බෙදා වෙන්කළමුත් බැඳ මහ පවුරු
කිසිදාක කිසිවකුට අයිති නොවූ
මහපොළොව බෙදාගන්නට තැබුණ
සිය දහස් වෙඩි උණ්ඩ…
අඳුරු වැසිබර හවස් වරුවක
මිනිසුන් පිරී ඉතිරුණු දුම්රියක
රහසේ ම සිදු වූ අතවර…
බිම වැටුණු මහත්මා වෙස්මුහුණු…
ලස්සන ම හදවතේ තරමට
පෙනුමින් එළිය නොවූ හින්දා ම
මුවගක නැගුණු සිනා සරදම්…
ඉතිං මේ සෑම විටෙක ම
හෙමි හෙමින් පණ ගිය,
මනුස්සකම…
නමුදු,
ඉරටත් නොකියා ම ගංවතුර ආ දවසක
කියන්ටත් කලියෙන් ම ඇවිදින් උදව් වුණ,
හෙළට පෙරලුණු බස් රියක හිරවුණ
මීට පෙර කිසිදාක හමුනොවුණ ජීවිත
මරුගෙන් ගලවන්ට මරු සමග සටන් කළ,
පුංචි ම කාලයේ හදවතින් ම මැවු සිහින
දරුවන්ගෙ සිහින වෙනුවෙන් උකස් කළ,
හේතු ඇතිමුත් මහගොඩක් අඬන්නට
කඳුළු හංගා තවකෙකුට සවිය දෙන,
ආදරණීය ම දෑස් පත්ලෙහි,
දුටිමි,
මිනිසත්බවට යළි ජීවය පොවන,
අමෘතය…
Image Courtesy :
Cover Image – https://shorturl.at/IpZEL
Written by : A.N.Nanayakkara