චංගී-4 ඉඟි කරනා සඳ මතුපිට ලියළන අනාගතය

Share

පසුගිය ජනවාරි 3 වන බ්‍රහස්පතින්දා දිනයේ චීනය චංගී-4 යානය සාර්ථක ලෙස සඳ මතට ගොඩ බෑමට සමත් විය. මෙය චීනය විසින් සඳ මත සාර්ථක ලෙස ගොඩ බැස්වූ දෙවෙනි යානය වේ. එමෙන් ම සඳේ අඳුරු පෙදෙසට කිසිදු උවදුරකින් තොරව ලඟා වූ පළමු යානය ද මෙයයි.

චීන වැසියන්ගේ විශ්වාසයට අනුව “චංගී” යන සඳට අධිපති දෙවියන්ගේ නමින් මෙම ව්‍යාපෘතිය නම් කර ඇත. චංගී 1 හා 2 යානා පිළිවෙලින් 2007 හා 2010 වර්ෂන්හි සඳේ කක්ෂය තෙක් ගමන් කිරීමට සමත් වූ අතර චංගී -3 යානය සඳේ මෑත ප්‍රදේශයේ ගොඩබැස ගමන් කිරීමට සමත් විය. “චංගී-4” යානයේ ප්‍රධාන අරමුණ වූයේ ඉහත පරිදි සඳේ අඳුරු ප්‍රදේශය මත සාර්ථක ව ගොඩ බැසීමයි. චංගී-4 යානය මුළින් ම ගමන් කිරීමට නියමිත ව තිබුනේ 2015 වසරේ වුවත් මෙම මෙහෙයුමට පසුව එක් කරනු ලැබූ වෙනස්කම් හේතුවෙන් එය 2018 තෙක් කල් ගත විය. ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 7 වන දිනයේ චංගී-4 යානය දියත් කෙරිණ. එය සඳේ කක්ෂය තුළට දෙසැම්බර් 12 වැනිදා ඇතුළ් වූ අතර, 2019 ජනවාරි 03 දින සඳ මතුපිටට ගොඩ බැසීය. මෙම මෙහෙයුමේ අරමුණ වූයේ සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ පෙදෙසෙහි වයස සහ සංයුතිය පිළිබඳව සොයා බැලීමයි.

මෙහෙයුමේ ප්‍රධාන කොටසක් නොවූවත් කුඩා පර්යේෂණ සංරචකයක් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. එනම් චංගී-4 යානය විසින් සඳ මතුපිටට ගෙන යනු ලැබූ ක්ෂුද්‍ර-ජෛවගෝලයයි. චීන පුවත්පත් වාර්තා කරන ආකාරයට මෙම අදහස ක්‍රියාත්මක කරනු ලැබුවේ එරට තරුණ පරපුර අතර අභ්‍යාවකාශ ගවේෂණය හා ප්‍රභාසංස්ලේෂණය පිළිබඳ උනන්දුව සහ පරිකල්පන හැකියාවන් වැඩි දියුණු කිරීමේ පියවරක ප්‍රථිපලයක් වශයෙනි. චීන ජාතික අභ්‍යාවකාශ සංවිධානය, අධ්‍යාපන අමාත්‍යාංශය, චීනයේ විද්‍යා විෂයයන් පිළිබඳ විද්‍යායතනය, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ චීන සමුළුව තවත් සංවිධාන රැසක් සමඟ එක් ව 2015 දී සිසුන් අතර දියත් කරන ලද තරගයකට ලබුනු ප්‍රතිචාර 250කට අධික ප්‍රමාණයකින් තෝරා ගනු ලැබූ පිළිතුර මෙසේ යථාර්තයක් බවට පත් වී තිබේ.

සඳ මතුපිට ‘ක්ෂුද්‍ර උද්‍යානය’!

