මතකද ඒ අතීතය? මහ රෑ මිදුලට පැනල අහස දිහා බලාගෙන තරු ගැනපු ඒ සොදුරු අතීතය… ඒ සොදුරු ළමා කාලය… අනේ අම්මේ එන්නකෝ. අම්මේ අම්මේ අර තරුව මොකක්ද? ආන්න තරුවක් ඇවිදිනවෝ… කොහෙද තාත්තේ එයා යන්නේ? ප්‍රශ්න ගොඩයි. දවසින් දවස එකින් එක මේ ප්‍රශ්න වලට පිළිතුරු අපට ලැබුණා. නමුත් තවමත් මාගේ රාත්‍රී අහස නම් ප්‍රශ්නාර්ථවලින් පිරිලා.
මේ විශ්වයේ අප නොදන්නා අද්භූත තැන් බොහොමයි.ඒ සමහරක් තැන් වල ගුරුත්වය කෙතරම් ප්‍රබලද යත් අති දැවැන්ත රික්තක ශෝධකයක් (Vacuum Cleaner) මෙන් ඒ අසලට එන සෑම දෙයක්ම, එනම් ඕනෑම පදාර්ථයක්උරාගන්නවා.සමහරවිට එසේ ළං වූ දෙය තරුවක් හෝ වල්ගා තරුවක් හෝ ග්‍රහ ලෝකයක් හෝ වාත වලාවක් හෝ විය හැකියි. ඒවා කොතරම් විශාල වුවත් ඊට ප්‍රශ්නයක් නෑ. අප ජීවත්වන පෘථිවිය ඇතුළු මුළු සෞරග්‍රහ මණ්ඩලයම වුවත් ගිලගන්න එවැනි දැවැන්ත රික්තක ශෝධකයක් බදු තැනකට මහ වෙලාවක් ගතවෙන්නේ නෑ.
විශ්වයේ ඇති මේ අද්භූත තැන් එහෙමත් නැතිනම් රික්තක ශෝධක හැදින්වෙන්නේ “කළු කුහර” කියලයි. මේවා ඇසට නොපෙනුනත් තමන්ට හසුවන ඕනෑම ආලෝකයක් වුවත් ගිලගැනීමට සමත් වෙනවා. මෙසේ ගිලගැනීමේදී එහි ස්කන්ධය හැකිළෙනවා. අනන්තයට පත්වෙමින් සදහටම නොපෙනී යනවා. මේ අයුරින් අති ප්‍රබල ගුරුත්වාකර්ෂණයකින් ඒ අසලට එන ඕනෑම ආලෝකයක් ගිලගන්නා නිසයි “කළු කුහර “ යන නම ඒවාට පටබැදුණේ. මෙවැන්නක පවතින ගුරුත්වය කෙතරම් ප්‍රබලද කියනවා නම් එයින් කාලය හා අවකාශය කෙරෙහිද බලපෑමක් එල්ල වෙනවා. කාලයේ වේගය අඩුවී, අවකාශය පුළුල් කර විහිදෙනවා.
කළු කුහර පැවතීම පිළිබදව ප්‍රථම වරට සාකච්ඡාවට ලක් වූයේ 18 වන සියවසේදීයි. මේ පිළිබදව ජෝන් මිචෙල් සහ පියරේ සයිමන් ලෙප්ලේස් යන විද්‍යාඥවරුන් දෙදෙනා එකිනෙකාට ස්වාධීනව තර්ක කරනු ලැබුවා. “කළු කුහරය” යන නම ප්‍රථමයෙන්ම හදුන්වාදෙනු ලැබූයේ 1967 දී ඇමෙරිකානු ජාතික භෞතික විද්‍යාඥවරයෙක් වූ ජෝන් ආචිබෝල්ඩ් වීලර් විසිනුයි.


