ඇමතුම්

Share

 

“…ට්‍රීං…ට්‍රීං…ට්‍රීං…ට්‍රීං..” දුරකථනය නාදවෙනවා. ඉවරයක් නැතුව නාද වෙනවා.

“…කමක් නෑ…” ඔහු නිදාගෙන ම හිතුවා. “…ට්‍රීං…ට්‍රීං…ට්‍රීං…ට්‍රීං..” ආයෙත් මේ කරදරේ කරදර කරනව නෙ. “…මොන කරදරයක් ද?.. මගෙ නින්දත් කඩනවා…මේ ළඟ දි ඉඳල මේ කරදරේ වැඩි වෙලා..” ඔහු ආයෙත් අනෙක් ඇලයට හැරිලා ඇස් පියා ගත්තා. තත්පරයෙන් නැනෝ පංගුවක් යන්නත් කලියෙන් මෙන්න ආයෙත්.. “…ට්‍රීං…ට්‍රීං…ට්‍රීං…ට්‍රීං..”

ඔහු දුරකථනය කනේ තියා ගත්තෙ මේ කන් කරච්චලේ අහන් ඉන්න බැරි ම තැන.

“.. හෙලෝ..”

“..හෙලෝ.. හෙලෝ.. මං කොච්චර ගත්ත ද? ඇයි කතා කරන්න බැරි ද? …” ඔහු ගේ දෑස විසල් වුණා. රිසිවරය දිහා බැලුනේ ඉබේට ම වගේ. අනේ මන්දා හරි ම පුදුමයි.

“.. කවු ද මේ මහත්මයා?..” ඔහුගෙන් පැනයක්.

“..මහත්මයා නෙවි මම වට්සැප් ඇමතුම්කාරයෙක්..” දුරකතනයේ එහා කොනේ හිටපු කෙනා කියුවා.

“..හොඳයි දැන් ඔය වට්සැප් මහත්මය ඇයි මගෙ සුව නින්දට බාධා කලේ?..” ඔහු බොහෝ ම විනීත විදිහට ඇහුවා. හැබැයි ප්‍රතිවාදියා නම් හරියට බෲටස් වගේ. කතාව හරි ම වේගවත්.

“.. හෙලෝ හෙලෝ…”

මොකට මෙච්චර කලබල වෙනව ද මන්දා. සාහිත්‍ය හදාරපු කෙනෙක් නම් කොහෙත් ම වෙන්ට බෑ.

“… ආ.. ඔව් කියන්න.. මේ ශේක්ස්පියර් කතා කරනවා..” ඔහු සුපුරුදු වැදගත් ගාම්භීර හඬින් ම පිළිතුරු දුන්නා. වට්සැප් මහත්තය හුම් සද්දයක් නැතුව හිටියා. ටික වෙලාවකින්  ආයිත් කටහඬ පටන් ගත්තා.

“.. සමාවෙන්න මිස්ටර් ශේක්ස්පියර්.. මම මේ අන්තර්ජාතික සාහිත්‍ය හා නාට්‍ය සංගමයේ ප්‍රධානියා. අපට ඔබෙන් ඉක්මන් උදව් ඕනි..” දුරකතනයෙන් ඇහුණා.

“සාහිත්‍යකරුවෙක්! මේ තරම් භාව ප්‍රකෝප වුණ!…” ඔහුට හිතුණා. මොනව වුණත් මේ තරම් දවසක් කතා කලේ උදව් අත්‍යවශ්‍ය හින්ද වෙන්න ඕන. “ඉතින් සාහිත්‍ය ප්‍රධානීතුමනි, මොකක් ද ඕනි උපකාරය?..”

“..කීන් කීන් කීන්….”

ඇමතුම විසන්ධි වුණා. ඒත් එක පාරට ම ලොකූ තිරයක රූපයක් මතු වුණා.මහ අමුතු රූපයක්. ඔළුව උඩ පෑන්, පැන්සල්, මකන කැලි; කඳ පුරා රංග භූමි, අත්වල කකුල්වල වගේ ම මූණෙත් දිගට හරහට පළලට හැම අතකට ම සාහිත්‍ය ගැන වාක්‍ය කොටලා. හරි පුදුමයි. පිටසක්වළ ජීව්යෙක්වත් ද!!! ඒ රූපය කතා කරන්න ගත්තා.

“.. මම තමයි අර කතා කරපු ප්‍රධානියා. ඔබතුමාට පේනවා ඇති නෙ මම මුළු සිරුරෙන් ම සාහිත්‍ය වෙනුවෙන් කැප වෙලා..” ප්‍රධානියා දිග හෑල්ලක් කියවගෙන ගියා.

“.. මේ පුද්ගලයගෙ හදවත කොයි තරම් කලාකාමී ඇති ද?..” ඔහුගෙ කල්පනාව බිඳ වැටුණේ ප්‍රධානියා උගුර එහෙ ම පාදලා කතාව පටන් ගත්ත නිසා.

