අත්තම්මා

Share

‘අත්තම්මා’, මට නම් එය ගෞරවය යන්නට පර්යාය පදයකි.. අධික කාර්යබහුල දෙමාපියන් දෙපළකගේ කරදරකාරි පුතු වූ මට අත්තම්මා යෝධ සෙවනැල්ලකි.. ඇය නිසලයි, නමුත් ඇය ගැඹුරුයි, ඇය ආදරණීයයි.. එහෙත් එය නොපෙන්වයි, සාගරය මෙන් ආදරය කළ ඇය උගත් ය. නමුත් විභාග සාමාර්ථ නැත, ඇය නැණවත් ය, සරසවිය ඇයට දුර ය. ජීවන තක්සලාව ඇයට ඉගැන්වූ දේ බොහෝ ය.. ඇගේ උකුළ මත ඇඟිල්ලක් උරමින් සිටි මට ඇය කියා දුන් කතාන්දර ඈ ඇගේ මතක පොතෙන් හෙමින් සීරුවේ තෝරාගත් කතා ය.. ඇගේ මතකය තියුණු ය, හෙමින් හෙමින් රස කරමින් කතාව කියයි.. විටෙක ඇය නිහඬ ය, ගැඹුරු හුස්මක් ගනී.. නැවත කතාව අරඹයි.

ඇගේ කතාව මම හෙමින් හෙමින් රස විදී.. මඟ හැරුණු තැන් නැවත අසයි.. අතරමැදි ප්‍රශ්න එමටයි.. අප බැඳුණේ ආදරයෙන් සහ කතාන්දරවලිනි.. ඈ කොන්දේසී විරහිතව කිසිවක් බලාපොරොත්තුවකින් තොරව අප හැමට එක මෙන් ආදරය කළා ය. ඇගේ හදවත් විසාල ය, තේ කෝප්පයේ ගිලෙමින් සිටී කුහුඹුවාට ද ඇගේ හදවතේ ඉඩක් තිබිණි. කුඩා අප උස් මහත් විය.. ඇය සතුටු විය, දිගැති ඇඟිලිවලින් කටුවන් රැවුල අතගාමින් සිනහ විය..”බොලේ රැවුලත් එනවා” ඒ ඇය ය.. මගේ රැවුල එන විට ඇයට වාරු නැති විය.. සෙවනැල්ල මෙන් හැරමිටියක් ඇගේ තනි-නොතනියට ලැබිණි.. නමුත් ඇය සවිමත් ය.. කන්ද උඩ පන්සලට ඈ තනිවම යයි.. “අද දානේ මම මේ ගිහින් එන්නේ” නළලේ දිලිසෙන දාඩිය බිඳු මඟ හරිමින් ඇය සිනහ වෙයි. අත්තම්මා දනට බර ය, ගමේ දුක අසන ඈ හාල්, පොල්, සීනිවලින් දුක නිවයි. “අඩුපාඩුවක් තිබ්බොත් ආපහු වරෙන්කෝ” විධානය ඇයගෙනි. විටෙක ඈ කඳුළු සලයි “අනේ අපේ අප්පොච්චි උන්නා නම් ” කියමින් කඳුළු සලයි, අප තියා අපේ අම්මාවත් එම අප්පොච්චි දැක නැත.. අත්තම්මා කඳුළු සලන්නේ ඒමත් විටක ය, ඇය සැර ය, කුපාඩිකම් කළ විට ගුටි දීමට නොමැළි ය.. දිගැති ඇඟිලිවලින් “චටාස්” ඇගේ බෙහෙත සැර ය.. පසුව තෙල් ගාමින් අප සනසන ඈ ආදරණීය ය.

එකල ඈ කළ කී දෑ මහත් වූ සතුටෙන් ඈ නැවත නැවත මතක් කරයි, නොස්ටැල්ජියානු මතක මා පුබුදයි, මගේ අත්තම්මා සුදු ය.. හරියට සිබිල් වෙත්තසිංහයන්ගේ “මැටි ගෙදර “දරුවන්ගේ අත්තම්මා වාගේම ය. තරුණ කල ඇය හැඩ ය, අත්තා එකල ඈට ආලය කිරීමේ අරුමයක් ද නැත, අපව නැළවූ ඇය මෙන් දෙගුණයක් අප උස ය. කාලය පුදුම ය, මතක කතා එමට ය. ඇගේ මතක පොත පිළිවෙළ ය, නිධාන කතා රසවත්‍ ය, ඕපාදූප ද අඩු නැත.. අත්තම්මා ගමේ පැළයකි. සවිමත් මූලයකි, බිඳ නොවැටෙන එඩියකි.

ඈ ඇගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ අනෙකා වෙනුවෙනි. ස්වාමියා, දරුවන්, මුණුබුරන්, මිණිබිරියන්, ගම්වැසියන්.. ඈ, ඈ ගැන සිතුවාදැයි මම නොදනිමි, නමුත් ඈ දුක් වූ දිනක් මා නොදිටිමි, ඇය දිරිමත් කතකි, සෙනෙහෙබර මවකි, ආදරණීය අත්තම්මෙකි.

ආදරය මඟ හැරීම දුකකි, මව, පියා මඟනොහැරුණ ද ඔබට අත්තම්මා මඟ හැරේ, තුන්වන පරම්පරාව සමඟ ඇගේ යදම බිඳේ.. ඇය තනිවේ.. දරුවන් වැදු මුණුබුරන් මිණිබිරියන් කැටුව සිටි අත්තම්මලා.. අවසන් කාලයේ බිඳුණු බුදු පිළිමයක්, තෙල් සිඳුණු පහනක්, සීතල උනු බත් පතක්, පිනට ගත් බෙහෙත් වඩියක් සහ හෝර්ලික්ස් බෝතලයක් සමඟ තනිවනවා මම දැක ඇත.. ඔවුන් විලාප නඟන්නේ.. හිස් වූ හදවතිනි.. ඔවුන්ගේ වේදනාව තියුණු හී පහරක් මෙන් හදවතට ඇතුළු වන්නේ නහර ඇට කටු ඇදුම් කමිනි, මා එය විඳනවුන් දැක ඇත, කඳුළු පිරුණු දෑසින් අව්‍යාජව සිනහ වෙන එවැනි මුහුණු දැක ඇත.. ඒ අහිමි වීමේ වේදනාවයි.. මම පියවරෙන් පියවර අත්තම්මාව මතක් කළෙමි. මතකයන් පැහැදිලි ය.. විටෙක ‘ඈ මඟ හැරුණා’ යන හැඟීමෙන් මා ත්‍රස්ත වේ. මහත් වූ දුකකින් මා වෙළා ගනී. එය එසේ නම් කඳුළු කැට සඟවා මා ලියන්නෙ ඒ පසුතැවීමේ පාපොච්චාරණයි.

තොලොස්තෝයිට අනුව “හිරු කිරණ සහ අම්මාගේ සෙනෙහස කිසිදා වෙනස් නොවේ”. එය එසේ නම් අත්තම්මාගේ ආදරේ ????

Written By : Theekshana Manujaya
Image Courtesy : https://bit.ly/3bXjT5l

 
Tagged : / / / /