ඇමසන් සැබැවින්ම මිහි තලයේ පෙනහැලි ද?

Share

ඇමසන් වැසි වනාන්තරය පෘථිවියේ හරිත කළාලයයි. අක්කර මිලියන 1.4 වපසරියකින් යුතු ලතින් අමෙරිකානු රටවල් 8 ක්  පුරා පැතිර පවතින මෙම වනාන්තරය, පෘථිවිය මත ශේෂව ඇති නිවර්තන වැසි වනාන්තර වල විශාලත්වයෙන් හරි අඩකට හිමිකම් කියයි. ඇමසන්හි අසමසම විශාලත්වය නිසාවෙන්ම එය විවිධ නම් වලින් උපමා කර දැක්වූවත් පෘථිවියේ පෙනහැලි ලෙසින් ඇමසන් වැසි වනාන්තරය නම් කිරීම බොහෝ කලක සිට භාවිතා වන සුලභ යෙදුමකි. පසුගිය වසරේ (2019) ඇමසන් භූමිය දරුණු ලැව් ගිනි මාලාවකින් පිඩා විදීමත්  සමගම “20% ඔක්සිජන් සපයන මිහි තලයේ පෙනහැලි දැවෙයි” යන උදෘත පාඨ විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ද, විද්‍යාඥයින්ට අනුව එය වැරදි අර්ථකථනයකි. ඇමසන් වැසි වනාන්තරයට අද්විතීය වැදගත්කමක් ලබා දීමට දායක වන හේතු රාශියක් තිබුණද පෘථිවියේ ප්‍රමුඛ ඔක්සිජන් දායකයෙකු වීම එයින් එක් හේතුවක් නොවන වග ඔවුන් පැහැදිලි ලෙසම පවසා සිටී.

මැසචුසෙට්ස් හී Wood hole පර්යේෂණ මධ්‍යස්ථානයේ ඇමසන් පිළිබඳ අධ්‍යක්ෂ විද්‍යාඥ Micheal Coe පවසන අන්දමට ඇමසන් වැසි වනාන්තරය පෘථිවියේ පෙනහැලි ලෙසට උපමා කර දැක්වීම කිසිදු සත්‍යතාවයක් නොමැති ප්‍රකාශයකි. ශාක විසින් ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ අතුරුඵලයක් ලෙස ඔක්සිජන් නිපදවීමේදී, තම අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන කාබන්ඩයොක්සයිඩ් (CO2) අණු ප්‍රමාණයට සමාන ඔක්සිජන් (O2) අණු ප්‍රමාණයක් නිපදවනු ලැබේ. වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් හා ඔක්සිජන් ප්‍රතිශතය පිළිවෙළින් 0.5% ක් හා 21% වන අතර සරලව කිවහොත් පෘථිවි වායුගෝලයේ පවතින ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% ක ප්‍රතිශතයක් ශාක මගින් ප්‍රභාසංස්ලේෂණයෙන් නිපදවීමට තරම් ප්‍රමාණවත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලය තුළ නොමැත.

වනාන්තර තුළ සිදුවන ඔක්සිජන් නිෂ්පාදන ක්‍රියාවලිය

වායුගෝලයට ඔක්සිජන් ලබා දෙන විභව පිළිබඳව විද්‍යාඥයින් කිහිපදෙනෙක්ම නිවැරදි ඇස්තමේන්තු අගයන් ඉදිරිපත් කර ඇත. ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරිසර පද්ධති විද්‍යාඥයකු වන Yadvinder Malhi විසින් ඉදිරිපත් කර ඇති ගණනය කිරීම් වලට අනුව, නිවර්තන වැසි වනාන්තර ප්‍රභාසංස්ලේෂණය මගින් 34% ක ප්‍රමාණයකින් භෞමික ඔක්සිජන් නිෂ්පාදනයට දායක වේ. ඇමසන් වැසි වනාන්තරයේ විශාලත්වය මෙයින් අඩකට පමණ සමාන වන අතර දළ වශයෙන් ඇමසන් මගින් 16% ක පමණ භෞමික ඔක්සිජන් නිෂ්පාදනය සිදු කරයි. නමුත් සාගරය තුළ ශාක ප්ලවාංග මගින් සිදුකරන ඔක්සිජන් නිෂ්පාදනය සලකා බලන විට මෙම ප්‍රතිශතය 9% දක්වා පහළ බසින අතර එම 9% ඔක්සිජන් ප්‍රමාණයද ඒ ආකාරයෙන්ම සෘජුව වායුගෝලයට එක් නොවේ. ශාක තම පරිවෘත්තිය ක්‍රියාවලි සදහා ශක්තිය නිපදවන සෛලික ශ්වසනයේදි ඔක්සිජන් ආශ්වාස කර කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. එමනිසා ශාක දිවාකාලයේදී ඔක්සිජන් විමොචක ලෙසද රාත්‍රී කාලයේදී ඔක්සිජන් අවශෝෂක ලෙසද ක්‍රියා කරනු ලබයි.විද්‍යාඥ Malhi ගේ පර්යේෂණ කණ්ඩායමට අනුව ශාක මගින් ප්‍රභාසංස්ලේෂණයේදී නිපදවන ඔක්සිජන් ප්‍රමාණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින්ම සෛලික ශ්වසනය සදහා අවශෝෂණය කරනු ලබයි. එපමණක් නොවේ වැසි වනාන්තර තුළ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් විසින් ඉතිරි ඔක්සිජන් ප්‍රමාණය මළ ශාක හා සත්ත්ව කොටස් වියෝජනය කිරීම සඳහා භාවිතා කෙරේ. එලෙස පූර්ණ ක්‍රියාදාමය සලකා බලන විට ඇමසන් හෝ අනෙකුත් බියෝමයකින් නිපදවන ශුද්ධ ඔක්සිජන් ප්‍රමාණය බින්දුවට ආසන්න අගයක පවතී.

