ආයෙත් වෙසක්

Share

පාසල නිම වී මා හා ගෙදර පැමිණෙන නංගීගේ කටින් අද කියවෙන්නේ පහන් කූඩූ තරඟයේ තිබූ කූඩු වල අලංකාරය පිළිබඳ පමණම ය.

පාසලේ තිබූ පහන් කූඩූ තරඟයේ වැඩ වලට උදව් කිරීමට ද මා ගියේ එතරම් උනන්දුවකින් හා සතුටකින් නොවේ. මා එසේ වුවද නංගී නම් ඊට හාත් පසෙකින්ම වෙනස්‍ ය. සමහර විට ඊට හේතුව වන්නට ඇත්තේ නංගීට මතක ඇති කාලයක අප ගෙදර වෙසක් උත්සවයට කිසිදු සැරසිල්ලක් කර නැති නිසා වන්නට පුළුවන.

“අයියේ……”
“ඇයි?”

“මේ පාර වෙසක් එකටවත්…, අපේ ගෙදර කූඩූවක් හදන්නේ නැද්ද…? ” අනුකම්පා සහගත මුහුණකින් යුතුව නංගී ඇසුවාය.
“නෑ, අපි හදන කූඩූවක් නෑ. ” මගෙන් ලැබුණේ අනුකම්පා විරහිත පිළිතුරකි.

” අනේ අයියේ…… , අනේ……” නංගී නැවත නැවතත් ඇවටිලි කරයි.
” එක පාරක් බෑ කියලා කිව්වනේ” මා කියූවේ කේන්තියෙනි. එයින් හිත රිදවා ගත් නංගී දෙනෙතින් කඳුලු නොහෙලා සිටියේ ආයාසයෙන් බව මට පෙණුණි.

මීට වසර 5 කට 6කට පෙර නම් අපේ ගෙදරද ගමේ අනෙකුත් ගෙවල් වල මෙන්ම වෙසක් සැරසිලි වලින් කිසිදු අඩුවක් තිබුණේ නැත. වෙසක් කූඩූ සැදීමට උණබට කපාගෙන එන්නේ ද, කූඩූ ඇලවීමට සව්කොළ ගෙන එන්නේ ද තාත්තාය. තාත්තා උණබට ටික අවශ්‍ය ප්‍රමාණයට කපා කූඩූ සදා දුන් පසු අලංකාර කැටයම්, මෝස්තර යොදමින් කූඩූ ඇලවීමට මුල් තැන ගත්තේ අම්මා ය. කූඩූ වල ඇලවීමට රැලි කැපීමට මා අම්මාට උදව් කරයි. එකල කුඩා දැරියක් වන නංගී පාප්ප මුළු ඇග පුරාම ගා ගන්නා අයුරු මතක් වී මට සිනහ නැගේ.

ඒ වාගේම; ඒ මූසල, මා හද කැබලි වලට ඉරා දමන සිදුවීම වූ වෙසක් පෝය දවස ද අද වාගේ මට මතකය.

“අම්මේ, ටවුමේ තියෙන වෙසක් කූඩූව බලන්න යමු ” මා නොනවත්වා පෙරැත්ත කරන ලද්දේ සිත තුළ තිබූ දැඩි ආශාව නිසාම ය. නංගී රැගෙන රාත්‍රියේදී යෑමට තිබූ අපහසුව නිසා ම
“නංගී ව එක්කගෙන මේ රෑ මටත් යන්න ආමරුයි. ඒ නිසා පුතා තාත්තා එක්ක ගිහින් බලලා එන්නකෝ”
අම්මා පවසන ලදි.

පහන් කූඩූව බැලීමට යන අතරමඟදී මුණ ගැහුණු දන්සල් කිහිපයක් ද තාත්තා හා මා වැඳ ගන්නා ලදි. ටවුමේ තිබූ විශාල පහන් කූඩුව ද මාගේ මතකයෙන් ඉවත් නොවන තවත් දෙයකි. එය කැරකෙන කූඩූවකි. එය වටේට පරිවාර කූඩූ රාශියක් යොදා තිබුණි. සමහර පරිවාර කූඩූ වලට තවත් පරිවාර කූඩූ තිබුණි .කූඩූවට යොදා තිබූ කැටයම්ද මාගේ සිත් ගත්තේය.

“තාත්තේ මේ කැටයම් හරි ලස්සනයිනේ”
“ඉතින් පුතාලාගේ අම්මටත් පුළුවන් ඔය වගේ කැටයම් කපන්න.”

තාත්තා එසේ පැවසූ විට ඊළඟ වසරේ මෙවැනි ලොකු කූඩූවක් අම්මාගේ ද උදව් ගෙන සාදන බවට මා සිතා ගත්තෙමි. තාත්තා මිදුලේ ලොකු මඩුවක් සාදන අයුරු ද, අම්මා අලංකාර කැටයම් කපන අයුරු ද, කැටයම් කැපීමට මම අම්මාට උදව් කරන අයුරු ද,වෙසක් පෝය දවසේ කූඩූව බැලීමට පැමිණි පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇතුළු සියළු දෙනා අපිට සුභ පතන අයුරු ද මනසින් මවමින් ගෙදර එමින් සිටියෙමි.

