අම්මා……..

Share

අම්මා……..
තොරතෝංචියක් නැතුව වහින වැස්ස වේලුණු පොලවට ආශිර්වාදයක් වුනත් මගේ හිතෙ තිබුන පෙඟුන ගතිය තවත් වැඩිකලා වගේ මට හිතුනා. කාලයක් තිස්සෙ හිතේ තිබුන දුක් අඳෝනා ඔක්කොම වැස්සත් එක්ක ආයෙමත් දළු දාන්න වගේ කියල මට හිතුණා. ඒ නිසාම මම ඇඳෙන් නැගිටල ජනේලෙ ළඟට ගියේ එකපාරටම හිතට ආව පෙඟුන සුවඳ අලුත් වැස්සෙ හේදෙයිද බලන්න.

වෙනදට අහස පුරා පායල තිබුන තරු එකක්වත් පායල තිබුනෙ නෑ . හඳත් නෑ. සේපාලිකා මල් ඔක්කොම බිම වැටිල තිබුන.මුළු මල් ගහම පාලුවට ගිහින්.අඩුම තරමෙ බමූණෙක්වත් කෑගැහුවෙ නෑ. තනියට උන්නෙ ඉවරයක් නැති වැස්ස විතරයි.

එත්.. එක පාරටම මට මතක් වුණේ හැම උදේකම ,මම මගේ කාමරේ ජනේලෙ අරිද්දි ඇස් දෙකට මුණ ගැහුණු දිරච්ච ඇට්ටේරියා ගහ. එක කොලයක්වත් තිබුනෙ නෑ. ආසවට මලක් පිපුනෙ නෑ.

අපේ අම්ම හැමදාම මට බැන්නා මැරිච්ච ඇට්ටේරිය ගහක් කාමරේ ඉස්සරහ මිදුලෙ තියාගෙන ඉන්නව කියල. එක ගලවන්න දෙන්නෙ නෑ කියල.

අම්ම දැනගෙන හිටියෙ නෑ මමවත් නොදන්න හිතවත් කමක් ඒ ගහත් එක්ක මගෙ තිබුන කියල. ඇටේරියා මල් වල පිරිසුදු සුවඳට මම හැමදාකම ආස කලා කියල අම්ම දැනගෙන උන්නෙ නෑ. ඒ නිසා තමයි, මැරුනත් සුදුමල් පිපුන ඒ ඇට්ටෙරිය ගහ මට වාසනාවන්ත වෙන්න ඇත්තෙ.

එත් මේ වැස්සට ඉරි තැලුණු පොලවෙ තිබුන ඒ හිතවත් ගහ බිමට වැටේවී කියල මට මහ බයක් දැණුනා.

මට ගොඩක් වෙලා යනකල් නින්ඳ ගියේ නෑ. කලුවරට ඇස් පුරුදු උනාම, හින වලට වඩා හරිම ලස්සන රූප ඇස් ඉස්සරහ ඇඳෙනවා. ඒක තමයි ඇත්ත, කලුවරේ තිබුන ලස්සන මගෙ ඇස් හැමදාම දැක්ක. ඒත් මම එක දෙයක් නිසා බය උනා, ඒ මගේ ඇට්ටේරියා ගහ හෙට මම නැගිටිද්දි බිමට වැටිල තියේ ද කියල.උදේ පාන්දට සද්ද නැතුව ඈතට වෙලා මගේ දිහා බලගෙන ඉන්න කවුරුත් නැති වෙද කියල හිතුන.

එත් මට නින්ද යන්න ඇති. මම නොදන්නව වුණාට.

පහුවදා මම නැගිටිද්දිත් වැස්ස. මම ජනේලෙ ලඟට දිව්වට ජනේලෙ අරින්න බෑ කියල හිතුන. ඒත් අම්මගෙ කෑ ගහිල්ලට ම මම ජනේලෙ ඇරිය. මගේ ඇට්ටෙරිය ගහ තිබුන විදිහටම තිබුන. ඒ හිතවත් කම ඒ විදිහටම තිබුන.

මේ විදිහට සති ගාණක් ගත වෙන්න ඇති. වැස්ස මට පුරුදු උනා. ඇට්ටේරිය ගහ ගැන තිබුන බය ටික ටික අඩු වුනා. හිතට තිබුන එකම බය තද සුලඟක් අවොත් කියනෙ දේ විතරමයි. ඒ වෙලාවට මට හිතුන මහා විසාල පර්වතයක් වෙලා සුලඟ නවත්තන්න.

වැහි මාසෙ ඉවරයක් වෙන ගතියක් තිබුනෙ නෑ.හැම උදේකම මම පුරුදු විදිහට ඒ ජනේලෙ ඇරල බැලුව.

ඒත් එදා මම දැකපුදේ මට අදටත් අදහගනන්න අමරුයි.

ඇට්ටේරිය ගහේ දළු. ලා කොල පාටට දළු දෙක තුනක් තිබුනා. මට දැණුන සතුට කොච්චරද කියල කියාගන්න මටවත් බැරි වුනා.

මම නතර වුණේ කුස්සියෙ අම්මගෙ ලඟ. ” අම්මේ ඇටේටේරිය ගහේ දළු දාලා”

අම්ම හැඳි ගාගා උන්න කිරි හොද්ද කැටිගැහෙයි කියන බයට මගේ දිය නොබල ලිප දිහා බලාගෙන ම කිව්වා,,, ”වත්ත පහල තිබුන මහ විසාල කොස් ගහ බිම දාපු අවරෙට වහින මේ වැස්සට දළු දැම්මට ඔය ඇට්ටෙරිය පැලේ බිම දාන එකත් වැඩක් ද , වැස්ස තුරල් කරන්න හිතලවත් නෑ මගෙ පුතේ……” කියල .

අදටත් මගේ කාමරේ ඒ මල් සුවඳිත් පිරුණට , ඒ මල් සුවඳ අම්මගෙ නිමක් නැති ආදර් අනුකම්පාව පිරිල ඉතිරිලා තිබුන කියල මට මතක් කරල දෙනවා. ඒ මල් සුවඳ මගේ මුළු ජීවිතේ ම කියල අවුරුදු ගානක අවසානයේ මට හිතෙනවා .