ඇළපාත-ගජමන් වෘතාන්තය

Share

සොඳුරු කිවිඳිය මියගිහින්, අදට (දෙසැම්බර් 15) හරියටම අවුරුදු 205ක් !!!

සිංහල කවියට ළබැඳි ශ්‍රී ලාංකීය අපේ හදවත්වල අදත් හෙටත් කවදත් ”නෝනා” උත්තරීතර නාමය අමරණීයයි.

හෙළයේ මහා කිවිඳියට උපහාරයක්ම වේවා !

සිව්දරු මවකි රන්හුය දෙකකින් බිඳුණු

පෙම්සරු රුවකි සොළොසැ’ති දැරියකි පෙනුණු

සුමියුරු කවකි විඳි හදවත හිරි වැටුණු

බුදුපුත් තෙරකි එරසින් ගිහිගෙට හැරුණු

 

පිබිදෙති නෙළුම් වැව් පිටි මඩ ළඟ පාත

විහිදති සවන් සුවබර දැහැනට මෑත

සැරසෙති තුරුල් කරමින් නිසසල වාත

ඇසුමට රසය මුදලිඳු කවි ඇළපාත

 

හදවත වසඟෙට කන්කලු පද විකුමන්

දස අත හිටිවන කවි පවසන අබිමන්

හිරු සඳු පායති පුද කරනට බුහුමන්

රූබර ලිය කිවිඳිය නෝනා ගජමන්

 

ලියැවෙන කවට පිළිතුරු කවියකි හසුනින්

දැවටෙන රසය නහවා රසයට එසැණින්

ඉගිලෙන කලට කිරි සුද බැබළෙන දසුනින්

නොපෙනෙන යමක් පෙනුණා කවි රස අඳුනින්

 

පෙම් කතාව සරුවට ලියලනු දැනුණා

ගිම් පිපාස වත්සුනු වැසි ඇද හැලුණා

ගම් තුලානෙ තැන තැන කසුකුසු ඇසුණා

නිම් නොදේන කවි දෙහදක මල් පිපුණා

 

විවපත් බිරියටත් හොරා

කිවිඳිය රස පහස කරා

පැල්පතෙ පොඩි යහන පුරා

වින්දා රොන් මලවි’සරා

 

සෙමින් සොඳුරු දින සති කල් ගත වෙන්නේ

කෙමින් පිරුණු කිවිඳිය පෙති වැහැරෙන්නේ

පෙමින් බැඳුණු කවිතුම විරසක වෙන්නේ

වෙමින් දබර නො එන්න පිට වී යන්නේ

 

සැම’තින් ගනඳුර පාළුව පැතිරී ය

දෙනෙතින් උණු කැට පපුගැබ ඇවිලී ය

සසරින් පැතුමක් සෙනෙහෙට පුදලී ය

සියතින් ගෙපැලෙම ඇය දිවි සිඳලී ය

 

කවියෙන් බැඳුණු, කවිකාර හිත් දෙකක ඉපදුණු ලස්සනම ආදරයක ශෝකජනක අවසානය !

කියවන්න. හොයන්න. විඳින්න…..

සිංහල කවියට ආදරය කරන්න !!!

 

Image Courtesy: https://bit.ly/39Lm64N

 
Tagged : / / /