අහම්බයකි නුඹත්

Share

“වේලාව රාත්‍රී 12.15.” මා ඉදිරියේ දිගහැර තිබූ ලැප්ටොප් පරිගණකයේ සඳහන් වී තිබිණි. තවත් පිටු 16ක පර්යේෂණ පත්‍රිකාවක් ! මාගේ වෙහෙසකර දෑස් එය කියවීමට අදිමදි කරන බැව් මට වැටහුණි. මා ඉදිරියේ ඇති දුම් දමන උණුසුම් කෝපි කෝප්පයෙන් එන ඉතියෝපියානු කෝපි සුවඳ ද විඳ ගනිමින් දෙසවනට ගීතයක් එක් කිරීමට මා තීරණය කළේ ගතට මෙන් ම සිතට ද දැනුණ ඒ වෙහෙස නිවාගැනීමට ය. Earphones හරහා දෙසවනට ගලා ආවේ අභිෂේකා විමලවීරගේ කටහඬයි.

“මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි මැද්දේ මම තනියෙන් ම තෙමුණා”

එම පදපේළි දෙසවනට මී පැණි වක්කරන්නාක් මෙන් මිහිරි ය. ඒ තනුව ද මගේ වෙහෙස බොහෝ සේ නිවාලයි. ඒ සමඟ ම මාගේ යටිසිත ද අවදි වනු මට දැනුණි. මෙම පදපේළි අපගේ ජීවිතයේ යම් කොටසක් හරහා ගලා යනවා නොවේ දැයි මම මාගෙන් ම ප්‍රශ්න කළෙමි.

ජීවිතයේ අපට මෙතෙක් ආ ගමන් මඟෙහි කෙතරම් නම් මිනිසුන් සංඛ්‍යාවක් හමු වන්නට ඇති ද ? ඒ හමුවූවන්ගෙන් අප ළඟ අද ඉතිරි ව සිටින්නේ කීයෙන් කී දෙනා ද? එසේ හමු වූ සියලු දෙනා ම අපගේ ජීවිතවලට යම් අත්දැකීමක් එක් කළවුන් ලෙස මම දකිමි. කෙදිනකවත් හැර නොයමි යැයි ඉතසිතින් ප්‍රාර්ථනා කළ අය අද මෙලොව කොතැනක සිටී දැයි සමහරවිට ඔබ නොදන්නවා විය හැක. සැම දා ප්‍රේමයෙන් වෙළී හිඳිමු යැයි අදිටන් කරගත් අය මේ රැය ගෙවෙන වෙලාවේ දී මේ අහස යට ම වෙනකෙකුට තුරුලු වී නිදනවා වන්නට ඇත. නැතිනම් ඔවුන් ද තම තමන්ගේ සිහින ලෝකවල නිමග්න වී ජීවිතයේ අරුත් සොයනවා වන්නට ඇත. ජීවිතය තුළ හමු වූ ඒ මිනිසුන් නිසා සතුට, දුක, විචිකිච්ඡාව, ප්‍රේමය, විරහව යනාදී සෑම ආකාරයක ම රසයන් අපගේ ජීවිතවලට එක්වන්නට ඇත.

කොහේ හෝ මා අසා ඇති පරිදි, අපට ජිවිතයේ සිදුවන සිදුවීම් වලින් 95%ක ම පාලනය ඇත්තේ අප අතේම ය. එහෙත්, ඉතිරි 5% තීරණය වන්නේ අපට පාලනය කළ නොහැකි මානයේ ඇති යම් යම් කරුණු නිසාවෙනි. මා විශ්වාස කරන පරිදි ප්‍රේමය, ශෘංගාරය සහ විරහව යන මේ සියලු විඳීම් ඒ පාලනය කළ නොහැකි 5% අයිති ය. ඒ මක් නිසාද යත්, ප්‍රේමය හෝ ඊට අදාළ හැඟීම් සමුදාය යම් සිද්ධාන්තයකට හෝ මූලධර්මයකට ලඝු කොට දැක්විය නොහැකි නිසා යැයි මම සිතමි. එනම්, ප්‍රේමය හටගන්නේ කෙසේ ද, මාහට නොලැබෙන ආදරය තවකෙකු හට ලැබෙන්නේ කෙසේ ද වැනි ප්‍රශ්න වලට කිසිදු පිළිතුරක් නොමැති අතර ඒවා විද්‍යාත්මක ව හෝ වෙනත් හේතු මූලධර්මයක් මත පදනම් ව විස්තර කළ නොහැක.

එබැවින්, අහම්බෙන් වට මුරුගසන් වැසිවලට අපි සියල්ලෝ ම තෙමෙන්නෙමු. එහෙත්, එය අහම්බෙන් වට වැස්සක් බව වැටහෙද්දී අප සීතලට හසු වී හමාර ය. එයින් සිදුවූයේ තවත් සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීම පමණක් බව වැටහෙද්දී අප බොහෝ සේ ප්‍රමාද ය. එහෙත්, එම සිදුවීම අහඹුවක් යැයි පිළිගැනීමට අපගේ සිත කිසිසේත් ම සූදානම් නැති හැඩ ය. එසේ ජීවිතය නැමැති මේ නවාතැන්පළෙහි අප වෙත එන හා අප වෙතින් නික්මෙන ඒ බොහොමයක් දෙනා අහම්බකාරක ලෙස අපගේ මතකයේ රැඳෙනු ඇත. සමහරක් දෙනා සිත තුළ විශාල වර්ගඵලයකට හිමිකම් කියන අතර සමහරක් දෙනා කොහේ හෝ මුල්ලක සැඟවී සිටිති.

ගීතය අවසානයේ අභිෂේකා ගයන්නී:

“තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා”

නොබලා බිම බලාගෙන මඟහැරගන්නට තිබුණු දෑස් දිහා මඟ නොහැර ම බැලූ නිසා, අද ඔබත් මාත් සිත්තැවුලෙන් පසුවනවා වන්නට ඇත. එහෙත්, ඒ සියල්ල මතක පොතට එක්කරනවා හැර වෙන යම් විකල්පයක් මම නොදකිමි. ඒ කුමක් නිසා ද යත්, නොලැබී ගිය සෙනෙහස හෝ උණුසුම ගැන යළි යළිත් මෙනෙහි කිරීම තරම් වේදනාකාරී හැඟීමක් මේ ලොව නැති බැවිනි. ඉතින්, ඒ ගැන සිතා වෙහෙසට පත්වීමට තරම් ඔබත් මාත් අනුවණ නැතැයි මම සිතමි. අවසානයේ, මේ මිහිතලයට අවසන් හුස්ම මුසු කරන දිනයක දී එසේ සිරකරගෙන සිටි මතක සියල්ල ද මේ වාතලයට මුසුවනු ඇත. ඔබත් මා මෙන් ම, මානව සංහතියේ යම් කාල වකවානුවක ජීවත් වූ ජනගහන සංයුතියේ යම් සංඛ්‍යාත්මක අගයක් පමණක් බවට පත්වනු ඇත.

 

Image Courtesy: https://bit.ly/2Xf4Hxw

 
Tagged : / / /