අඩුවක් නෑ කෙම්මුර දවසකම හැම

Share

“අඬ අඬා දුක කිය කියා එන කට්ටිය, හිනහ වෙවී සතුටින් ආපහු යන තැනක් මම මගෙ මේ ඇස් දෙකෙන් දැකල තියෙනව නම්, ඒ ඉතිං අපෙ ‘දේවාලය’ විතරයි මහත්තයෝ. නම ගම කියන එක වස් දොස් වෙන නිසා මම ඒ ගැන මොකුත් නොකිය ඉන්නම්. අපෙ අම්ම මුත්තලගෙ කාලෙ ඉඳන් , කවදත් අපි එක්ක උන්නෙ මේ දේවාලය තමයි ඕං….”

වයස නම් අවුරුදු දොළහක් , දහතුනක් ඇති, පුංචි කොලු පැටියා, ඒ ගම්මානෙදි මාත් එක්ක කියාපු කතාව තමයි මේ තියෙන්නෙ… වයස වගෙ ද ඒ පොඩ්ඩගෙ හැකියාව, පැහිච්චිකම, ජීවන අත්දැකීම, හරිම අපූරුයි නේද !!

 

හතරවටින් අන්ධකාරෙ කෑලි කපන පිටිය

කරුංක ගෙඩියක හැඩයට පටලපු කෙස් වැටිය

තැලෙන පෙලෙන බුලත් විටකි කට පුරාම හිටිය

රතු ඇස් බඩ ලොකු බියකරු ඔහු තරමක් මිටිය

 

දෙවොල බොඳ කරන් දැනිච්චි සුවඳ දුම

අඩුවක් නෑ කෙම්මුර දවසකම හැම

අඳුනෙ එළිය කුකුසින් පිරි අසම සම

බය පිරිච්චි ආසාවකි නොදුටු ඉම

 

විවේකයක් නැතුවම කෑ මොර දෙන යක්බෙරය

අණවින කොඩිවින හදි හුදි කරන්න ඉස්තිරය

එගොඩහිනුත් බොහෝ දෙනා ඒ ගන්නට පොරය

පෝලිමෙ කෙළවර ඇත්තේ හොයන්න බැරි දුරය

 

දෙවියන් යක්කුන් එක්කල කරන කතා

කරුණා හද අසරණ වෙත පිහිට පතා

කට වචනෙත් පරේසමට සුරැක ඉතා

කාරණාව දිග හරින්නෙ බියෙනි ගොතා

 

කන්නලව්ව සමඟින් එන සීනු නද

වඩවාලයි භක්තිය පිරි නොතිරි තෙද

පිහිට ලබාලා යන අය දණින් පුද

අඳුර මැකී හැම මුහුණක පිරෙයි  සුද

 

ඉහත්තෑවෙ උන්නත් මහ ලොකු ඇත්තු

පළාතෙවත් එන්නෙ නැතිලු බිය ගත්තු

ගමේ උගත් වැඩිහිටි තව දැනමුත්තු

දෙවොලෙ ආනිසංස හදිනි පිළිගත්තු

 

දුක් නසලා සිත් පුබුදා සතුට සදාලන

සෙත් පතලා රෝ දුරලා හද සනසාලන

නොපෙනෙන ලෝකය දැකලා අපිට කියා දෙන

ගුරුන්නාන්සේ අත්තව දෙවි රැක දෙනු මැන

 

Image Courtesy: https://www.lifie.lk/2019/04/05/05-sri-lankan-devils/

 
Tagged : /