කෘතිම බුද්ධිය හා තොරතුරු විසින් පාලනය වන නව ලොවක හැඩරුව

Share

තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව මිනිසාගේ එදානෙදා වැඩකටයුතු පහසු කර ඇති අන්දම ඉතාමත් අනභිභවනීයයි. ස්වයං ධාවන මෝටර් රථ වල (Autonomous vehicles) සිට බුද්ධිමත් ශීතකරණ දක්වා ඉතා විශාල ලෙස පැතිරුණ භාණ්ඩ හා සේවා ගණනාවක් මෙම ක්ෂේත්‍රෙය් දියුණුව නිසා සාමාන්‍ය ජනතාවට ලබාගත හැකිව තිබෙනවා. මේ සියල්ලටම මූලික වන කෘතිම බුද්ධිය එහෙමත් නැත්තං Artificial Intelligence (AI) දැනටමත් මිනිසා අභිබවා ගිහින්.  කෘතිම බුද්ධිය තව දුරටත් දියුණු වෙද්දි ලෝකය මිනිස් පාලනයෙන් ගිලිහෙයිද?

මෙය තවදුරටත් විද්‍යා ප්‍රබන්ධ කතා (science fiction stories) වල තිබෙන දේවල් යයි කියා බැහැර කරන්නට හැකි තත්ත්වයක් නෙවෙයි. අප එදිනෙදා ජීවිතයට කෘතිම බුද්ධියෙන් ගන්නා ප්‍රයෝජනය මෙන් සිය දහස් වාරයක් දරුණු දේවල් සඳහාද කෘතිම බුද්ධිය යෙදවෙන බැව් ඔබ දන්නවාද?

දැලි පිහියෙන් කිරි කෑම

මේ සියල්ලට පෙර Microsoft ආයතනයෙන් Twitter bot කෙනෙක් හඳුන්වා දී පැය 24ක් යන්නට මත්තෙන් සිදුවූ දේ මතකයට නඟා ගැනීම වටිනවා. කෘතිම බුද්ධියක් පාලනයෙන් තොර වුවහොත් සිදුවන්නේ කුමක්දැයි වටහා ගන්නට මෙය තරම් කදිම උදාහරණයක් තවත් නැති තරම්. මුලින් අහිංසක chat bot කෙනෙක් ලෙස කරළියට ආ මේ Twitter bot එක පැය 24ක් යද්දී හිට්ලර්වාදී, ජාතිවාදී සහ කළහකාරී හැසිරීමක් පෙන්වූ මෙම අතත්‍ය රොබෝ කාන්තාව Tweets 96,000ක් publish කර තිබුණා.

ඒ වගේම රුසියානු ජනාධිපතිවරයා කියා තිබූ ආකාරයට කෘතිම බුද්ධිය වඩා හොඳින් පාවිච්චියට ගන්නා රට ලොව බලවතා වේවි. එපමණක් නොවෙයි රුසියාව, ඇමරිකාව සහ චීනය AI ආරක්ෂක පද්ධති (security systems) සඳහා යොදා ගන්නට බලාපොරොත්තු වනවා.  ඉදිරි කාලයේදී න්‍යෂ්ඨික අවි කෘතිම බුද්ධියෙන් පාලනය වේවි. එමෙන්ම දැන් තිබෙන්නේ තොරතුරු සඳහා යුද්ධයක් (information war) නිසා තොරතුරු වලින් සන්නද්ධ රට මේ යුද්ධයෙන් දිනන බවත් පැහැදිලියි. එය මෙම විෂය ක‍්ෂේත්‍රය තුළ සිටින Elon Musk වැනි ඉහළ පෙළේ නිර්මාණකරුවන් පවා සනාථ කර තිබුණා.

මේ දේවල් මේ ගමන් කරන ආකාරයට ලෝක මට්ටමේ ලොකු වෙනසක් මේ සම්බන්ධයෙන් වෙයි කියල හිතන්න පුළුවන්. අවාසනාවකට ලංකාවෙ ගොඩක් දෙනා මේ වෙන දේවල් ගැන දැනුවත් නෑ.