ඉතින් කොහොමද මේ කළු කුහර සෑදෙන්නේ? ඔයාලට ප්‍රශ්නයක් ඇති. කළු කුහරයක් නිර්මාණය වීමට නම් අධික ගුරුත්වයක් පැවතිය යුතුයි. එතරම් ප්‍රබල ගුරුත්වයක් පැවතීමට නම් ඉතා දැඩි ඝනත්වයක් පැවතිය යුතුයි. එනම් අති දැවැන්ත ස්කන්ධයක් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක අඩංගු විය යුතුයි. එසේනම් කෙසේද මෙය සිදුවෙන්නේ? සරලවම කියනවා නම් වස්තුවක් එහි ස්වයං ගුරුත්වාකර්ෂණ බලයෙන් ඇති කරනු ලබන සම්පීඩන බලයට එරෙහිවීමට නොහැකි අවස්ථාවකට පත් වූ විටයි කළු කුහරයක් නිර්මාණය වන්නේ. 1939 දී ඇමෙරිකානු ජාතික භෞතික විද්‍යාඥවරුන් දෙපලක් වන හාට්ලන්ඩ් එස්.ස්නයිඩර් සහ ජේ.රොබට් ඕපෙන්හයිමර් විසින් හෙළිදරව් කළ පරිදි, විනාශවෙමින් පවතින විශාල තරු බොහෝදුරට කළු කුහර බවට පත් විය හැකි බවයි බොහෝදෙනාගේ අදහස වී ඇත්තේ. ඔබ දන්නවාද, 1916 දී ජර්මන් තාරකා විද්‍යාඥ කාල් ස්වෝස්චයිල්ඩ් මේ පිළිබදව කළ ගණනයකට අනුව ඔහු පෙන්වාදෙනු ලැබුවා අපේ සූර්යයා වැනි තරුවක් සියල්ල උරාගතහැකි මට්ටමට ඝනත්වයෙන් වැඩි වීමට නම් දැනට එහි ඇති විෂ්කම්භය වූ කිලෝ මීටර් 1,392,000 ප්‍රමාණය කිලෝ මීටර් 3ක් තරමට හැකිළෙන්න ඕනෑ බව. අපේ පෘථිවිය නම් ඒ තත්වයට පත්වීමට ජිල් බෝලයක් තරමට හැකිළිය යුතුයි. බය වුණාද? බයවෙන්න එපා. අපේ සූර්යයාගේ සහ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය ඒවායේ සම්පීඩනයට එරෙහිව ක්‍රියාකරන අභ්‍යන්තර පරමාණුක සහ න්‍යෂ්ටික බලයන් ඉක්මවා යාමට තරම් ප්‍රමාණවත් නොවන නිසා කිසිදිනෙක අපිට ඒ අත්දැකීම නම් විදගැනීමට ඉඩක් නොලැබේවි.


ඇත්තටම මේ විශ්වය තුල කළු කුහර කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද? ඒක හරියට මුහුදු වෙරළක වැලි කැට කීයක් තියෙනවද කියල අහනවා වගේ ප්‍රශ්නයක්. නමුත් අපිට පුළුවන් දළ ගණනය කිරීමක් කරන්න. අපේ මන්දාකිණිය තුල තරු බිලියන 100ක් පමණ පවතිනවා. මේ තරු දහසකින් එකක විශාලත්වය, කළු කුහරයක් සෑදීමට තරම් ප්‍රමාණවත්. එසේනම් අපේ මන්දාකිණිය තුළ පමණක් කළු කුහර මිලියන 100ක් පමණ තිබිය යුතුයි. මුළු විශ්වය තුලම මන්දාකිණි බිලියන 100ක් පමණ ඇතැයි ගණන් බලා තිබෙනවා. එසේනම් විශ්වය තුල පවතින කළු කුහර සංඛ්‍යාව ඔබට සිතාගත හැකිද? මිලියන 10,000ක්. එනම් සෑම තත්පරයකදීම මේ විශ්වයේ කොතැනක හෝ කළු කුහරයක් බිහිවන බව ඔබ දන්නවාද?

රාත්‍රී අහස ගුප්තයි, අද්භුතයි. ඒ ගුප්ත අද්භූත රාත්‍රී අහස විශ්මිත සුන්දර තැනක් කරන රාත්‍රී අහසේ තවත් එක් සොදුරු ඉසව්වකින් නැවත හමුවෙමු.
References: http://hubblesite.org
Images:
http://hubblesite.org