“.. ශේක්ස්පියර් මහත්මයා පොඩියක් මාත් එක්ක එමුකො..” රූප ප්‍රධානියගෙන් ඔහු ට ආරාධනාවක්. කාලෙකින් ලෝකෙ දිහාවත් බලන්න බැරි වුණ නිසා ඔහු බොහෝ ම කැමැත්තෙන් ප්‍රධානියා එක්ක යන්න එකඟ වුණා.

 

ප්‍රධානියා ව නම් දකින ඕන කෙනෙක් ට පේනවා අනාගත කලාව රැක ගන්න ඉන්න පුරෝගාමියෙක් කියලා. ඒත් ඔහු ; ශේක්ස්පියර්, බොහො ම සාමන්‍ය මිනිසෙක් වගේ. ප්‍රධානියා හරි ම උජාරුවෙනුත් ශේක්ස්පියර් මහතා හරි ම නිරහංකාරවත් අන්තර්ජංජාල ලෝකෙට ඇතුළු වුණා. අවුරුදු හාරසියයක් ඇතුළත කොයි තරම් නම් දේවල් වෙනස් වෙලා ද? එක එක පාරවල් ගොඩයි. ඉන්ස්ටර්ග්‍රෑම් පාර, ටුවිටර් පාර….. එකී මෙකී නොකී පාරවල් ගොඩයි. ප්‍රධානියා ඔහුත් එක්ක තරු දහයේ ‘පේස් බුකී’ හෝටල් සංකීර්ණයට  ආවා. ඔහු තුෂ්නිම්භූත වෙලා වටපිට බැලුවා.

“.. එන්න එන්න මිස්ටර් ශේක්ස්පියර්.. අපි යමු මගේ කොත්තු කඩේට..”

සාහිත්‍යකරුවෙක්ට කොත්තු කඩයක් !!!! බොහෝ ම තදින් කොත්තු ගහන සද්දෙ ඇහෙනවා. ලොකු අකුරින් ලියල තිබුණ කොත්තු කඩේ නම නම් හරි ම අපූරුයි. ‘ දොළොස්වැනි රාත්‍රියේ හේතුවක් නැති කලබල මැද ග්‍රීෂ්ම සිහින විඳගන්න එන්න. වැනීසියේ හැම්ලට් වෙළෙන්දාගේ කොත්තු කඩයට.’

“.. හරි පුදුම නමක් නෙ..” ඔහුට කියවුණා. ඒ එක්ක ම ඔහුගේ මතකයට ආවෙ ඔහුගේ ම නිර්මාණවල නම්. කොහො ම කොහො ම හරි ඔහු ප්‍රධානියාගේ කඩේ ඇතුළට ආවා. කඩේ ඇතුලේ ප්‍රධානියාගේ ලොකු පින්තූරයක් ගහලා මොකක් ද එ යටින් ලියලා තියෙන්නෙ?

“.. නූතන ශේක්ස්පියර් !!!..” ශේක්ස්පියර් මහතා බොහො ම අමාරුවෙන් කියව ගත්තා.

“..කමක් නෑ. කවුරු හරි කෙනෙක් මගේ අඩි පාරේ ගිහින් සාහිත්‍ය ලෝකෙට සේවයක් කරනව නම් කොච්චර දෙයක් ද..” ඔහුට හිතුණා.

“..ටක..ටක..ටක…ටක..ටක…”

කොත්තු ගහන වැඩෙත් කරන්නේ ප්‍රධානියාමයි. පව් හරියට මහන්සි වෙනවා. මේ අතරෙ ප්‍රධානියා දාන කොත්තුවේ අමුද්‍රව්‍ය දිහා ඔහු ට බැලුණෙ අහම්බෙන් වගේ. අමුද්‍රව්‍ය ඔක්කො ම වගේ ඔහුගේ ම ග්‍රන්ථ හා නට්‍ය පිටපත්වල කොටස්. ඒ හැම සුඛාන්ත, දුක්ඛාන්ත, සොනට් ඔක්කො ම හරි ලස්සනට කොත්තු ලෑල්ල උඩ මිශ්‍ර වෙනවා. ප්‍රධානියා හිනාවෙලා ඔහු දිහා බැලුවා.

 

“.. මේ මිස්ටර් ශේක්ස්පියර්, මං ඊයෙ දාපු කොත්තුව දැන් ඔය රූප පෙට්ටිය ඇතුළෙ ඇති. රසවිඳල බලන්නකො හොඳයි ද කියලා..”  ඔහු ප්‍රතිඋත්තර නොදී රූප පෙට්ටිය ඇරලා බැලුවා. ඒක ඇතුළෙ තිබුනේ අලුත් ම ජාතියේ  ‘නගා මේට්ටි’ කොත්තුවක්.!!

