පොඩි එකාගේ හෘද සාක්ෂිය…..

Share

උසස් පෙල ලියල කල්ප කාලාන්තරයක් පෙරුම් පුරල, විශ්ව විද්‍යාල කැඳවීම ලැබුනම පොඩි එකාට ඇති වුනේ පුදුමාකාර සතුටක්. ඒ සතුට දෙගුන තෙගුන වුනේ ඒකත් ලංකාවේ අංක එකේ විශ්ව විද්‍යාලය වුන කොළඹ විශ්ව විද්‍යාලයට ලැබුනම.

ඉතින් ඕන්… පොඩි එකත්අමාරුවෙන් පාර හොයන් අර කවුද කියන්න වගේ ග්‍රහලෝකාගාරෙ තරු ටික මග සලකුණු විදියට තියන් කොහොමින් කොහොම හරි විශ්ව විද්‍යාලෙට පය ගැහුවා. ඔය ගමන එන එකත් ඉතින් ලේසි පාසු නෑනෙ, කිලෝ මීටර් එකසිය ගානක් කෝච්චියක එනව කියන්නෙත් අද කාලෙ මැරතන් එකක් දුවනවට වඩා අමාරු වැඩක්නෙ. ඉතින් ආපු පලවෙනි දවසෙම ගෙදර ඉඳන් එන්න නවකයගෙ තුන් හිතක හරි ආසාවක් තිබ්බ නම් ඒකත් ලත් තැනම ලොප් වුනා.

යන්තම් පාසල් මිත්‍රයෙක්ගෙ සහයෙන් ඕන් පොඩි එකාට බෝඩිමකුත් ලැබෙනව. ඔය අතරෙ නවාතැන් පහසුකම් හොයපු ඇත්තොන්ට ජේෂ්ඨ ශිෂ්‍යයොත් සෑහෙන්න කටු කාල නවාතැන් හොයල දුන්නා.  මුලින්ම තිබුනෙ ඉංග්‍රීසි පාඨමාලාව සහ විෂයයන් හඳුන්වා දීම ඒ හරහා විෂයයන් හඳුනා ගැනීම සහ ඉංග්‍රීසි ඉගෙනීම මෙන්ම එකිනෙකා හඳුනා ගැනීමටත් අවස්ථාවක් ලැබුනා. මෙච්චර දවසක් අම්ම උයපු බත් එක කාපු කට්ටියට ඕපන් එකේ කෑම කද්දි අම්මගෙ ආදරයත් එක් වුන බත් එක සිහි නොවුනමත් නෙවේ. ඒ අවුල යන්තමින් හරි අඩු වුනේ තමන්ගෙම සහෝදරයෙක් ගෙදරින් ගෙනාපු බත් එකකින් බත් කටක් කනකොටයි.

සරසවි ජීවිතේ කිව්වම ඕන කෙනෙක්ට මතක් වෙන අපූර්ව අත්දැකීමක්නෙ තෙල කියන්නෙ. මුලදි මුලදි නම් තෙල කිව්වම නවකයට මේක වැඩක් තියන දෙයක්ද කියල හිතුනත් දැන්නම් හිතෙන්නෙ තෙල නැති සරසවි බිමත් පරිප්පු නැති හෝටලේ වගේ තමා කියල. තෙලත් එක්ක ගොඩ නැගුන සම්බන්ධතා මුලු සරසවි ජීවිතේ මුලුල්ලටම තියේවි. සමහරුන්ගෙ නම් ඒව ජීවිතේම වෙන්නත් ඉඩ තියෙනව. එව්ව ඉතින් ප්‍රසිද්දියෙ කියන්න බෑනෙ. විශ්ව විද්‍යාලේ අඩංගු පීඨ අහද්දි සමහරු අලුතෙනුත් පීඨ අතින් දාල කියද්දි, තවත් අය බ්ලූ සයිඩ් ගිහිල්ල කෑම කද්දි, ඒව ජේෂ්ඨ ශිෂ්‍යන්ට සිනහවට කරුණක් වුනා වගේම ඔවුන් ඒවා කියා දෙන්නත් ඉදිරිපත් වුනා.

උදේ 9ට විතර තාප්පෙන් පැනල ඉස්කෝලෙ ගිහින් 12.30ට ෂෝට් ලීව් දාල ගෙදර ආපු නවකයට උදේ 7 ඉඳන් 5 වෙනකන් සරසවියෙ දේශණ පැවැත්වෙනව කියල දැන ගත්තම කවද කාපු ටකරන්ද කියල හිතුනත්… සරසවි අදුරු තුමන්ලාගේ තුමියන්ලාගේ ආකර්ෂණීය දේශණ රටාව සහ සිත් ගන්නාසුලු ප්‍රායෝගික පරීක්ෂණත් අලුතෙන් දැන හඳුනා ගත් මිතුරු මිතුරියන්ගේ ලෙන්ගතු බවත් නිසාවෙන්ම ඒ කාලය ගෙවෙනවාවත් දැනුනේ නැහැ.

ඔය අතරෙ යම් යම් ප්‍රශ්ණ නිසා අපේම උන්ට විවිධ ගැටළු ඇති වුනත් ඒ සියල්ලක්ම වගේ පහසුවෙන්ම විසඳ ගන්න එකිනෙකා අතර තිබුනු ලෙන්ගතු කම නිසාවෙන්ම පුලුවන් වුනා.

ගුරු ගීතයේ චින්ගීස් අයිත්මාතව් කියන්න වගේ …

ශීත කාලය පැමිනේවි …

තද ශීත කුණාටු හමාවි…

හිම කැටි සහිත මහ නපුරු සුලි සුලන් හමාවි…

එහෙත් …..

වසන්තය එනවා සත්තයි …..

වසන්තය එනවා සත්තයි ………..