වැහි කෝඩ හැංගිච්ච
ශාප ලත් දූපතක
පෙනහැලි ගර්තවල
ගැඹුරට ම කිඳා ගිය
විටින් විට දෝරෙ යන
ඉරි තැලුණ
බොර පින්න
පෙරී නොයා තිබුණ
එක් ඝන සෘතුවක්
ආසයි කියා මුමුණමින්
හුදෙකලාවට…
තැඹිලි පැහැ අහසක
රජ වෙච්ච යාමයක
අහඹු හමුවක
මගේ කැඩපත
සොයන්නට
ලැබුණා එක සැරයක්
මධුවිතක්…
ආලෝක වර්ෂ
ගණනක් ඈතින් ඈතට
බෑවුම් නිම්න
මහ ශිඛර
හඹාගෙන…
දිව්වා
මං
මනසින්
නිමක් නොපෙනන
අනන්තය වෙත…
මේඝ වර්ණ පැහැ
වළාකුළු මත
සීත උණුසුම
හා කළ
තාරුකා කැට…
ආත්මයට ම
රුවල් සවිකර
ගර්ත ගැඹුරට ම
ෆිල්ටර් කරගෙන…
ඔහේ ඉගිලෙන
ආලෝක කැට
ලං කළා
නව හුදෙකලාවක්
ඝන සෘතුවට නිමාවක්…
පාද නැතිව ම ඇවිද යන්නට
කියා දුන් ඔබ
හමුවුණත් මට සැඳෑ යාමෙක
ඔබයි මගෙ හදවතේ
සරත් සෘතුව…
Written By : Himansa Minoli
Image Courtesy : https://bit.ly/3c8sypR