කියන තරමට වඩා කළු යකෙක්

ඉහත කී සියළු දැ සඳහා මේ කෘතිම බුද්ධිය උදව් කරනවා. එහි හොඳ පැත්ත වගේම නරක පැත්ත ගැනත් අපේ අවධානය යොමු වෙන්න ඕන. මේ කෘතිම බුද්ධිය නිසා තොරතුරු යුද්ධය ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබෙනවා. නොමිලේ සපයන ජනයා අතර ප්‍රචලිත සේවා තුළින් ලබාගන්නා තොරතුරු කෘතිම බුද්ධිය යොදවා විශ්ලේශනය කිරීමෙන් සුවිශාල ලාභයක් එම ආයතන ලබාගන්නවා පමණක් නොව එම ආයතන පවතින රටවල් විසින් රාජ්‍ය පාලන සහ විදේශ කටයුතු අවශ්‍යතාවයන් සඳහාත් ලබාගන්නවා.

Facebook සහ Google

එහි Google සහ Facebook වැනි සමාගම් දැවැන්ත කාර්යයක් ඉටු කරමින් සිටිනවා. ඔවුන් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන රටාව තුළට වැදී එකතු කරන තොරතුරු සම්භාරය අති මහත්. චීනය හා රුසියාව මේවාට සමානුපාතිකව විකල්ප (alternatives) ඉදිරිපත් කරමින් තවත් සටන් පෙරමුණක් විවර කරගෙන තියෙනවා. එපමණක් නොව සාම්ප්‍රදායික මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය හරහාත් තොරතුරු විකෘති කර (manipulated information) බෙදාහැරීම, තොරතුරු වාරණය හා සාවද්‍ය තොරතුරු බෙදාහැරීම සිදුවනවා.

Facebook සහ Google උදාහරණයට ගතහොත් අපි යන එන කන බොන දෑ පිළිබඳ පමණක් නොව රැකියාවට අදාළ තොරතුරු පවා දන්නවා. ඒවා අපෙන් බලෙන් ලබාගන්නා තොරතුරු නොව අපි විසින්ම ස්ව කැමැත්තෙන් ඔවුන්ට පූජා කළ තොරතුරු. නව නිර්මාණ පිළිබඳව හුවමාරු වන ඊමේල් වල සිට විශල සමාගම් වල මූල්‍ය තොරතුරු දක්වා විශාල පරාසයක තොරතුරු ඔවුන්ට නිතැතින් ලැබෙනවා. ඔවුන් මෙය කරන්නේ ඊමේල් කියැවීම මගින් අපට පුද්ගලානුබද්ධ සේවාවක් (personalised service) ලබා දෙන බව කියමින්. නමුත් ඔවුන් අපට ආදරේට ඩෙලර් බිලියන ගණන් වියදම් කරමින් නොමිලේ මෙවන් සුපිරි සේවාවක් සපයයිද?

මම වැදගත් කෙනෙක්ද?

මොවුන් මේ තොරතුරු වලින් මොනවාද කරන්නේ යන්න බොහෝ දෙනාට තිබෙන ගැටළුවක්. අප අපේ පහසුවට ඔවුන්ගෙන් නොමිලේ ලබාගන්නා සේවා වල පසුපස ඇත්තේ විශාල තොරතුරු මංකොල්ලයක්. ඔබ හිතනවා ඇති ඔබ වැනි සාමාන්‍ය පුද්ගලයෙකුගේ තොරතුරු වලින් ඔවුන් ඇති ප්‍රයෝජනය කුමක්ද කියා. එමෙන්ම ඔබේ තොරතුරු ඔවුන් ළඟ තිබුණාට ඔවුන්ට එයින් ඔබට කළ හැකි දෙයක් නැහැ වැනි හැඟීමක්. එය වැරදියි!

මෙහිදී සිදු වන්නේ තනි පුද්ගල තොරතුරු ඉලක්ක කිරීමක් නොවෙයි. මෙහිදී ඉලක්ක කරන්නේ සමූහ තොරතුරු. රටක ප්‍රදේශයක ප්‍රාන්තයක ජනයාගෙ හැසිරීම නිරීක්ෂණය හා ඒ ඇසුරින් ලබාගන්නා නිගමන වලින් ඒ ජනයාගේ හැසිරීම පාලනය/වෙනස් කළ හැකි ක්‍රමවේදයක්.

කවුද මේ තුන්වන පාර්ශවය?

ඔවුන්ගේ සේවා ගිවිසුම් කියවා බලා ඇත්නම් ඔබට වැටහේවි, ඔවුන් කිසිම විටක කියා නැහැ ඔබේ තොරතුරු වල රහස්‍ය භාවය සුරකින බවක්. උදාහරණයකට Facebook ගිවිසුම් කොන්දේසි/තොරතුරු ප්‍රතිපත්ති වල පැහැදිලිව සඳහන් කර තිබෙනවා ඔවුන් සමඟ වැඩ කරන තුන්වන පාර්ශව වලට ඔවුන් ඔබේ තොරතුරු ලබා දෙන බව.