ලීටර 1ක පරිමාවකින් යුත් කුඩා බඳුනක් තුළ කපු, අර්තාපල්, Arabidopsis සහ Brassica napus බීජ සමඟ යීස්ට් දිලීර හා පළතුරු මැස්සාගේ බිත්තර ද ඇතුළත් කර මේ ක්ෂුද්‍ර-ජෛවගෝලය සකස් කර ඇත. එමඟින් ආහාර නිෂ්පාදකයින්, පරිභෝජකයින් හා වියෝජකයින් නිරූපනය වන බවත් ඔවුන් සාර්ථක වුවොත් එක් එක් ජීවීන්ගේ පැවැත්මට උදවු විය හැකි බවත් එසේ අනුගත කිරීමට හේතු වූ බව විද්‍යාඥයින් පවසා සිටියි. බඳුන සඳේ උෂ්ණත්වයන් හා විකිරණවලින් හොඳින් ආවරණය කර නල මාර්ගයෙන් ප්‍රභාසංස්ලේෂණයට අවැසි සූර්‍ය්යාලෝකය ලැබෙන අයුරින් සකසා ඇති බව ව්‍යාපෘතිය භාර විද්‍යාඥයින් තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

බීජ තෝරාගැනීමේදී ඊට හේතු වශයෙන් ඔවුන් දැක්වූයේ අනාගතයේදී අර්තාපල් ප්‍රධාන ආහාරමය මූලයක් ලෙසත්, Arabidopsis හා Brassica napus අබ සහ ගෝවා පවුලේ සාමාජිකයින් ලෙස එවායේ කුඩා ජීවන චක්‍ර අධ්‍යයනයට ඇති පහසුවත්, කපු බීජවලට දැඩි පාරිසරික තත්ත්වයනට මුහුණ දීමට ඇති හැකියාවත් සැලකූ බවයි. යානය ගමන් කරන මාස 2 තුළ බීජ අක්‍රිය කර තැබීමට පර්යේෂකයින් විශේෂ ජීව විද්‍යාත්මක ක්‍රම භාවිතා කර තිබේ. මෙම බඳුන තුළ ජීවී ද්‍රව්‍යවලට අමතර ව පස, ජලය, වාතය හා කුඩා කැමරා 2ක් සමඟ උණුසුම පාලනය කරන උපකරණයක් ද සපයා ඇත.

මෙතෙක් මේ අයුරින් සඳ මතුපිට සිදුකරන ලද පළමු පරීක්ෂණය මෙයයි. නමුත් මෙය පෘථිවියෙන් පිටත අත්හදා බැලූ ප්‍රථම ක්ෂුද්‍ර-උද්‍යානය නොවේ. මීට පෙර රුසියාවේ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය, අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සහ චීනයේ ටියැන්ගොන්-2 අභ්‍යාවකාශ පර්යේෂණාගාරයන්හි දී පෘථිවියේ සිට කිලෝමීටර 400ක් පමණ ඉහළින් කක්ෂය තුළ වී හා Arabidopsis ආදී වූ ශාක වර්ග කිහිපයක් වගා කර ඇත. නමුත් චන්ද්‍රයා පිහිටන්නේ පෘථිවියේ සිට කිලෝමීටර 380,000ක් පමණ ඈතින් වන බැවින් මෙම පරීක්ෂණයට බලපෑ භෞතික තත්වයන් පෙර කරන ලද පර්යේෂණවලින් බොහෝ වෙනස් විමට ප්‍රවනතාවක් තිබේ.

ක්ෂුද්‍ර-ජෛවගෝලය පවතින කුඩා බඳුන @ www.space.com

සඳෙහි ඉපිද සඳෙහි ම නැති වේ

2019 ජනවාරි 07 වන දින නිකුත් කරනු ලැබූ ඡායාරූපයකින් මෙලෙස සඳ මතුපිටට රැගෙන ගිය කපු බීජ ලියැලීම ආරම්භ කළ බව ලොවට නිවේදනය කරන්නට චීනය සමත් විය. ඒවා චන්ද්‍රයා මත ඇරඹුනු ප්‍රථම ජීවීන් ලෙස ඉතිහාසගත වෙයි. ඔවුන් එම බීජ කවදා කෙලෙස වර්ධනය ආරම්භ කළේදැයි හරියටම ප්‍රකාශ කර නැත. නමුත් ජනවාරි 16 වන දින වන විට ඔවුන් පවසා සිටියේ නැවතත් සඳ ජීවයෙන් තොර ලෝකයක් බවට පත් කරමින් එම ශාක මරණයට පත් වූ බවයි.

