පිටු අතර සැඟවෙමු…

Share

සුවඳකට සිතක් මෙතරම් පුබුදුවන්න ට හැකිද?. ඒ සුවඳ දැනෙනා සෑම වාරයකම මගේ සිතට නැගෙනුයේ එකී  පැනයයි. එහි ආස්වාදය හඳුනන්නේ අලුත් පොතක නැවුම් පිටු අතුරින් හමා එන්නාවූ ඒ සුවඳ විඳ ඇත්තවුන් පමණක්ම ය. ජනවහරෙන් පවසන්නාක් මෙන්  “පොත් ගුල්ලන්ය”.

එක් පුංචි අකුරකට පවා සිතට කෙතරම්  ප්‍රබල බලපෑමක් කළ හැකිද යන්න තේරුම් ගන්නට නම් හොඳ පොතක ආස්වාදය ලබා තිබිය යුතුමය. පිටු කිහිපයකින් පාඨකයාව ලොව පුරා රැගෙන යාමට තරම් හැකියාවක් පොතකට තිබීම ඇත්තෙන්ම පුදුමයකි.

පොත් තුළින් මා සමාජය දුටුවෙමි. හමු වූ මිනිසුන් බොහෝමයකි. විටෙක නොරිකෝ දෙවොන්දරසං වැනි හමු නොවීම වෙන්වුණු ආදරවන්තයන්ද, තවත් විටෙක අල්තීනායි සහ දුයිශෙන්ලාගේ පොප්ලර් ගස මා සිත තුළ ජීවමාන වන්නට විය. පොතක් ජීවිතයේ කැඩපත මෙන් වෙයි. එහෙත් වචන සමූහයක් තිබූ නමුත් සෑම පොතක්ම හොඳ පොතක් වන්නේද නැත. පොතක සහ හොඳ පොතක වෙනස තේරුම් ගන්නට නම් මා පෙර කී පරිදි පොත් ගුල්ලෙකු විය යුතුමය.

අකුරු කියවන්නට හැකි වූ දින පටන් අම්මාගේ රාජකාරිය වූයේ ඇය දකින දකින සෑම කතා පොතක්ම මා හට ගෙනැවිත් එය මා ලවා ශබ්ද නගා කියැවීමය. එය වූ කලී එකල මා හට මහත් වූ හිසරදයක් වන්නට විය. මට මෙන්ම ඔබටද එවන් වූ කාලයක් තිබෙන්නට ඇති බැව් නිසැකය. එහෙත් කාලයත් සමඟ හත අට ශ්‍රේණියන්හීදී පොත් කියවීම විනෝදාංශයටත් එහා ගිය දෙයක් බවට පත් වූයේ නිරායාසයෙනි. පාඩම් පොත් වෙනුවට ෂර්ලොක් හෝම්ස් දෙස බලා සිට ගුරුවරුන්ගෙන් බැනුම් ඇසූ අවස්ථාද නොතිබුණා නොවේ. එහෙත් වයසින් වැඩෙත්ම ජීවිතය සංකීර්ණ වී ඇත. එකල දවසින් කියවා නිමා කළ පොතක් අද කියවීමට මාසයක් පමණ යයි. විෂයානුබද්ධ පොත් සමඟ වෙනත් පොතක් කියවීමට නොහැකි තරම් කාර්යබහුල වී ඇත. මෙය කියවන ඔබද පොත් තුළ අතරමං වීමට ලොල් වූ අයෙකුනම් ඔබටද එසේම සිදුවී තිබෙන්නට ඇත.

කාලයක් නොමැති වන්නට පුළුවන. එහෙත් මසකට සාහිත්‍යමය වටිනාකමින් යුතු එක් පොතක් හෝ කියවන්නේනම් එය කාර්යබහුල වූ මනසටද විවේකයක් ගෙන දෙන්නක් වනු ඇත. ඉතිං මේ එළඹී ඇත්තේ පොත් ජීවිතය කර ගත්තවුන්ගේ මාසයයි; සාහිත්‍ය මාසයයි. එක් පොතක් හෝ මෙම මාසයේදීවත් කියවන්නට උත්සාහ කරමු. සැප්තැම්බර් 21 සිට 30 දක්වා දින 10ක් මුළුල්ලේ පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අලුත් පොත් වලින් හමන සුවඳ විඳගන්නට ආරාධනා!!.

 

Image Courtesy : https://bit.ly/2CA0ABg

 
Tagged : /