පූදින මල් කැකුළුවල ළමා ලෝකය තුරුණු ඇසින්…

Share

පුංචි කාලෙ අපේ ලෝක ළමා දිනය බැඳුණෙ අකුරු කරපු ඉස්කෝලෙ එක්ක. රස ම රස අයිස්ක්‍රීමක් කන ගමන් බොහ‌ොම සතුටින් ග‌ෙවුණු දවසක්. හැම පොඩි ළමයෙක් ම ආස කරපු, එනකල් දින ගණන් කරපු දවසක්. අවුරුදු කීපයකට කලින් අපිත් ඒ වගේ ම ආසාවකින්, උද්‍යෝගයකින්, නොඉවසිල්ලෙන් මඟ බලපු හැටි කාටවත් ම අමතක නැතුව ඇති.

ටිකෙන් ටික ජීවිතේ දහඅටවෙනි කඩයිමත් පහුකරගෙන යනකොට ජීවිතේ අහු-මුළු ගැන පොඩ්ඩක් විතර තේරෙද්දි තමයි, ලෝක ළමා දිනය කියන්නෙ අයිස්ක්‍රීම් එකකට එහා ගියපු කතාවක් කියලා අපි හැමෝට ම හිතෙන්න පටන් ගන්නෙ.

ඉතින් අපි අද කතාව එතන ඉදන් පටන් ගමු.

අද වෙනකොට රටේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක ළමා පරපුරට අත්වෙලා තියෙන ඉරණම ඛේදනීයයි. හවස් වරුවල බට්ට පනින්න, ක්‍රිකට් ගහන්න, සම්බෝල කොටන්න දුවගෙන ගියපු පිට්ටනි අද පාළුවට ගිහින්. ඒ වෙනුවට බිත්ති හතරක් ඇතුළෙ සෙලෝලයිඩ් තිරයක් ඉස්සරහ ඉඳගෙන ජීවිතේ හොඳ ම කාලෙ ගෙවා දාන තරමට ම ළමයි අසරණ වෙලා.

“සියල්ලට ම පෙර දරුවන්” යන තේමාව යටතේ 2021 ලෝක ළමා දිනය ඇරඹෙද්දිත්, අවුරුදු දෙකකට ආසන්න කාලයක් ළමා ලෝකය අහිමි වූ ළමයින් අප්‍රමාණ ව කායිකවත්, මානසිකවත් සංවේදී ලෙස පීඩා විදිනවා. අපේ පොඩි කාලෙ හැඩ කරපු කොස් කොළ තොප්පි, කුරුම්බැට්ටි මැෂින් වෙනුවට අද ළමයින්ට ඉතුරු වෙලා තියෙන්නෙ ජංගම දුරකතනයක්. වරු ගණන් යාලුවො එක්ක කියන්න දේවල් හිතේ තද කරන්, හීතලේ ම උදේට නැගිටලා පොත්වලින් පුරෝපු බර බෑග් එකක් කරේ එල්ලන් පාසල් යද්දි අපිට දැනුණ සතුට වචනවලින් විස්තර කරන්න බැරි තරම්. අද වෙනකොට නිදිමතේ ම ඇවිත් වාඩිවෙන ජංගම දුරකතනයක් එහෙමත් නැත්තම් පරිගණකයක් ඉස්සරහ නොදන්න යාළුවො, නොදන්න ගුරුවරයෙක් එක්ක වර්තමාන ළමයෙක්ට ඒ සතුට කොච්චරක් දුරකට දැනෙනවා ද කියන එක ප්‍රශ්නයක්.

ළමයින් අතර මිනිස් සම්බන්ධතා බිඳ වැටීම, වර්තමානයේ මේ සිදුවීම් එක්ක පීදීගෙන එන භයානක ම තර්ජනය විදිහට දකින්න පුළුවන්. යහළුවන්, ගුරුවරුන් පමණක් නෙවෙයි තමන්ගේ මවට, පියාට පවා ගරු නොකරන ඇතැම් ළමා ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය හරහා සුලභ ව දකින්න පුළුවන් වෙන්නේ, සංවේදී මිනිස් හැඟීමකට වඩා ළමයින් රොබෝකරණය වන තාක්ෂණය වැළඳ ගැනීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙසයි.

රටක අනාගතය ලෝකයක් ඉදිරියේ නියෝජනය කරන්න ඉන්නෙ රටක ළමා පරපුර. වර්තමාන තරුණ තරුණියන් ගැන සිතුවොත්, මේ හැම අයෙක් ම වරක් ළමයෙක් විදිහට ජීවිතේ ගෙවපු අය. ඒ වුණත් හරිහැටි අධ්‍යාපනයක්, ගුණගරුකකමක්, කීකරුකමක් එහෙමත් නැත්තම් ළමා කාලයේ දී දරුවෙකුට ජීවිතේ ගැන ලැබිය යුතු ගුරුහරුකම්වලින් හැදුණු අඩිතාලමක් නොලැබුණු හින්ද ම තරුණ ජීවිත කීයක් නම් අයාලෙ ගිහින් ද? අඳුරු සිරකුටියක කූරු අතරට හිරවෙලා ද? පොඩි කාලෙ ඉඳන් ම ගිලිහුණු නැති වැඩිහිටි අවධානයක් එක්ක, ජීවිතේ යහපුරුදු ලැබුණා නම් සමහරක් තරුණ ජීවිතවල වර්තමානය මීට වඩා සෑහෙන්න වෙනස් වෙන්න තිබුණා. ඉතින් ළමා මනසකට වැඩියෙන් ම ඕනි වෙන්නෙ, ආදරය තුළින් ලැබෙන රැකවරණයක්. වැරදි, අඩුපාඩු මඟහැර හරි දේ කරන්න මඟ පෙන්වීමක්. මේ විදිහෙ ළමා කාලයක් ලැබුණු කෙනෙක්ගෙන් හැමවිට ම සාර්ථථක පුද්ගලයෙක් බිහිවීම නොවැළැක්විය හැකි කරුණක් වනවාට නොඅනුමානයි.

ඉතින් විසිඑක් වන සියවසේ විසිඑක් වන අවුරුද්දේ ළමා දිනයත් ගිනි ගහන පොළවකට ලැබුණු හීතල සුළඟක් වගේ ඇවිත් යාවි. ඒ වුණාට ළමයින්ට දවසක් වෙන් කරන් ආදරේ කරන්න, තෑගි දීලා සතුටු කරන්න නෙවෙයි ලෝක ළමා දිනයක් එන්නෙ. තමන්ගේ රාජකාරි අතරේ වැඩිහිටියන්ට කොච්චරක් දුරට තමන්ගේ දරුවා මඟහැරිලද, ළමා ලෝකය ඇතුළෙ දරුවන් දකින ලෝකය කොයි තරමකට ඒ අයට ගැළපෙනවද කියන කරුණු ගැන සැලකිලිමත් වෙන ගමන් ළමා මනස යළි කියවීමකට දවසක් වෙන් කිරීමක් තමයි ලෝක ළමා දිනය යෙදෙන ඔක්තොම්බර් පළවෙනිදාවක තේරුම. ඉතින් තමන්ගේ දරුවාට වගේ ම අනික් හැම පොඩිත්තෙක්ට ම එක වගේ ආදරය කරන්න පුළුවන් නම් ඒක හෙට දවසක මුළු රටකට ම කරන ප්‍රබල ම ආයෝජනයක් වේවි!

 

Written By: Kaveesha Gimhani

Image Courtesy: https://bit.ly/3upnfHA

 
Tagged : / /