මෙම කුඩා ජෛවගෝලය සඳ මතුපිට පැය 212.75ක කාලයක් ක්‍රියාත්මක විය. නමුත් සඳේ අඳුරු පෙදෙසට රාත්‍රී කාලය උදා වීමත් සමඟ ම බඳුන තුල උෂ්ණත්වය -52 0C අගයකට පහත වැටීමත් එම රාත්‍රී කාලය ඉතා දිගු වීමත් නිසා ජීවයට පැමිණි ළපටි ශාක මිය යන්නට ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. චන්ද්‍රයා සිය අක්ෂය වටා එක් වටයක් කැරකීමට පෘථිවි දින 27ක් පමණ ගත කරයි. එබැවින් එහි එක් රැයක් සති දෙකක පමණ කාලයක් වේ. මෙම කාලය සඳ පෘථිවිය වටා වටයක් කැරකීමට ගන්නා කාලය මිට සමාන වේ. අපිට සඳේ එක් පැත්තක් පමණක් නිතර ම පෙනීමට හේතුව මෙයයි.

කෙසේ නමුත් සඳ මතුපිට ජීවය පිළිබඳ ව මෙමඟින් නව කවුළුවක් විවර කෙරෙනු ඇතැයි ව්‍යාපෘතියේ නියමුවන් අදහස් දක්වයි. එහි පරිසරය, උෂ්ණත්වය, ගුරුත්වාකර්ෂණය සහ විකිරණ තත්ත්වයන් පෘථිවිය මත සකසා ලබා දීමට තරම් අවබෝධයක් මීට පෙර නොතිබිණ. නමුත් දැන් කපු බීජ වර්ධනය වීම හා තවදුරටත් මෙම මෙහෙයුමෙන් ලබා ගන්නා අනිකුත් දත්ත උපයෝගී කරගනිමින් පාරභෞමික කෘෂිකර්මාන්තයක් ගැන අනාගත සිහිනය යථාර්තයක් බවට පත් කරගැනීමට තවත් එක් පියවරක් තැබිය හැකි බව ඔවුන් විශ්වාස කරයි. එපමණක් නොවේ මෙම ව්‍යාපෘතිය තුළින් අනෙකුත් රටවලට ගත හැකි ආදර්ශ බොහෝ වේ. පෙර දැක්වූ පරිදි ලෝකයේම අවධානය දිනා ගත් මෙම අදහස ඔවුන් උකහාගෙන ඇත්තේ සිය තරුණ පරපුරට ද තීරණ ගැනීමට අවකාශය ලබා දී ඒවා හඳුනාගැනීමෙනි. එබැවින් මේ ව්‍යාපෘතිය ලෝකයට බලාපොරොත්තු රැසක් දායාද කරන්නට සමත් වී ඇත.

 

References:

https://www.scmp.com/news/china/science/article/2182111/chinese-lunar-landers-cotton-seeds-lead-way-plant-life-germinates
https://www.space.com/43025-china-moon-mission-plants-dead.html
http://www.xinhuanet.com/english/2019-01/15/c_137745505.htm
https://gbtimes.com/lunar-nighttime-brings-end-to-change-4-biosphere-experiment-and-cotton-sprouts

Featured Image Courtesy : 
https://static.independent.co.uk/s3fs-public/thumbnails/image/2019/01/15/16/Chinese-cotton-moon-plant.jpg 

Image Courtesy:  https://img.purch.com/h/1400/aHR0cDovL3d3dy5zcGFjZS5jb20vaW1hZ2VzL2kvMDAwLzA4Mi8yMzQvb3JpZ2luYWwvY2hhbmctZS00LWNhbmlzdGVyLmpwZz8xNTQ3NjY0NDk2

 
Tagged : / / / / / / /