පියන්ට එන්න කියලා තිබුනා මේ වැඩසටහන ගැන දැනුවත් කරන්න. විදුහල්පතිතුමා විද්‍යා විෂයභාර ආචාර්යවරිය සහ නැටුම් විෂයභාර ආචාර්යවරයා එක්ක පන්තියට ඇවිත් ස්තූති පූර්වක කතාවක් කළා.පන්තියෙ ළමයෙක් ඇවිත් එයාට දැනිච්ච අවංක සිතුවිල්ල, ස්තූතිය පුද කළා. ළමයෙකුගේ අම්මා කෙනෙක් ඇවිදින් කතාවක් කළා. අම්මා කළ කතාවෙන් තේරුණා ඒ ජීවිත වල තියෙන ලස්සන බාඅපොරොත්තු වල තරම! ‘අභින’ ව්‍යාපෘතිය විස්තරකරමින්, තුන්වන වසරේ ශිෂ්‍යයෙක් කතා කළා. ඒ දැවැන්ත මෙහෙයුම පිළිබඳ හැම දෙනාටම හොඳ අවබෝධයක් මේ විස්තරයෙන් ලැබුණා.

විවේකයෙන් පස්සෙ පන්තියට එනකොට මේං වැඩක්!! අදත් ලියලනෙ. We are happy today Thank you very much. Please come next week. ඊට පස්සෙ විද්‍යාව විෂය සාකච්ඡා කෙරුණා. ළමයිගේ ඉල්ලීම අනුව ප්‍රශ්න පත්‍ර වෙනුවට තරංග සහ ධ්වනිය පාඩම් ඉක්මනින් ආවර්ජනයට ලක් කෙරුණා. ප්‍රතිරෝධක, සහන අගය කොටස් වලට තිබුණු බය නැතිවෙලා හැමෝටම ආයෙත් බලාපොරොත්තු ඇති වුණා. ජීවිතය ජයගන්න බොහොම වටින උපදෙස් රාශියකුත් එක්ක විද්‍යාව කොටස ඒ විදියට ඉවර උනා, Formal letter, informal letter, Notice වගේ ප්‍රශ්න පත්‍රයට අනිවාරෙන්ම ලැබෙන මාතෘකා අරමුණු කරගෙන ඒවට ළමයින්ව හැඩ ගැස්සුණා. ලකුණු ගන්න පුළුවන් තැන්, ලකුණු අහිමි වෙන තැන් විශේෂයෙන් පෙන්වා දෙමින් ඉංග්‍රීසි විෂයෙන් සම්මන්ත්‍රණය අවසන් වුණා.

වෙලාව පස්වරු 4:20 විතර වෙලා. ළමයි හැමෝම හරිම භක්තියෙන් ‘අභින කණ්ඩායම’ට වැඳ ආසිරි ලබා ගත්තා. ඒ හැම මුහුණකම පැහැදිලි දීප්තියක්, සතුටක්, සැහැල්ලුවක් දක්නට ලැබුණා. ‘අභින කණ්ඩායම’, හද පිරි ආත්ම තෘප්තියෙන්, තවත් මාස එකහමාරකින්, පාසල් ජීවිතයේ බොහොම වැදගත් කඩයිමකට එළැඹෙන, තම්මැන්නාව විදුහලේ සිසුසිවියන්ට සුබ පතමින් කොළඹ බලා එන්නට පිටත් වුණා. කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයෙන් සංවිධාන කෙරුණු මේ අමිල පින්කමේ රසවත් මතකයන් එකතු කරගන්න සහයෝගය දක්වන්න FOS Media ‘විද්‍යා පීඨයේ නිල මාධ්‍ය ඒකකය’ හදවතින්ම එකතු වුණා.

ඉංගිරීසි ගණිතය විද්‍යා හොඳට

කියාදුන්නෙ ඇවිදිල්ලා අපෙ ළඟට

දැනුමෙන් ගුණයෙන් පිබිදෙන්නට ලොවට

‘අභින’ බොහෝ පින් වේවා ඔය හැමට

Image Courtesy : FOS Media