මෙයයි බක් මහ පොහොයෙ අසිරිය

Share

කප් කල් පිරුම් සිත් අග දලුලනු දැනුණා

මහලු රුවක් ඈතින් එනු නෙත ගැටුණා

උයන් කෙළිය හැර දා ආපසු හැරුණා

සසර ගමන නවතන’යුරු සිත් බැඳුණා

දහම් ගඟුල පස් වසරක් ගලා ගියා

ලොව සනසන්න බුදු නෙත දිවැසින් හෙළුවා

නා රජු දෙපළ ගැටෙනා’යුරු නෙත ගැටුණා

සිරිලක නාගදීපය සිරිපා තැබුණා

තෘෂ්ණා ද්වේෂ මෝහය සැනෙකින් නිවුණා

මැණික් පළඟ හිඳ බුදුහිමි දම් දෙසුවා

ලක්දිව දහම් සුවඳින් නැහැවී දිලෙනා

අයුරු බලා බක් මහ පුර හඳ දිලුණා

යටගිය දිනෙක භාරතයේ ශුද්ධෝදන රජ දවස සිද්ධාර්ථ කුමරු උයන් කෙළිය බලා පිටත් වන්නේ තම සිත තුළ ඇති නොසන්සුන්කම මඳක් හෝ සංසිඳුවා ගැනීමේ අරමුණෙනි. “ඇවිදීමට දෙපා වාරු නොමැති වැහැරී ගිය මහල්ලෙක්”; අතරමග දී දුටු එම දසුන කුමරු සිත ගිහිගෙය කෙරෙහි කලකිරී හදවත කම්පා කළේය. මහාභිනිෂ්ක්‍රමණයෙහි මූලබීජය වෙමින් සසර පෙර නිමිතීන්හි පළමුවැන්න අද වන් බක් පසළොස්වක දිනෙක දුටු බව සැලකේ.

එලෙස ගිහි ගෙයින් නික්ම නිර්වාණ මාර්ගය අවබෝධ කර ගත් බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ එක් දිනක් මහා කරුණාවෙන් ලෝකය දෙස දිවැස් හෙළන සඳ ශ්‍රී ලංකාද්වීපයේ චූලෝදර සහ මහෝදර නම් නා රජුන් දෙපළක් මැණික් පුටුවක් අරබයා යුද වැදීමට සැරසෙන අයුරු දුටු සේක. සිදු වන්නට නියමිත මහා සංහාරය නවතා නාගදීපයට වැඩම කර ධර්මය දේශනා කරමින් නා රජුන් ඇතුළු පිරිස පංච ශීලයේ පිහිට  වූ එම දිනය බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය ලෙස සැලකේ. මෙය ද බක් පුර පසළොස්වක දිනයක සිදු වීම විශේෂත්වයක් වන අතර උක්ත සඳහන් මැණික් පළඟ තැන්පත් කර නාගදීපයේ චෛත්‍යයක් ද ඉදි කරන ලද බව ශාසන ඉතිහාසය කරුණු දක්වයි.

ඔබ සැමගේ දැහැමි සිත් පහන් වන පින්බර බක් පුර පසළොස්වක පොහෝ දිනක් වේවා!

Image Courtesy: https://bit.ly/3vc91sQ

 
Tagged : / /