මේ තුන්වන පාර්ශවය කවුද? නමින් සඳහන් කර නොතිබුණත් පැහැදිලිවම ඒ රටවල, එනම් උදාහරණයකට ඇමරිකානු රහස් ඔත්තු සේවා මේ තුන්වන පාර්ශවයට අයත්. මේ තුන්වන පාර්ශවයන්ට අවශ්‍ය අධ්‍යයන කටුයුතු සඳහා මේ තොරතුරු ලබා දෙන බව පැහැදිලියි. ඇමරිකානු රහස් ඔත්තු සේවා ක්‍රියා කරන්නෙ ඔබේ යහපතට නොවන බව මා කිව යුතු නැහැ.

රාජ්‍ය මැදිහත් වීම්

මීට අමතරව බලවත් රටවල රාජ්‍ය මැදිහත් වීම මත අති විශාල ජනකායකට (large audience) ආමන්ත්‍රණය කරන මේ සමාගම් විසින් විකෘති කරන ලද තොරුතුරු ලබා දෙන බව සොයාගෙන තිබෙනවා පමණක් නොව, එවැනි ශක්‍යතාවක් ඔවුන් සතු බව හා ඔවුන් එවැනි දෑ සිදු කර ඇති බව/සිදු කරමින් පවතින බව ඔවුන් විසින්ම පිළිගෙන තිබෙනවා. රටෙහි ලොකු කුඩා භේදයකින් තොරව මැතිවරණ ආශ්‍රිතව සිදුවූ ප්‍රවෘත්ති වාරණයන්/වෙනස් කිරීම් මැතිවරණ සඳහා දැඩි බලපෑම් එල්ල වූවා.

වෙනකක් තබා ඔබේ ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවණතායන් අධ්‍යයනය කර Facebook web අඩවියට ඔබේ දැන් පවතින හැඟීම් (mood) දැනගැනීමට හැකිවා පමණක් නොව ඔවුන් විසින් විකෘති කරන ලද හෝ සූක්ෂම ලෙස තෝරාගත් තොරතුරු පමණක් පෙන්වා ඔබේ හැඟීම් පවා Facebook newsfeed එකට වෙනස් කළ හැකි බවත් ඔවුන් විසින් පිළිගෙන තිබෙනවා. එමගින් ඔවුන් වුමනා එපා කම් (විශේෂයෙන් විකෘති තොරතුරු බෙදාහැරීම සම්බන්ධයෙන්) අප හරහා කරවා ගැනීම ඔවුන්ගේ ඉලක්කයයි. Google සමාගම විසින් Google search result තුළ රුසියානු ප්‍රවෘත්ති වාරණය/මුල් පිටුවෙන් ඉවත් කිරීම තවත් වැනි තොරතුරු විකෘති කිරීමකට (information/news manipulation) උදාහරණයක්.

කලින් කී පරිදි තවත් මෙවැනිම කාරණයක් ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානු මැදිහත් වීම ගැන වූ කාරණය. මෙහිදී ඇමරිකාව චෝදනා කරන කාරණයක් රුසියාව විසින් ඇමරිකානු මැතිවරණ සමයේදී නොමඟ යවන සුළු ප්‍රවෘත්ති/කරුණු එළි දැක්වුවාය යන කාරණය. Wikileaks හරහා හෙළි වූ කරුණු මෙම ජනාධිපතිවරණයේදී වැඩිම බලපෑමක් එල්ල වූ කරුණු. මෙහිදී කෘතිම බුද්ධි සම්බන්ධයක් හෝ කෙලින්ම ඡන්ද මෙහෙයුම් පද්ධතිය (voting system) hack කිරීමක් නැති වුවත් තොරතුරු කෙතරම් බලවත්ද යන්න පෙන්වන තවත් කදිම සාක්ෂියක්. Google ආයතනය විසින් මීට සමානුපාතිකව හිලරි ක්ලින්ටන්ට පක්ෂපාතීව search results manipulate කළ බවටත් සාක්ෂි මතුව තිබෙනවා.