“කෝ උඹලා තාම ඉස්පිරිතාලෙට ගියේ නැද්ද?” අප දෙසට පැමිණි රෝහිණී නැන්දා ඇසූ පැනයෙන් මම පියවි සිහියෙට පැමිණියෙමි.
“ඉස්පිරිතාලේ යන්නේ මොකටද බන්?” තාත්තා පුදුමයෙන් ඇසුවේය. එම පැනයට රෝහීණී නැන්දා නැගු පිළිතුර ඇසූ තාත්තාට හා මට උන් හිටි තැන් අමතක වී අප වහාම රෝහල වෙත ගියෙමු.

අප යන විටම නංගී වඩාගෙන ආ ලොකු මාමා මා අතින් අල්ලාගෙන පසෙකට ගෙන ගියේය. ඊට ටික වෙලාවකට පසූ දෑසින් කදුලු පෙරමින් පැමිණි තාත්තාගේ පරාජිත මුහුණ මට කිසිදිනක අමතක නොවේ.

“පපුවේ කැක්කුම හැදිලා සෑහෙනන් වේලාවක් ඉදලානේ ඉස්පිරිතාලෙට ගෙනිහින් තියෙන්නේ? කොහෙද ගෙදර කවුරුවත් ඉදලා නෑලූ. අපරාදේ කෙල්ලව බේර ගන්න තිබුණා. ඒකෙන් මේකේන් උනේ මේ පොඩි උන් දෙන්නා අම්මා නැතුව තනි උන එක. ”
මළගෙදර ආ ඇසිලින් ආච්චි අනුකම්පා සහගත ලෙස එසේ පවසන විට මට මා ගැන ඇති වූයේ තරහකි. එදා මම කූඩූව බලන්නට යන්නට පෙරැත්ත නොකරා නම් මගේ අම්මා අදටත් මා ලඟය.

වෙසක් මාසය එනවාට ද මම අකමැති මේ නිසාවෙනි.වෙසක් කාලයට මට ඇති වන්නේ පාළුවෙන් පිරුණු මූසල හැඟීම් පමණකි.වෙසක් කියන විට අනික් ළමයින්ට මතක් වෙන්නේ අලංකාර සැරසිලි වුවද මට මතක් වෙන්නේ අම්මා විතරම ය. වෙසක් සැරසිලි ගැන මට තිබූ බලවත් ආශාව නිසාම අම්මා නැති වූ බවට සිතුවිල්ලකින් මා සිත පෙළයි. එම නිසා මා වෙසක් සැරසිලි කිරීම නවතා දමන ලදි.

අතීතයෙන් වර්තමානයට පැමිණි මා දුටුවේ මා කියූ දෙයින් හිත රිදවාගෙන නංගී කඳුලු සලමින් අඬන අයුරු ය. අම්මා සිටියා නම් කිසිම විටක නංගීට අඬන්නට දෙන්නේ නැත. නංගීට පමණක් නොව අප ගෙදර කිසම කෙනෙකු දුකින් සිටිනවාට අම්මා කැමති නැත. කුඩා ළමයෙකු ලෙස එකළ මා හට වෙසක් සැරසිලි කෙරෙහි තිබූ ආශාව ම දැන් නංගී කෙරෙන් පෙන්නුම් කරයි. එක් අතකට මා කුඩා කාලයේ නම් එම අත්දැකීම් ලබා ගත්තේ ය. නමුත් මාගේ ආත්මාර්ථකාමී සිතුවිලි නංගීගේ ඒ සුන්දර ළමා කාලය නැති කර දැමීම ගැන ද මා හට දුක සිතිණි. අම්මා වෙනුවෙන් නංගීගේ සිනහව නැවත ගෙන ඒමට සිතා ගත්තෙමි. නංගීව ගෙදරට දමා හන්දියට පැමිණ වෙසක් කූඩූවක් සෑදීමට සව්කොල ද ගෙන වත්තේ බට පදුරින් උණ බට ද කපා ගත්තේය. උණ බට ටික සුද්ද කර කපන මා,

“නංගී…, මෙහෙ එන්න. මේ පාර වෙසක් එකට අපිත් කූඩූවක් හදමූ” යනුවෙන් නංගී ඇමතුවා.
එය අසා ගෙතුල සිට සිනා මල් විසිරවමින් දිව ආ නංගීගේ මුහුණ දුටු මට අම්මාගේ මුහුණ මැවී පෙණුණි.

අතීතයේ සිදු වන දුක්බර හෝ සතුටුදායක යන ඕනෑම දෙයක් අතීතයේම අතහැර වර්තමාන තුළ ජීවත් විය යුතු බව මම මේ වෙසක් කාලයේදී අවබෝධ කර ගතිමි.

Written By :Sanduni Prabodha

Image Courtesy : https://bit.ly/3LB51fp

 
Tagged : /