 

“.. මිනිහා මස් රාත්තල ම ඉල්ලනවා..” සුරූපී බවින් දිලිසෙන ජුලියට්, හැම්ලට් කුමාරයා ට කියුවා.  “..දිලිසෙන සියල්ල රත්තරන් නෙවෙයි නෙ..” ජුලියස් සීසර් 4 වෙනි හෙන්රි  රජතුමාට කියුවෙ ඉරිසියාවෙන් වගේ. ඔතෙලෝ ඒ වෙනකොට බලන් හිටියෙ බෲටස් ගෙන් මස් රාත්තල ම ගන්න. රෝමියෝ එතනට ඇවිත් අසරණ බෲටස් ගෙ බය නැති කලේ මෙහෙ ම කිය කියා.

 

“..නිර්භීත පුද්ගලයෝ මරණයට පෙර කිහිප වරක් ම මැරෙති. බියගුල්ලා මැරෙන්නේ එක් වරක් පමණි..” ඔය කතාවට වැනීසියෙ වෙළෙන්දා ට නම් හොඳට ම හිනා. “..මියෙම් ද නොමියෙම් ද.. ප්‍රශ්නය එයයි..” වෙළෙන්දා මැක්බත් ට කියුවා. ක්ලියෝපැට්‍රා ඈතට වෙලා දුකින් බලන් හිටියා.

 

“..මතු සම්බන්ධයි. හෙටත් තවත් කොටසක් බලාපොරොත්තු වන්න..” තිරයේ වැටුණා. ඊට පහළින් පොල් ගෙඩි අකුරින් ‘ තිර රචනය සහ අධ්‍යක්ෂණ්ය නූතන ශේක්ස්පියර් ‘ කියලා ලියලා, ලොකු පිංතූරෙකුත් දාලා තිබ්බා.

 

අපේ ඔහු; ඒ කියන්නෙ ඇත්ත ම ඇත්ත ශේක්ස්පියර් ගේ ඇස්වලට කඳුළු ආවා. කතා කරගන්න වචනත් නැති වුණා. ප්‍රධානියා ඒ දිහා බලන් ඉඳලා එකපාරට ඔහු ව බදාගත්තා.

 

“.. මම දන්නවා මිස්ටර් ශේක්ස්පියර්ගෙ ඇස්වල තියෙන්නෙ සතුටු කඳුළු. මට ඕන කරල තිබ්බ උදව්ව අන්න ඒක. ඔබෙන් හැඟීම්බර කතාවක්. මම තමයි ශ්‍රේෂ්ඨත ම කලාකරු, මම තමයි ඔබේ අනුප්‍රාප්තිකයා කියලා කතාවක්..” ප්‍රධානියා කියවනවා. ඔහේ කියවනවා.

 

පුළුවන් උපරි ම වෙර දාලා නැගිටපු අපේ ශේක්ස්පියර් වේගයෙන් දුවන්න ගත්තා. දවසක් ආපස්සට දිව්වා, සතියක් ආපස්සට දිව්වා, මාසයක් ආපස්සට දිව්වා. මාස හයක්, අවුරුද්දක්, අවුරුදු සීයක්, අවුරුදු දෙසීයක්, අවුරුදු තුන්සීයක් නෙවී අවුරුදු හාරසීයක් ම ආපස්සට දුවපු ඔහු ආයෙත් 1616.04.23 පාංශු ගොඩනැගිල්ලට ඇතුල් වෙලා ඉක්මනට දොර වහ ගත්තා. ඔහු වටේ ට හිටි ඔහුගේ සාහිත්‍ය අංගවලින් උපරි ම ප්‍රයෝජන ගත්තු පාංශුවාසීන් ඔහුව ආරක්ෂා කළා.

 

රෝමියෝ ජුලියට් ව හොයා ගත්තා. බෲටස් ජුලියස් සීසර් ට පිහියෙන් ඇන්නා. වැනීසියෙ වෙළෙන්දාගෙ ගැටළුව අපූරුවට විසඳුණා .

 

දැන් ඔහු ට සතුටුයි. ඔහු වහා ක්‍රියාත්මක වුණා. දුරකතනය ඉවත් කරලා දැම්මා. නූතන ශේක්ස්පියර් ගෙ රූපෙ බිම වැටිලා කුඩු වෙලා යන්න ගියේ ටික වෙලාවයි. ඇත්ත ශේක්ස්පියර් ට ආයි කරදර වුනෙත් නෑ. ඇයි දුරකථනය නෑනෙ.

 

ඒත්…

 

“…ට්‍රීං..ට්‍රීං..ට්‍රීං…….”

 

ඒ නාද වුණේ ඔහුට ගොඩක් ඇතින් ඉන්දපු මැක්සිම් ගෝර්කි ගෙ දුරකතනය……

 

Written By ; Sahashra  Dinasiri

Image Courtesy : https://bit.ly/3hJ2n6U

 
Tagged : / /