පාලනය ගිලිහීම

තවත් එවැනිම සිද්ධියක් තමා යේමනයේ සිදුවූ උද්ඝෝෂණ මාලාව. ඒ සඳහාද මූල බීජය සැපයුවේ Facebook Twitter වැනි සමාජජාල මගින් බව ප්‍රසිද්ධ රහසක්. මෙම උද්ඝෝෂණ මාලාව යෝමනයේ පමණක් නොව අසල්වැසි ආරාබි රටවල් ගණනාවක් හරහා ගොස් මේ වන විටත් පවතින සිරියානු යුද්ධය දක්වා ඇදී ගියා. මෙහිදී දස දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් මිනිසුන් මිය ගියා. මේ පිළිබඳව ඇමරිකාව සහ මීට සම්බන්ධ ආයතන දරන්නේ දැඩි නිහඬතාවක්. ඒවා ගැන රාජ්‍ය නොවන සංවිධානත් නිහඬයි.

මීට අමතරව කෘතිම බුද්ධියේ බලවත් කම සහ භයානක බව ප්‍රත්‍යක්ෂ වන තවත් පර්යේෂණයක් කරළියට පැමිණියා. එනම් Google street view මගින් ලබාගත් ඡායාරූප විමසා එම ප්‍රදේශය තුළ ජනයාගේ හැසිරීම, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රවණතාව, ජන වාර්ගික පදනම වැනි ඉතා සියුම් තොරතුරු රාශියක් හෙළි කරගෙන තිබුණා. එහි ප්‍රකාශ වූ අන්දමට මිනිස් ශ්‍රමයෙන් මේ අධ්‍යයනය සිදු කළේ නම් ඒ සඳහා අවුරුදු 15ක කාලයක් ගත වීමට තිබුණා. නමුත් කෘතිම බුද්ධියට මේ සඳහා ගත වූයේ සති දෙකක් පමණයි.

හිතන්න මේ තාක්ෂණය තවත් කොපමණ දේවල් සඳහා භාවිතා කළ හැකිද? අප බොහොම පැහැදිලිව වචනයෙන් යවනා විද්‍යුත් තැපෑලක (email) සඳහන් කරුණු විශලේශණය කර වැදගත් දෑ පෙරා දීමට (filter) මෙවැනි තාක්ෂණයකට ගත වන්නේ නිමේෂයක්.

උන් හිටි තැන් අහිමි වීම

පෙර අපට අපගේ මවු බසින් ඔවුන්ට හසු නොවී අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව තිබුණා. නමුත් අපි විසින්ම උදව් කර Google සහ Facebook සමාගම් වලට සිංහල පරිවර්තන හැකියාව ලබා දුන්නා. දැන් අපට ඔවුන්ගෙන් වසන් කොට අපගේ මවු බසින්වත් අදහස් හුවමාරු කර ගැනීමට හැකියාවක් නැහැ.

මේ තත්ත්වය ඉතා භයානක එකක්. නමුත් දැන් ආපසු හැරෙන්නට බැරි තරම් අපේ පාලනයෙන් ගිලිහී ගිය තත්ත්වයක්. මෙහිදී සිදුවන දෑ ගැන විමසිල්ලෙන් සිටීමත්, ඔවුන්ට හසු වීමට ඉඩ හරින තොරතුරු මොනවාදැයි තෝරා බේරා ගැනීමත් වැදගත්. තොරතුරු හුවමාරු කරගැනීමේ දී හැකිතාක් කේතනය කළ පණිවිඩ හුවමාරු සේවා (encrypted messaging services) පාවිච්චි කිරීම නුවණට හුරුයි. Whatsapp සහ Telegram මේ සඳහා හොඳ විකල්ප. (සැයු: Whatsapp හි අයිතිය Facebook සමාගම සතුයි. නමුත් දැනට පවතින හොඳම මාධ්‍යයන් වශයෙන් මේ දෙක ගන්නට පුළුවන්)

මෙහිදී කෘතිම බුද්ධියේ නරක පැත්ත ගැන වැඩියෙන් කතා බහට ලක් වූ නමුත් එහි හොඳ පැති ගණනාවකුත් තිබෙන බව මතක් කළ යුතුයි. විද්‍යාර්ථින්/විද්‍යාඥයින් වශයෙන් කෘතිම බුද්ධිය හොඳ දේවල් වලට පමණක් යෙදවීමට වග බලාගන්නට මතක් කරමින් මගේ ලිපිය අවසාන කරනවා.

සාකච්ඡාවට විවෘතයි.

අමතර:

Person of Interest” කතා මාලාව බැලුවොත් කෘතිම බුද්ධියේ ව්‍යසනය ගැන හොඳ අවබෝධයක් ගන්නට හැකි වේවි.

වැඩිදුර කියැවීම්:

Theory of Information Warfare