දහසක් මල් විකසිත වන හිමිදිරියේ
පාසල් යන්නට හනිකට ලක ලැහැස්ති වුණේ
වමතේ පොත් මිටියයි දකුණත කුඩේ ගෙනේ
මව්පියන් වැඳ හනික කඩුල්ල පැන දිව ගියේ
කලබලේ නිසා පොත් ටික බිම වැටුණා
නැමී අහුලන්නට මඳක් ඈ නතර වුණා
නරුම රැලක් ඇවිදින් ඈ වටකර ගත්තා
එපා කියද්දී බලෙන් ම කැලයට ඇද්දා
ඈ දැඟලුවා පොරබැන්දා ඒ මේ අත පෙරළුණා
ඇගේ කට වැසුණා සියුම් හඬ දුර නෑසුණා
කෙසේ හෝ බේරෙන්නට තනිව ම සටන් කළා
නමුත් දෛවය සරදම් කළා සුසුම් වා තලේ ගසා ගියා
පොත් පත් ටික සී සී කඩ විසිර ගියා
සුදු ගවුම කෑලි කෑලි වලට ඉරී ගියා
විකසිත මලේ පෙති තැලී පොඩිවුණා
මල පර වී ගොස් නිකම්ම අහකට විසිවුණා
පැයකි දෙකකි වාගේ මෙලෙස ගතවුණේ
නැගිට යන්නට නැත ඇයට ඉඩ ලැබුණේ
ජීවත් වෙන්නයි ඈ සටන් කළේ
ලොකු ගල් ගෙඩිය හිස පුපුරා දෙකඩ කළේ
අනේ අපොයි කිමදෝ මේ සිද්ධ වුණේ
ගම්මුන්ගේ විලාපයයි සැම තැනක ම ඇසුණේ
බැස යන හිරු මළ මුහුදේ සැඟව ගියේ
නොමළ මලක් පෙති අකුලා නික්ම ගියේ
Image Courtesy: https://bit.ly/3HBrecz