දෙවියන්ගේ නගරය සහ විශ්වයේ ආරම්භය

Share

අද අප මේ සලකන විශ්වයේ පැවැත්ම අර්ථ දැක්වීම සඳහා, එහි ආරම්භය ගැන හේතු පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය විය. උදාහරණයක් ලෙස, යුදෙව්/ මුස්ලිම්/ ක්‍රිස්තියානි තාරකා ශාස්ත්‍රයට අනුව විශ්වය සීමා සහිත වන අතර එය මෑත කාලීන ව ඇති වූවකි. මෙම අර්ථ දැක්වීම ගෙන එන්නේ ක්‍රි.ව 5 වන සියවසේ සිටි ලතින් ජාතිකයෙක් වන හිපෝහි ශාන්ත ඔගස්ටීන් නම් වූ දාර්ශනිකයා විසිනි. ඔහු තමන් විසින් රචනා කළ “The City of God” නම් වූ ග්‍රන්ථය තුළ මෙය  සටහන් කර ඇත.

ශාන්ත ඔගස්ටීන් හා ඔහුගේ මතවාද

හිපෝ හි ශාන්ත ඔගස්ටීන් නම් වූ දාර්ශනිකයා

මොහුගේ The City of God නම් වූ ග්‍රන්ථය ක්‍රි.ව 426 පමණ කාලයේ දී De civitate Dei contra paganos ලෙස ලතින් භාෂාවෙන් නිකුත් වූ අතර ප්‍රධාන වශයෙන් එහි අන්තර්ගතය තුළ පෘථිවිය දෙවියන්ගේ නගරය ලෙස හඳුන්වා දී ඇති අතර ලෞකිකත්වය අතහැර සදාතනික ව දෙවියන් වහන්සේ වෙත විශ්වාසය සහ භක්තිය පුදන ලෙස දක්වා ඇත.

De civitate Dei contra paganos ග්‍රන්ථයේ ඇතුල් පිටුවක්

ඔහු මෙම කෘතිය තුළ පවසා තිබුණේ, මනුෂ්‍ය සංහතිය දියුණුවට පත්වන විට, මෙය කළේ කවුද, මෙය කුමන කාලයේ සිදුවූයේද යන්න ගැන මතකයක් මිනිසාට මතක සිටින බවයි.

උදා: ලංකා ඉතිහාසය සැලකුවොත් සීගිරිය නිර්මාණය වූයේ කාශ්‍යප රජතුමාගේ  කාලය තුළ දී යන්න අපගේ මතකයේ තිබීම.

පසු කාලීන ව නිර්මාණය වූ The City of God කෘතියේ පිටපතක ඉදිරි පිටුවක්

ග්‍රීක දාර්ශනිකයන්ගේ යුගය

එම නිසා ඒ තර්කයට අනුව, මිනිසා හෝ විශ්වය වැඩි කාලයක් තිස්සේ පැවතගෙන එන්නක් විය නොහැක. එසේ පැවතියේ නම් අප මේ වන විට (ක්‍රි.ව 5 වන සියවස) මීටත් වඩා දියුණුවට පත් ව සිටිය යුතු ය යන්න ඔහු ප්‍රකාශ කරයි. තව ද ඔහුගේ “Genesis” ග්‍රන්ථයේ ඔහු පවසන පරිදි ක්‍රි.පූ 5000 දී පමණ විශ්වයේ ආරම්භය සිදු වී ඇත. මෙය අයිස් යුගයේ අවසානය සිදු වී වසර 10,000 ට පමණ පසුව කාලයක් බව නූතන විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇත.

පසු කාලීන ව නිර්මාණය වූ Genesis කෘතියේ පිටපතක ඉදිරි පිටුවක්

ඔගස්ටින් ඉදිරිපත් කළ මනුෂ්‍යයාගේ දියුණුව පමා වීමේ තර්කයට එරෙහි ව ඔවුන් ප්‍රකාශ කළේ කාලයත් සමග ඇති වූ ගංවතුර, ලැව්ගිනි, වසංගත වැනි හේතු නිසා ජනාවස යළි මුලසිට ආරම්භ කිරීමට සිදු වූ බැවින් දියුණුව පමා වූ බවයි. මෙසේ ආගමික මතවාද, දේව ධර්ම හෝ සදාකාලික විශ්වයන් ගැන වූ වාදයන් මඟින් කාලයත් සමඟ විශ්වයේ විවිධාකාර අරම්භයන් ගැන මතවාද ඉදිරිපත් විය.

ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්

නූතන විද්‍යාඥයන්ගේ යුගය

බොහෝ කාලයක් තිස්සේ දාර්ශනික ව හෝ දේවවාදි මත පදනම් කරගෙන අර්ථ දැක්වූ විශ්වයේ ආරම්භය ගැන වූ සංකල්පවලට විද්‍යාත්මක පදනමක් එක් කරන්නට 18 වන සියවස වන තෙක් ම හැකියාවක් නොවූ අතර මෙම නිහඬතාවය බිඳ දමමින් නියමාකරයේ පැහැදිලි කිරීමක් කිරීමට 1929 වර්ෂයේ දී එඩ්වින් හබල් සමත්විය.

ඔහුගේ නිරික්ෂණ මඟින් පෙන්වා දුන්නේ විශ්වය දෙස කොයි දිශාවේ සිට බැලුවත් එය අපෙන් ඈතට ගමන් ගන්නා බවයි. එසේ පෙනීමට නම් යම් කාලයකට පෙර මුළු විශ්වය ම එක තැනක තිබී පසුව විහිදීමක් සිදු විය යුතු ය. එම නිසා මීට වසර මිලියන 10,000 – 20,000 කට පමණ පෙර මුළු විශ්වය ම එකට පවතින්නට ඇති බවට උපකල්පනය කෙරුණි. මෙයින් පසුව, විශ්වයේ ආරම්භය සොයා යෑම විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රධාන විෂයක් බවට පත්වීය.

එඩ්වින් හබල් සහ ඔහුගේ දුරේක්ෂය

මහා පිපුරුම් වාදයට පසුබිම සැකසීම

හබල්ගේ මෙම නිරීක්ෂණයට අනුව ඔවුන්ට පැහැදිලි වූයේ මුල දී ඉතා කුඩාවට සහ අනන්ත ලෙස ඝනත්වයකින් තිබූ එක් ව තිබූ විශ්වය යම් කිසි පිපිරුමක් වැනි සංසිද්ධියක් නිසා පසුව විසිර යාමක් සිදු වූ බවයි. එමෙන් ම එම අවස්ථාවට පෙර යමක් සිදු වූව ද, එයින් ඊට පසුව උදා වූ අවධියට බලපෑමක් සිදු විය නොහැකි බවයි. එමෙන් ම, නිරීක්ෂණය කර දැනගැනීමට තරම් දෙයක් එකල සිදුවූයේ නැතැයි ඔවුන් උපකල්පනය කළහ.

මහා පිපිරුම ගැන සරල අදහසක්

එමෙන් ම ඉදිරිපත් කළ හැකි තවත් තර්කයක් වන්නේ කාලය ආරම්භ වූයේ මහා පිපිරුමත් සමඟ යන්නයි. නමුත් වෙනස් නොවන විශ්වයක කාලය ඇති කළ හැක්කේ ඊට පිටතින් ඇති බලවේගයකට පමණක් බවට සහ එම බලවේගය දෙවියන් වහන්සේ බවටත් වූ විශ්වාසයට මෙය පටහැනි විය. එකල වූ පිළිගැනීම වූයේ යමක ආරම්භය සඳහා භෞතික හේතුවක් අත්‍යවශ්‍ය නොවන බවයි. එමනිසා මෙය පිළිගැනීම අපහසු වූ බවත් දෙවියන් වහන්සේ විශ්වය මැවූ බව සහ මහා පිපිරුම අවස්ථාවේ දී එය ප්‍රසාරණය වී විහිදීම ආරම්භ වූ බවට එකඟ වූ බවටත් සඳහන් වේ. ඒ නිසා දෙවියන්වහන්සේ මෙය කුමන කාලයේ දී සිදු කළේ ද යන්න කිසිවෙකු ප්‍රශ්න කළේ නැත.

ඉතින් දේවවාදය, මිථ්‍යාව සහ විද්‍යාව අතරින් දැඩිසේ තර්කනයට ලක් වී වර්තමානයේ විශ්වයේ ආරම්භය ලෙසට පිළිගත් මතය වන මහා පිපුරුම් වාදයට අඩිතාලම සැකසුනේ මේ අයුරිනි. එසේ නම් මහා පිපුරුම් වාදය සහ ඊට පෙර කාලය, එහි විද්‍යාත්මක පසුබිම ආදි බොහෝ දෑ තවත් ලිපියකින් කතාබහ කරන අරමුණින් අදට සමුගන්නෙමි.

 

Written By: Dineth Gunawardhana

Image Courtesies:

 

 
Tagged : / /