සැබැ ඔක්සිජන් නිපදවන්නන් කවුරුන්ද?

කොලරාඩො ප්‍රාන්ත සරසවියේ වායුගෝල විද්‍යාඥයකු වන Scott Denning පවසන අන්දමට, අප වායුගෝලය තුළ පවතින ඔක්සිජන් සංචිතය රැස්කිරීමේ පැසසුම හිමිවිය යුත්තේ සාගර ශාක ප්ලවාංග (phytoplankton) වෙතටයි. ශාක ප්ලවාංග සාගර පතුලේ සිරවී තිබීම හේතුවෙන්භෞමික පරිසරයෙදී මෙන් වියෝජනය සඳහා ඔක්සිජන් වැය නොවේ. එසේ වසර බිලියන ගණනාවක් පුරා මුදා හැරි ඔක්සිජන් අතිරික්තය මගින් වායුගෝලය තුල 20% ක ඔක්සිජන් ප්‍රතිශතය ගොඩනැගී ඇත. ඔක්සිජන් වායුගෝලයට මුදාහැරීමේ හා වායුගෝලයෙන් අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය සමතුලිතතාවයේ පවතින අතර කාලීන පරිසර පද්ධතියක සිදුවන ප්‍රභාසංස්ලේෂණය හේතුවෙන් මෙම ඔක්සිජන් මට්ටම සැලකිය යුතු වෙනසකට බදුන් නොවේ කෙසේ නමුත් විද්‍යාඥයන්ට අනුව දශක ගණනාවක් පුරා ඇමසන් වනාන්තරය පෘථිවියේ ඔක්සිජන් නිෂ්පාදනයට 20% කින් දායක වන පෘථිවියේ පෙනහැලි ලෙස හැඳින්වීම සන්නිවේදනයේ දී සිදුවූ දෝෂයකි.

ඇමසන් හි අගය

ඔක්සිජන් නිෂ්පාදනය සදහා ඇමසන් වැසි වනාන්තරයෙන් දායකත්වයක් නොලැබුනද එයට ස්වාභාවික හා මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා සිදුවන හානි පිලිබදව තැති ගැනීමට තවත් හේතු බොහොමයක් ඇත.  සියලුම පාරිසරික පද්ධති අතුරින් ඇමසන්; ජෛව විවිධත්වයේ අසමසම ගබඩාවකි.  අසීමිත විවිධත්වයකින් යුත් ශාක හා සත්ත්ව ගහණයද එය නිවහන කොට ගත් ගෝත්‍රික ජනතාවද, තම පූර්ණ අවශ්‍යතා සදහා වනාන්තරය මත යැපෙන අතර ඇමසන්හි ඇති වන කුඩා පරිසර විෂමතාවයකින් වූවද ඔවුන් වදවීයාමේ තර්ජනයට ලක් විය හැක.  වනාන්තරය තුළ සිදුවන උත්ස්වේදනය ක්‍රියාවලිය නිසා දකුණු ඇමරිකානු මහද්වීපය තුළ වර්ෂාපතනය නිසි පරිදි පවත්වාගෙන යෑමට ඇමසන් මහත් දායකත්වයක් සපයයි. එපමණක් නොවේ දිනෙන් දින වායුගෝලය තුළ ඉහළ යන කාබන් ඩයොක්සයිඩ් වායුව විශාල වශයෙන් අවශෝෂණය කර කාලගුණ විපර්යාසයේ ප්‍රතිඵල අවම කිරීමට ඇමසන් වැසි වනාන්තරය හා මධ්‍යම ආසියාවේ නිවර්තන වැසි වනාන්තර මහඟු කර්තව්‍යයක් ඉටු කරයි. එමනිසා පෘථිවියේ පෙනහැලි ලෙස නොව මිහිතලය සිසිල් කරන දැවැන්ත වායු වායුසමීකරණ යන්ත්‍රයක් ලෙස ඇමසන් වැසි වනාන්තරය හැඳින්වීම වඩාත් උචිත බව විද්‍යාඥයින් කියා සිටී

References.

https://www.nationalgeographic.com/environment/2019/08/why-amazon-doesnt-produce-20-percent-worlds-oxygen/
https://www.worldwildlife.org/places/amazon 

Image Credits – SHUTTERSTOCK

 
Tagged : / / /